Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘එස්.එල්.ටී. ස්පීඩ් අප්’ පාපැදි සවාරිය අද ඇරැඹේ

මෙරට පාපැදි ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් පවත්වනු ලබන එස්.එල්.ටී. ස්පීඩ් අප් පාපැදි සවාරිය අඛණ්ඩ සිව්වැනි වසරටත් අද ඇරැඹේ.

මෙහි ප්‍රධාන තරග ඉසව්ව වන අදියර 5කින් සමන්විත පිරිමි පාපැදි සවාරිය පළාත් 9ම ආවරණය වන පරිදි පැවැත්වෙන අතර නුවරඑළිය හරහා මෙවැනි පාපැදි සවාරියක් ගමන් කරන්නේ වසර 20කට පසුව වීම කැපී පෙනේ.

මෙරට පාපැදි ක්ෂේත්‍රයට අගනා අවස්ථාවක් හිමිකරදෙමින් අවුරුදු 19න් පහළ තරගාවලියක් ද මෙවර ‘පාපැදි සවාරියට ඇතුළත් කර ඇත.

ජයග්‍රාහකයා සඳහා රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් ඇතුළු දැවැන්ත තෑගි හිමිවන පිරිමි පාපැදි තරගය මෙවර කිලෝමීටර 813ක ගමන් මගක් ඔස්සේ ගමන් කරනු ඇත.

එය කොළඹින් ආරම්භ වී පානදුර, රත්නපුරය හරහා ඇඹිලිපිටිය දක්වා පළමු අදියරත්, ඇඹිලිපිටියේ සිට වැල්ලවාය හරහා බණ්ඩාරවෙල දක්වා දෙවැනි අදියරත්, අනතුරුව නුවරඑළිය, මහනුවර හරහා කුරුණෑගල දක්වා තෙවැනි අදියරත් යෙදී තිබේ. තරගයේ සිව්වැනි අදියර කොටස් දෙකකින් යුක්තව පැවැත්වෙන අතර එහිදී කුරුණෑගල, අනුරාධපුරය සිට වවුනියාව දක්වා එහි පළමු අර්ධයත්, වවුනියාවේ සිට ත්‍රීකුණාමලය දක්වා එහි දෙවැනි අර්ධයත් පැවැත්වෙයි. පාපැදි සවාරියේ 5 වැනි අදියර ත්‍රීකුණාමලයේ සිට දඹුල්ල දක්වා පැවැත්වෙනු ඇත.

අදියර දෙකකින් යුක්තව පැවැත්වෙන ‘එස්.එල්.ටී.ස්පීඩ් අප්’ කාන්තා පාපැදි සවාරියේ පළමු අදියර කොළඹ සිට කුරුණෑගල දක්වාද එහි දෙවැනි දිනය කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර 161ක සමස්ත දුරකින් සමන්විතය.

මෙවර පාපැදි සවාරියට හඳුන්වාදෙන කණිෂ්ඨ තරගාවලිය, දඹුල්ලෙන් ආරම්භ වී කැකිරාව හරහා යළි දඹුල්ල දක්වා කිලෝ මීටර 161ක දුරකින් පැවැත්වෙන අතර මේ සඳහා අවුරුදු 16-19 අතර ක්‍රීඩකයන්ට අවස්ථාව හිමිවේ. විවෘත තරගයක් වන ඒ සඳහා සහභාගීවන ක්‍රීඩකයන් ආරක්ෂක හිස්වැසුම පැළඳ සිටීම අනිවාර්ය බව සංවිධායකයෝ දන්වා සිටිති.

‘එස්.එල්.ටී. ස්පීඩ් අප්’ පාපැදි සවාරියේ ජය සංකේත ප්‍රදානය, නාවුල නගරයේදී පැවැත්වෙන සංගීත සංදර්ශනයට සමගාමීව සිදු කෙරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();