Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළමු තරගයෙන් සී.ආර්.ජය ගනී

Author(s): 
ෆවුස් මොහොමඩ්

ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය මෙවර අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පොලිස් ක්‍රීඩා සමාජය සමග පැවැති පළමු තරගය ලකුණු 17-13කින් ජය ගැනීමට සමත්විය.

සී.ආර්.පිටියේ පසුගියදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 7-3කින් පෙරමුණ ගත් සී.ආර්. ක්‍රීඩකයෝ ගෝල් 2ක් සහ දඬුවම් පහරක් සමග ලකුණු සංඛ්‍යාව සම්පුර්ණ කරද්දී පොලිස් පිලට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුම් 2ක් සහ දඬවම් පහරක් පමණි.

තරගයේ 7 වැනි මිනිත්තුවේදී ජනිත් චන්දිමාල් දඬුවම් පහරක් සාර්ථකව එල්ල කරමින් ලකුණු 3-0කින් පොලිස් පිල ඉදිරියට ගෙන ගියත් 24 වැනි මිනිත්තුවේදී ජනිඳු ඩිල්ෂාන් තැබූ විශිෂ්ට උත්සාහක දිනුමක් රීසා මුබාරක් විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු 7-3කින් පෙරමුණ ගත් සී.ආර්.පිල පළමු භාගය නිමාකර ගත්තේය.

කෙසේ වෙතත් දෙවැනි භාගයේ ආරම්භයේදි රසිත් සිල්වා අනගි උත්සාහක දිනුමක් තබමින් පොලිස් පිල ලකුණු 8-7කින් ඉහළට ඔසවා තැබුවේ සී.ආර්.පිලට දැඩි අභියෝගයක් එල්ල කරමිනි. සී.ආර්.පිල ලකුණු 10-8කින් නැවත පෙරමුණ ගැනීමට සමත්වූයේ 55 වැනි මිනිත්තුවේදී රීසා මුබාරක් සාර්ථක කරගත් දඬුවම් පහරක් මගිනි.

සී.ආර්.පිලේ ජයග්‍රහණයේ මං විවර කළ ගැමුණු චේතිය 70 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් තැබීමට සමත්වූ අතර එය ගෝලයක් බවට පත් කිරීමට මුබාරක් සමත්වීමත් සමග සී.ආර්.පිල ලකුණු 17-8කින් ඉදිරියට ගියේය. අවසන් මොහොතේ සුජාන් කොඩිතුවක්කු තැබූ උත්සාහක දිනුමෙන් පොලිස් පිලේ ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගියත් තරගයේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

සී.එච්.- යුද තරගය ජය පැරදුමක් නෑ

මේ අතර සී.එච්.ඇන්ඩ් එෆ්.සී.ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේ පැවැති තරගය ලකුණු 8-8ක් ලෙස ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 5-0කින් පෙරමුණ ගැනීමට යුද හමුදා පිල සමත්වූවත් දෙවැනි භාගයේදී දඬුවම් පහරක් සහ උත්සාහක දිනුමක් තැබූ සී.එච්.පිල ලකුණු 8-5කින් පෙරමුණ ගැනීමට සමත්වීය. තරගය නිමාවීමට මිනිත්තු 15ක් ඉතිරිව තිබියදී දඬුවම් පහරක් සාර්ථක කරගත් සී.එච්.පිල ලකුණු සංඛ්‍යාව 8 දක්වා ඉහළ දැමීමට සමත්වූ අතර ඉතිරි කාලය තුළ දෙපිලම කරට කර සටනක නිරතවීමෙන් විසඳුමකින් තොරව තරගය නිමාවට පත්විය.

හැව්ලොක්ස් පිලට පහසු ජයක්

නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 35-3ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය පසුගියදා සමත්විය. වැලිසර දී පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 21-3කින් පෙරමුණ ගත් හැව්ලොක්ස් පිල තරගය පුරා ගෝල් 5ක් වාර්තා කළ අතර නාවික හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ දඬුවම් පහරක් පමණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();