Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහජනයා පොලිසියට පරිත්‍යාග කළ නිල සුනඛයන් 41ක් පුහුණුව නිමකර විසිර යයි

Author(s): 
අසේල කුරුළුවංශ

ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් නිල සුනඛ අංශයට මහජනතාව විසින් පරිත්‍යාග කළ සුනඛයින් 41 දෙනෙකු මාස හයක පුහුණු කාලයක් නිමාකර පොලිස් රාජකාරී සඳහා විසිර යෑම පසුගියදා මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති විණි.

අපරාධකරුවන් හඳුනා ගැනීම,පුපුරණ ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය සෙවීම ඇතුළු සේවා ලබා ගැනීම සඳහා පොලිස් නිල සුනඛ අංශයට සුනඛයින් විදේශ රටවලින් ආනයනය කිරීම සමාන්‍යයෙන් සිදු කෙරෙයි.මේ ආකාරයට මෙරට පරිත්‍යාගශීලීන් ගෙන් පොලිස් දෙපාර්තුමේන්තුවට සුනඛයින් ලබා ගත්තේ ප්‍රථම අවස්ථාවට බව පොලිස් නිල සුනඛ අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා පවසයි.

වර්ෂ 1948 දී නිල සුනඛයින් දෙදෙනෙකු ගෙන් සමන්විතය ස්ථාපිත කෙරුණු පොලිස් නිල සුනඛ අංශය සතුව මේ වන විට සුනඛයින් 267 දෙනෙකු සිටින බවත් මෙම සංඛ්‍යාව 300 ක් දක්වා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා කීය.

පොලිස් නිල සුනඛ ඒකක 60 ක් දිවයින පුරා ස්ථාපිත කර තිබෙන බවත් ඒවාහි පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 400 ක් සේවය කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

වයස අවුරුදු 1 1/2 ට අඩු සුනඛයින් පොලිස් නිල සුනඛ අංශයට බාර දෙන ලෙස කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් පරිත්‍යාගශීලීන් 41 දෙනෙකු ඉතා වටිනා සතුන් දෙපාර්තුමේන්තුවට පරිත්‍යාග කළ බවත් එම සතුන් වසර කිහිපයක් සේවයේ යොදවා ගැනීමෙන් පසු හිමිකරුවන්ට බාර දෙන බවත් කී ඒ මහතා ඔවුන්ට හිමි වන්නේ හොඳින් පුහුණුව ලත් සත්වයෙකු බවද අවධාරණය කළේය.

මෙම පුහුණුව ලත් සුනඛයින් අපරාධ පරීක්ෂණය, මත්ද්‍රව්‍ය සෙවීම, පුපුරණ ද්‍රව්‍ය සෙවීම යන රාජකාරී වල යෙදවීමට අපේක්ෂා කරන බවද ඒ මහතා කීය.

මෙරට ප්‍රථම වතාවට පොලිස් නිල සුනඛයින් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක්ද මෙදින ක්‍රියාත්මක කෙරුණු අතර ෆෙයා ෆර්ස්ට් රක්ෂණ සමාගම නොමිලේ අනුග්‍රහය දක්වා තිබිණි.

මාස හයක පුහුණුව අවසන් කර විසිර ගිය සුනඛයින්ගේ සංදර්ශනයක්ද මෙදින ක්‍රියාත්මක කෙරෙණු අතර එය දැකබලා ගැනීමට මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඩී.එල් රණවීර ,පොලිස් නිල සුනඛ අංශයේ ආරම්භ සාමාජික එස්.ආම්ස්ට්‍රෝන් යන මහත්වරුද සුනඛ පරිත්‍යාශීලීන්ද සහභාගි වූහ.

ඡායාරූප- රුවන් මීගම්මන

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();