Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රබල ටර්කිමෙනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට ගෞරවාන්විත පරාජයක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

දෝහා කටාර්හී වසර 2022දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව හා ටර්කිමෙනිස්තානය අතර පැවැති පාපන්දු තරගයෙන් ගෝල් 2-0ක ජයක් ටර්කිමෙනිස්තානයට හිමි වෙයි.

ශ්‍රී ලංකාවට වඩා සෑම අතින්ම ඉදිරියෙන් සිටි ටර්කිමෙනිස්තානය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උනන්දුවෙන් යුතුව ක්‍රීඩා කළ හෙයින් මෙය ගෞරවාන්විත පරාජයක් බව විචාරක මතය වේ.

කොළඹ තුරඟ තරග පිටියේදී ඊයේ පැවැති මේ තරගයේ පළමු භාගයේදී ගෝල් 1-0ක් ලෙස ටර්කිමෙනිස්තානය ඉදිරියෙන් සිටි අතර දෙවැනි භාගයේදී මුල් මිනිත්තු කිහිපයේදීම ආක්‍රමණශීලී ලෙස ඉදිරියට පැමිණියේය.

පළමු ගෝලය 8වැනි මිනිත්තුවේදී ටර්කිමෙනිස්තානයේ ඉදිරි පෙළ ක්‍රීඩක වාහේට් ඔරසාඩේව් රැස්කළ අතර දෙවැන්න 53වැනි මිනිත්තුවේදී නායක අමනෝව් ආස්ලාන් නිදහස් පහරකින් වාර්තා කළේය.

මේ තරගයේදී ශ්‍රී ලංකා ඉදිරි පෙළ ක්‍රීඩකයන්ට පන්දුව නිසි පරිදි යොමු කිරීමට මැද පෙළ ක්‍රීඩකයන් ආපාහොසත්වීම කැපී පෙණුනි. ඒ නිසාම ටර්කිමෙනිස්තානු ගෝල් රකින්නාට ඊයේ දිනයේ එතරම් වෙහෙසක් නොවුණි.

එහෙත් ශ්‍රී ලංකා ගෝල් කීපර් සුජාන් පෙරේරා කාර්ය බහුල තත්ත්වයකට පත්වූ අයුරු දිස්විය. සුජාන් පෙරේරාගේ දක්ෂ ගෝල් රැකීම නොවන්නට ටර්කිමෙනිස්තානයට තවත් ගෝල් කිහිපයක් එක්වීමේ අවස්ථා තිබිණි. අවසන් විනාඩි 9ක් වෙද්දී ටර්කිමෙනිස්තාන ක්‍රීඩකයෙක් එල්ල කළ පහරක් සුජාන්ගේ අතේ වැදී ඉදිරියට එද්දී යළි ⁣පාපන්දුව ගෝල් කණුව තුළටම එල්ල කළද එය ඕෆ් සයිඩ් ⁣අවස්ථාවක් ලෙස සෞදි අරාබියානු විනිසුරු තීරණය කළේය.

වෙනදා ජාත්‍යන්තර පාපන්දු තරගවල දෙවැනි භාගයේ අවසන් මිනිත්තු 20දී පමණ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙහෙසකර තත්ත්වයකට පත්වුුවද, ඊයේ එම දුරුවලතාව බොහෝ මග හැරී තිබුණි. ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදුවූ අතර මොහොමඩ් ආකීබ් වෙනුවට දිලිප් කුරුකුලසුරිය හා චරිත රත්නායක වෙනුවට මනරම් පෙරෙරා පිටියට කැඳවුහ.

වසර 13කට පසුව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගත් හෙයින් මේ තරගාවලිය දෙස බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේ පසුවන අතර ටර්කිමෙනිස්තානය 132වැනි ස්ථානයේ පසුවන බැවින් තරග ආරම්භයේදීම ඔවුන් මානසික මට්ටමින් ඉහළ ස්ථානයක සිටියේය.

කෙසේ වුවද මේ වසරේ ටර්කිමෙනිස්තානය සහභාගී වූ ජාත්‍යන්තර පාපන්දු තරගවලදී කිසිදු ජයග්‍රහණයක් වාර්තා නොවී තබියදී මේ ජයග්‍රහණය වාර්තාවීම විශේෂත්වයකි.

ඡායාරූප - සුලෝචන ගමගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();