දෙරණ රූපවාහිනී නාළිකාවෙන් විකාශය වන සංගීතේ ටෙලි නාට්‍යයේ සංගීත කණ්ඩායමේ සිටින නිත්‍ය ඩ්‍රම්ස් වාදන ශිල්පිනිය ඇයයි. එහි එන මහීගේ සංගීත කණ්ඩායමේ අමායා නම් චරිතය නිරූපණය කරන ආකර්ෂණීය නවක රංගන ශිල්පිනිය ද ඇයයි. ඇය සචිනි රණවක නම් වේ. මේ වන විට ඇය කොළඹ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. ඒ සමඟින් ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ කාන්තාවක් ප්‍රථම වරට ඩ්‍රම්ස් වාදනයෙන් උපාධියක් හිමි කර ගැනීමට සූදානමින් ඉගෙනුම් කටයුතු සිදු කරගෙන යයි. දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 7 තරඟයෙන් ගායනයට එක් වූ ඇය මේ දිනවල රංගනය තුළින් අප හමුවට එයි. මේ සියලු කාරණා හේතුවෙන් සුවිශේෂී අයෙකු වන නිසාම මේ සටහන ඇය පිළිබඳවයි.
ඔබේ ගම් පළාත?
මම ඉපදුණෙත් දැන් පදිංචි වෙලා ඉන්නෙත් බොරලැස්ගමුවේ. අම්මා, තාත්තා මතුගම. පදිංචි අය.
පවුලේ විස්තර කිව්වොත්?
තාත්තා, අම්මා, අයියයි, මමයි. තාත්තා බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කෙනෙක්. (ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙක්).
ඔබ අධ්‍යාපනය ලැබුවේ?
නුගේගොඩ ඹ්ධභමපඥ ජාත්‍යන්තර පාසලට තමා මුලින්ම ගියේ. 7 වසරෙන් පස්සේ නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් වෙනවා. පසුව උසස් පෙළ කරන්න කොළඹ විශාඛා විද්‍යාලයට ගියා.
පාසල් අධ්‍යාපනයෙන් පස්සේ?
මම කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරෙනවා. දැන් එහි දෙවන වසරේ ඉගෙනුම ලබනවා. ඩ්‍රම්ස් වාදනයෙන් තමයි උපාධිය කරන්නේ. මම හිතන්නේ මං තමයි ලංකාවේ ප්‍රථම වතාවට ඩ්‍රම්ස් වාදනයෙන් උපාධියක් ලබන්නේ. ඊට අමතරව පියානෝ වාදනය, ශාස්ත්‍රීය හා බටහිර ගායනය පිළිබඳවත් මම හදාරනවා.
ගෑනු ළමයෙක් වුණු ඔබ ඇයි ඩ්‍රම්ස් වාදනයම තෝර ගත්තේ?
මම ගොඩක් ආසයි ඒකට. ගැනු ළමයෙක් සමාන්‍යයෙන් මේක තෝරා ගන්නේ නෑ තමයි. ඒ වුණත් මට වෙනසක් කරන්න ඕනෑ වුණා. ඒ නිසා මං ඒකම තෝර ගත්තා.
සංගීතේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරඟයේ 7 වන වටයට අයදුම් කළේ අහම්බෙන්. එයට සහභාගි වෙලා තමා ටිකෙන් ටික 10 වන ස්ථානය දක්වා ඉදිරියට ආවේ. පස්සෙ තමයි මට දෙරණේ ලක්සිරි සර් ආරාධනා කළේ සංගීතේ ටෙලි නාට්‍යයේ රංගනයට. එය මගේ පළමු රංගනය නොවේ. දෙරණේ මාසිකව පොහෝ දින වෙනුවෙන් විකාශනය වන චිත්‍රපටයට මම මුලින්ම රංගනයට දායක වුණා. පස්සේ නැවත සංගීතේ ටෙලි නාට්‍යයට අවස්ථාව ලැබුණා.
සංගීතේ නාට්‍යයට අමතරව රංගනය හා ගායනයට අවස්ථාව ලැබිලා තියෙනවාද?
සංගීතවේදී දර්ශන රුවන් දිසානායක සර්ගේ චිත්‍රපටයකට රංගනයෙන් එක් වුණා. ‘ගොවි තාත්තා’ තමයි ඒ චිත්‍රපටයේ නම. සර්ගේ අත්දැකීමක් ඇසුරින් තමා ඒ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. මම චිත්‍රපටයකට ගීත ගායනයෙන් හා රංගනයෙන් ප්‍රථම වරට එක් වන්නෙත් මේකෙන්.
එතකොට ගායනය පැත්තෙන් ළඟදි මොකද කළේ?
මම 2012 දී විශාරද විභාගය කළා. අලුතින් මගේම ගීත දෙකක් කළා. එක ගීතයක් මෑතකදී එළි දැක්වූවා. මේ වෙනකොට ඒ ගීතය යූ ටියුබ් එකට දාලා තියෙනවා. ‘ආදරයේ කුසුම’ තමයි ඒ ගීතය. එහි පද රචනය අමිල තේනුවර, සංගීතය දර්ශන රුවන් දිසානායක යන මහතුන් විසින් සිදු කර තිබෙනවා.
0 Comments