ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා කෘතහස්ත දේශපාලනඥයෙක් වන අතර මාතර දිස්ත්‍රික්කයට පමණක් නොව මුළු රටම වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටුකළ නායකයෙක් බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
චන්ද්‍රසිරි ගජධීර මහතා දේශපාලනයෙන් ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවූ අතර යුක්තිගරුක, අව්‍යාජ දේශප්‍රේමියකු වන බවත් ජාති භේදයකින් තොරව රටේම ජනතාවගේ හදවත් දිනූ නායකයෙක් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය කාරක සභා සභාපති එස්. අඩෙක්කලනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පසුගිය සිකුරාදා (20) රැස්විය. නිවේදන, ලිපිලේඛන, මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත චන්ද්‍රසිරි ගජධීර මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදය ආරම්භ කෙරිණ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා - හිටපු විශ්‍රාමික විදුහල්පති කර්නිස් ගජධීර මැතිතුමාට සහ හිටපු විශ්‍රාමික විදුහල්පතිනි සුසන් රණවීර මැතිනියට දාව 1946 පෙබරවාරි මස 26 වන දින කොළඹ දී චන්ද්‍රසිරි ගජධීර මහතා ජන්ම ලාභය ලැබුවා. මූලික අධ්‍යාපන කටයුතු රත්නපුර දිප්පිටිගල මහා විද්‍යාලයෙන් සහ මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයෙන් හැදෑරූ මෙතුමා සිංහල භාෂාව හා ප්‍රාචීන භාෂා ගෞරව උපාධිය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් හිමිකර ගත්තා. විශ්වවිද්‍යාල අවදියේ මෙතුමා ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යා සංගමයේ ලේකම් තනතුර සහ අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උප සභාපති ධුරයද දරා ඇති අතර, ක්‍රීඩා කෞශල්‍ය වෙනුවෙන් වර්ණ සම්මාන ලබාගත්තා.
පසුකලෙක සිදත්තා ජයසිංහ මෙනෙවිය සමඟ විවාහ දිවියට පිවිසි මෙතුමා එම විවාහයෙන් දියණියන් තිදෙනෙකුගේ පියෙක් බවට පත්වුණ. චතුරාධා ගජධීර, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරියකු ලෙසත්, ප්‍රවින්ද්‍යා ගජධීර ඉංජිනේරුවරියක ලෙසත්, අමසරා ගජධීර රජයේ අධිනීතිඥවරියක් ලෙසත් උසස් රැකියාවන්හි මේ වනවිට නිරතව සිටිනවා. 1976 වසරේදී මෙතුමා ගුරු වෘත්තියට පිවිසි අතර, පසුව 1981 වසරේදී නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන්නේය. දොස්තර සුගිස්වර වික්‍රමසිංහ, බී. වයි. තුඩාවේ , ඊලියන් නානායක්කාර, සරත් මුත්තෙට්ටුවේගම යන මහත්වරුන්ගෙන් දේශපාලන පන්නරය ලැබූ මෙතුමා 1978 වසරේ මාතර මහ නගර සභාවට තරග කරමින් නාගරික මන්ත්‍රීවරයකු වූ අතර, 1988 වසරේදී එක්සත් සමාජවාදී පෙරමුණ යටතේ පළාත් සභා මැතිවරණයට තරග කරමින් දකුණු පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රීවරයකු බවට පත්වුණා. පසුව 1994 වසරේදී පොදුජන එක්සත් පෙරමුණ යටතේ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළා.
2004 වසරේ රට තුළ ඇති වූ සුනාමි තත්ත්වය ෙහ්තුවෙන් මාතර දිස්ත්‍රික් ජනතාව විශාල ලෙස අවතැන් වූ අතර, ඔවුන්ගේ නිවාස සාදාදීම වෙනුවෙන් එම අවස්ථාවේදී පුරෝගාමීව කටයුතු කළ මෙතුමා විදේශ ආධාර හා රාජ්‍ය නොවන සංවිධාන මඟින් ලබාගත් ආධාරවලින් මාතර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් නිවාස තනාදීමට මූලිකත්වය ගෙන කටයුතු කළා. තවද, සුනාමියෙන් අඩාල වූ ධීවරයන්ගේ ධීවර කටයුතු යළි නගාසිටුවීමටද මහත් කැපවීමකින් ක්‍රියා කළ තැනැත්තෙකු ලෙස මෙතුමා මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි.
මෙසේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල සේවයක් කළ මෙතුමා හදිසියේ ඇති වූ රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් අවුරුදු 73 ක් ආයු වළඳා 2019 සැප්තැම්බර් මස 06 වන දින මෙලොව හැර ගියා.
1994 වර්ෂයේ සිට 2019 දක්වා අවුරුදු 22 කට වඩා වැඩි කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට අගනා මෙහෙවරක් ඉටුකළ ගරු චන්ද්‍රසිරි ගජධීර මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර බිරිඳ දරුවන් ඇතුළු පවුෙල් ඥාතීන් වෙත දන්වා යවන ලෙසට යෝජනා කරමි.
වසර 22 ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ මහතා අමාත්‍ය ධුර ගණනාවක් දැරුවා. ඒ වගේම සිය අමාත්‍ය ධුරය ඔස්සේ එතුමා හරි හම්බ කළේ නැහැ. එතුමා දේශපාලනයෙන් හරි හම්බ කළේ නැහැ. කාර්මික විද්‍යාල වෘත්තිය පුහුණු විද්‍යාල ඇති කිරීමත් එතුමා විසින් ආරම්භ කළා.
චන්ද්‍රසිරි ගජධීර මහතා මාතර දිස්ත්‍රික්කයට මෙන්ම රටවැසියාට ඉටුකළ සේවාව අසීමිතයි. විශේෂයෙන්ම සුනාමිය ඇතිවූ අවස්ථාවේ දී එතුමා විසින් විපතට පත් අය වෙනුවෙන් ඉටුකළ සේවය අතිවිශාලයි.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා - චන්ද්‍රසිරි ගජධීර මහතා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ රත්නපුර ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයකින් පසුව මාතර ශාන්ත තෝමස් විද්‍යාලයටත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත් ඇතුල්වුණා. තරුණ වියේදී පටන්ම ඔහු වාමාංශික අදහස් දැරූ ප්රගතිශීලී අයෙක්. කොමියුනිස්ට් පක්ෂ නියෝජනය කළ එතුමාට පක්ෂයේ නායකයින්ගෙන් ආශීර්වාදය ලැබුනා. කොමියුනිස්ට් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායක ඇතුළු පක්ෂයේ විවිධ තනතුරු දැරූ ඔහු පක්ෂයේ උප සභාපති ධුරයද දැරුවා. නීතිඥයකුද වූ ගජධීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකුද වූවා. විවිධ අමාත්‍ය ධුරයන් දරමින් රටට සේවය කළා. ඒ වගේම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා ලෙස කටයුතු කළ වකවානුවේදී එතුමා සිරගත දරුවන් වෙනුවෙන් ‘සුනීත’ නමින් පාසලක් විවෘත කළා. අපගේ රජය යටතේ පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදුකළේ ගජධීර මහතායි.
එම වැඩපිළිවෙළ විදෙස් රටවල් විසින් පවා ඇගයීමට ලක් කළා. පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. රැඳවියන්ගෙන් අති බහුතරයක් දෙමළ හෝඩියවත් නොදන්නා අයයි. ඔවුන් පුනරුත්ථාපනය කරමින් සමාජගත කරවූවා. එහි ගෞරවය පූර්ණ වශයෙන් ගජධීර මහතාට හිමිවිය යුතුයි. චන්ද්‍රසිරි ගජධීර මහතා එඩිතර නිර්භීත නායකයෙක්. ඔහු සෑම මොහොතකම පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කළා. එතුමා වත්මන් තරුණ මන්ත්‍රීවරුන්ට ආදර්ශයක්.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා (එජනිස) - චන්ද්‍රසිරි ගජධීර මහතා දේශපාලනයේ පහළම මට්ටමේ සිට ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණ වසර 22 ක් සිටියා. ජනතා හදවත් දිනූ නායකයෙක් විදියට ඔහු හඳුන්වා දිය හැකියි. ජාතික සමගියේ ප්‍රතිමූර්තියක් ලෙස එතුමා දකින්නට පුළුවන්. නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස අමාත්‍යාංශ ගණනාවක සේවය කරමින් තම පරිපාලන ශක්තිය ප්‍රදර්ශනය කළා. ඔහු දේශපාලනයෙන් හම්බ කළේ නැහැ. වාමාංශික දේශපාලනයට ශක්තියක් ලබාදුන්නා. මෙරට ප්රගතිශීලී දේශපාලනයට එතුමාගේ වියෝව පාඩුවක්. යහපත් පවුල් ජීවිතයක් ගත කරමින් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදුන්නා. ජනාධිපතිතුමාගේ හා ශ්‍රීලනිපයේ සංවේගය එතුමාට දක්වමින් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා (එජනිස) - පාර්ලිමේන්තු දේශපාලනයෙන් 1994 ජයගෙන එතුමා තේරීපත්වුණා. ජ’පුර උපාධිධාරියෙක් විදියට චන්ද්‍රසිරි ගජධීර මහතා සමාජයට එක්වුණා. කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෙමින් එතුමා දේශපාලනය කළ නිසා ගුරු වෘත්තිය පවා අහිමි වුණා. එසේ වූවත් ඔහු වාමාංශික දේශපාලනයට සම්බන්ධ වෙමින් ජනතා සේවයක් කළා. වවුනියාවේ කිලිනොච්චියේ දහස් ගණන් ත්රස්තවාදීන් පුනරුත්ථාපනය කරමින් සමාජගත කිරීමට ලොකු මෙහෙවරක් කළා. කොමියුනිස්ට්වාදියකු ලෙස පාර්ලිමේන්තුව තුළ නොසැලෙන හඬක් නැගීමට ඔහු සමත්වුණා. කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ජාත්‍යන්තරයට පවා එතුමා ගියා. මහජනතාව සමඟ සිටියදී ගජධීර මහතාට අවස්ථා දෙකකදී ජීවිතය අහිමිවීමට යෙදුණා. නමුත් ඒ අවස්ථාවලදී ඔහුගේ ජීවිතය බේරුණා. එතුමාගේ වියෝව වෙනුවෙන් අපගේ ශෝකය ප්‍රකාශ කරනවා.
නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතා - සැබෑ මානව හිතවාදියකු වූ චන්ද්‍රසිරි ගජධීර මහතා 1994 දී පාර්ලිමේන්තුවට පිවිසියා. එදා සිට ළඟම මිතුරකු ලෙස ඇසුරු කිරීමට මට හැකිවුණා. වෘත්තියෙන් නීතිඥවරයකු වූවත් ඔහු ආදර්ශමත් දේශපාලකයකු වුණා. මුදල්, ධීවර, නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස එතුමා කටයුතු කළා. පසුගිය ආණ්ඩුව කාලයේ බන්ධනාගාර හා පුනරුත්ථාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සමාජයට ලොකු මෙහෙවරක් කළා. එතුමා කළ සේවාව අපි සදා අගය කරනවා. අභාවප්‍රාප්ත වූ ගජධීර මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා (එජනිස) - වමේ දේශපාලනයේ නියමුවෙකු විදියට කොමියුනිස්ට් පක්ෂයේ නායකයකු විදියට මාතර දිස්ත්‍රික්කයේ කටයුතු කළා. ජනතා හිතවාදී ප්‍රතිපත්තිගරුක නායකයෙක් විදියට එතුමා හඳුන්වා දිය හැකියි. පාර්ලිමේන්තුවේ ආදර්ශමත් චරිතයක් විදියට එතුමා කටයුතු කළා. එතුමා පාර්ලිමේන්තුව තුළ කතාවක් කළා නම් ඒ කතාව ඉතාම හරවත්ව සිදුකළා. අඟුණකොළපැලැස්සේ ඉදිකළ බන්ධනාගාරය, රට තුළ තිබෙන හොඳම බන්ධනාගාරය බවට පත්ව තිබෙනවා. මේ ඉදිකිරීම් කරනවිට එතුමා එක සතයක්වත් හම්බ කෙළ් නැහැ. ගජධීර මහතා දේශපාලනයෙන් සතයක්වත් හම්බ කළේ නැහැ. එතුමා පාර්ලිමේන්තු නවක මන්ත්‍රීන්ට ආදර්ශයක්. අපේ ශෝකය ප්‍රකාශ කරමින් එතුමාට නිවන් සුව පතනවා.
පත්කළ මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා (එජනිස) - විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මහා සංගමයේ ප්‍රධාන ෙල්කම් විදියට ගජධීර මහතා කටයුතු කළා. මම සභාපතිවරයා ලෙස සිටියා. අපි අවුරුදු දෙක හමාරක් විතර මහා ශිෂ්‍ය සංගමයේ වැඩ කළා. ගජධීර මහතා කොමියුනිස්ට්වාදියකු ලෙස තමයි පාර්ලිමේන්තුවට පැමිණියේ. ගජධීර මහතාට අසනීප වූ අවස්ථාවේ අපි කණ්ඩායම එක්ව මුදල් දෙන්න සූදානම් වුණා. නමුත් එතුමාගේ පවුලේ අය එය ගන්න කැමැති වුණේ නැහැ. ඒ තමයි ගජධීර පවුලේ හැටි. රජයේ මුදල් කිසිවක් ඔවුන් ගත්තේ නැහැ. ඔවුන්ට අපි මුදල් දෙන්න උත්සාහ කළේ අපිට දැනුණා අමාරුවෙන් තමයි ඔවුන් කටයුතු කරන්නේ කියලා. එතුමාගේ වියෝව ඒ පවුලට දරාගන්න අමාරුයි.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එජනිස) - කුමන බාධක පැමිණියත් ගජධීර මහතා ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී කොමියුනිස්ට්වාදියකු ලෙස කටයුතු කළා. බන්ධනාගාරගත දරුවන්ට ඉගෙනුම සඳහා ඉතිහාසයේ පළමු වතාවට පාසලක් ඉදිකළා. ඒ ඉදිකළේ ගජධීර මහතා බන්ධනාගාර ඇමැතිවරයා ලෙස කටයුතු කළ වකවානුවේදී. මිනිසුන් මරා දේශපාලනය කිරීමට කිසිවිටෙකත් එතුමා කටයුතු කළේ නැහැ.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා (එජනිස) - මාතර පුරවරයට පමණක් නොව සමස්ත ප්රගතිශීලී ජනතාවටම බලපාන දෙයක්. 88, 99 කාලවකවානුවේ ඇති වූ භීෂණයට නොබියව මුහුණ දුන් නායකයෙක් ලෙස ගජධීර ඇමැතිතුමාව හඳුන්වන්න පුළුවන්. සමහර නායකයන් ගම් අතහැර යනවිට ජනතාව වෙනුවෙන් එතුමා නොබියව පෙනී සිටියා.
තම දේශපාලන පක්ෂයේ තරුණ පිරිස් බිහිකරන්න එතුමා කටයුතු කළා. අද මාතර දිස්ත්‍රික්කයේ කොමියුනිස්ට් පක්ෂයේ දෙවන පෙළක් නිර්මාණය කර තිබෙනවා. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ලැබීමෙන් පසුව පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් විශාල සේවාවක් කළා. යාපනයත් මාතරත් සම්බන්ධ කරමින් 8000 ක පමණ පිරිසක් පුනරුත්ථාපනය කළා. එලෙස උතුරු, නැගෙනහිර පුනරුත්ථාපනය වූ ජනතාව බොහෝ පිරිසක් එතුමාගේ අවමංගල්‍ය උත්සවයට ද සහභාගි වී තිබුණා. ජාතික සමගිය ශක්තිමත් කරන්නත් එතුමා කටයුතු කළා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමඟිය වර්ධනය කරන්න ජීවිතයම කැප කර ක්‍රියා කළා.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 75 වැනි සංවත්සරය මාතර පැවැත්වූ අවස්ථාවේ ඉතාම හොඳින් සංවිධානය කළා. අද ශක්තිමත් තත්ත්වයකට මෙම පක්ෂය ගෙන ඒමටත් එතුමාගේ ක්‍රියාකලාපය වැදගත් වුණා.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එජනිස) - මේ රටේ දැවැන්ත අමාත්‍යාංශ කිහිපයකටම නායකත්වය දෙමින් විශාල සේවාවක් සිදුකළා. 88 රාජ්‍ය ත්‍රස්තවාදය එක පැත්තෙකින්, එදා ඇති වූ කැරැල්ලටත් කොමියුනිස්ට් පාක්ෂිකයෙක් ලෙස එතුමාට මුහුණ දෙන්න සිදුවුණා.
එතුමාගේ වාමාංශික අදහස් තුළ ජාතික අසමගිය ඇති කරන්න, ජාතිවාදී ලෙස කිසි දිනක ක්‍රියා කළේ නැහැ.
අමාත්‍යවරයෙක් ලෙස ක්‍රියාකරනවිට දූෂිත දේශපාලනඥයෙක් ලෙස දෝෂාරෝපණය කරන්න හෝ චෝදනා කරන්න කිසි දිනක ඉඩ තැබුවේ නැහැ. රාජ්‍ය දේපළ අවභාවිතා කළේ නැහැ. කොමියුනිස්ට් පක්ෂයටත්, දරුවන්ටත්, බිරිඳටත් ඒ ගෞරවය හිමිවෙනවා. පක්ෂයේ නායකයන් දූෂිතයන් නොවන බව ඉතා නොබියව ඒ පාක්ෂිකයන්ටත් ප්‍රකාශ කරන්න පුළුවන්.
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. සී. මුතුකුමාරණ මහතා (එජනිස) – “සෑම සිරකරුවෙක්ම මනුෂ්‍යයෝ” කියන තේමාව යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැරදිකරුවන් යහමඟ ගන්වන්න වැඩපිළිවෙළ සකස් කළා. පුනරුත්ථාපන ක්‍රියාවලියේදී පුනරුත්ථාපනයෙන් පිටවනවිට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය වටපිටාව සකස් කරන්න ක්‍රියා කළා. සැඟවුණු දක්ෂතා මතුකරලමින් ආර්ථිකය නිර්මාණය කරන්න එතුමා කටයුතු කළා. සිරකරුවන්ගේ බාලදක්ෂ ව්‍යාපාරය ඇතිකර 2013 ලෝකයේ පළමු වරට සිරකරුවන්ගේ බාලදක්ෂ ජම්බෝරියක් පැවැත්වූවා. ඓතිහාසික බෝගම්බර සිරගෙදර එම ස්ථානයෙන් ඉවත්කර පල්ලෙකැලේ නව සිරගෙදර නිර්මාණය කළා. සිරකරුවන්ගේ පීඩනය නිවාලන්න එතුමා කටයුතු කළා. සිරකරුවන්ගේ නිදහස ඇති කරන්න ක්‍රියා කළා.
අග්නිදිග ආසියාවේ මානව හිමිකම් අතින් සියලු පහසුකම් සමඟින් සිරගෙදරක් ඉදිකළා.
යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊපීඩීපී.) - වාමාංශික දේශපාලන නායකයෙක්, වාමාංශික මඟපෙන්වන්නෙක් ලෙස ගජධීර මහතා ක්‍රියා කළා. බන්ධනාගාර කෞතුකාගාර ඉදිකළා. කොටි ත්රස්තවාදීන් 5000 ක් පමණ නිදහස් කර ඔවුන්ගේ දෙමාපියන්ට භාරදීමට ක්රියාකිරීමේදී එතුමා විශාල සේවාවක් කළා. යුද්ධයෙන් පසුව ඉඩම් නිදහස් කරගැනීමට, නැවත පදිංචි කිරීම්, විරැකියාවෙන් පෙළෙන තරුණ පිරිස්වලට රැකියා අවස්ථා ලබාදීම, කන්කසන්තුරේ දක්වා රේල් පාර දීර්ඝ කිරීමට එතුමා විශාල සේවාවක් කළා.
දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් එතුමා ක්‍රියා කළා. දෙමළ ජනතාවට දැක්වු ආදරය හා ගෞරවය ඉතාම කෘතඥශීලීව සිහිකරනවා. යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිකරන්න එතුමා ක්‍රියා කළා. සිහිකැඳවීමේ දිනයක් පවත්වන්න එතුමා ක්‍රියා කළා. රටේ පොදු ජනතාව කෙරෙහි සමානාත්මතාවයෙන් බැලුවා. බන්ධනාගාර රැඳවියන්ටද දළදා මාලිගාව වඳින්න අවශ්‍ය කටයුතු ද එතුමා ඉටුකළා.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ටී. බී. ඒකනායක මහතා (එජනිස) - චන්ද්‍රසිරි ගජධීර මහතා පරිණත දේශපාලන නායකයෙක්. තම දේශපාලන මතය, දර්ශනය වෙනුවෙන් සෑම මොහොතකම පෙනී සිටියා. ඒ වගේම තමන් දරන ලද සෑම අමාත්‍යාංශයක් යටතේම එතුමා හැකි උපරිමයෙන් සේවය කළා. ඒ වගේම එතුමා සියලුදෙනාට හිතවත් ලෙන්ගතු මිනිසෙක්.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා (එජනිස) - චන්ද්‍රසිරි ගජධීර මහතා සුවිශේෂී ගුණාංගවලින් යුතු මහජන නියෝජිතයෙක්. එතුමා බොහොම පරිස්සමෙන් වචන භාවිත කළා. එතුමා සෑම මොහොතකම තමන් දරන දේශපාලන මතය වෙනුවෙන් පෙනී සිටියා. තමන් දරන දේශපාලන මතය වෙනුවෙන් පෙනී සිටීමේ මහත්මා ගුණය ඉතා වැදගත්. කොමියුනිස්ට් පක්ෂයට එතුමා ආලෝකයක් වුණා.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මනෝජ් ප්‍රසංග සිරිසේන මහතා (එජනිස) - ශිෂ්‍ය අවදියේ පටන්ම ප්රගතිශීලී වාමවාදී අදහස්වලින් සමන්විත වූ ගජධීර මහතාගෙන් ඉටුවූ සේවාව අතිවිශාලය. එතුමා නොකඩවා වසර 22 ක් පාර්ලිමේන්තුව නියෝජනය කළා. ගජධීර මහතාගේ වියෝවෙන් රටට වැඩදායි මිනිසෙක් අහිමිවුණා.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මලික් ජයතිලක මහතා (එජනිස) - චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවය රටටම පාඩුවක්. 1980 දශකයේ සිට අපි දෙදෙනා අතර පැවැතියේ සමීප සබඳතාවයක්. 2011 අවුරුද්දේ බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමැතිවරයා බවට පත්වීමත් සමඟ එතුමාගේ දක්ෂතාවයන් හැකියාවන් පිළිබිඹු වුණා. එදා පුනරුත්ථාපනය ලැබූ බොහෝ පිරිසක් අද ස්වාධීනව ජීවත්වන පිරිසක් බවට පත්වී තිබෙනවා.
පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ) - විධායක ජනාධිපති ක්‍රමය මෙරටට නොගැළපෙන බව කියන ස්ථාවරයේ එතුමා හිටියා. 20 වැනි සංශෝධනය ගැන අපි ගත් යෝජනාවේදීත් එතුමා තම අදහස් ඉදිරිපත් කළා. මෙතුමා නොවන්නට බැඳුම්කර වංචාව පිළිබඳව වාර්තාව නිකුත් කරන්න වෙන්නෙ නැහැ. එතුමාගේ ක්‍රියාකලාපය නිසා ඒ කටයුතු කර ගැනීමේදී විශාල පිටිවහලක් වුණා.
චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රීතුමා වමේ ව්‍යාපාරය පිළිබඳ විශ්වාසය අඩුවන අවස්ථාවක වමේ ව්‍යාපාරය රැකගැනීමට විශාල කැපකිරීමක් සිදුකළා. වෙනස්කම් ගොඩක් මැද්දේ වුණත් එකට එකතු වී වැඩකරන්න පුළුවන් කියන දේ එතුමා ආදර්ශයෙන් පෙන්වුවා.
පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා - එතුමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන මතයේ හිටපු පුද්ගලයෙක්. බලය බෙදී යා යුතුයි කියන මතයේ සිටියා. මාධ්‍යයෙන් මවන මතයට දේශපාලනඥයෝ යට වෙනවා. නමුත් ගජධීර මහතා තම ස්ථාවරයේ සිටියා.
වාමාංශිකයන් සුළුතර මතයේ සිටිනවා. නමුත් එතුමා සුළුතර, බහුතර බව බැලුවේ නැහැ. තම අදහස් යෝජනා ඉදිරිපත් කළා.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන (එජනිස) - එතුමා ඉතාම කණ්ඩායම් හැඟීමෙන් ක්‍රියා කළ නායකයෙක්. වමේ දේශපාලනයට ඉතා හොඳ නායකත්වය දුන් නායකයෙක්.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා - තමන් ලැබූ මනුෂ්‍ය ජීවිතය මනුෂ්‍ය වටිනාකම්වලින් පුරවාගත් මිනිසෙක්. වමේ ව්‍යාපාරය නිරත වූවෙක් ලෙස වමට අනන්‍ය වූ ජීවිත රටාවක් ගත කළා. වමේ ව්‍යාපාරයේ නිරත වූවාට ඒ ආකාරයට ජීවන රටාවක් පවත්වාගන් නැති අය ඉන්නවා. නමුත් ගජධීර මහතා එසේ නොවෙයි. ජාතීන් අතර සමගිය පවත්වාගන්න එතුමා ක්‍රියා කළා. සෑම ජන කොටසකටම ප්‍රීතිමත්ව දිවිගෙවන්න උඩුගං බලා පීනපු පුද්ගලයෙක්.
පත්කළ මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා (එජනිස) - රටේ අනාරක්ෂිත බවක් ඇතිවූ අවස්ථාවක පවා තමන්ගේ මතය වෙනුවෙන් පළාත් සභාවට තරග කළා. ඒ විතරක් නොව විශාල සේවාවක් ද සිදුකළා.
බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යාංශය පිළිබඳව විවිධ අනාවරණයන් කළා. හොඳ අධ්‍යයනයන් සිදුකළා. ඒ මත තම අදහස් ඉදිරිපත් කළා.
එතුමා දැක්මක් අනුව කටයුතු කළා. දේශපාලන දර්ශනයක් තිබුණා. එවන් නායකයන්ගේ අභාවය අපට විශාල පාඩුවක්. මේ රටටත්, පාර්ලිමේන්තුවටත් එතුමා කළ සේවාව අගය කරනවා.
මාතර දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා (එජනිස) - දේශපාලනයේදී විවිධ කරුණු නිසා තම ප්‍රතිපත්ති වෙනස් කර ගන්නා මිනිසුන් සිටින සමාජයක් තුළ ගජධීර මහතා තම ප්‍රතිපත්ති වෙනස් නොකළ අයෙක් ලෙස ගරු බුහුමන් ලබනවා. එතුමාගේ දේශපාලනය රටටම ආදර්ශයක්. රට ගැන සිතා එතුමා නිතරම වැඩ කළා.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා (එජනිස) - මැතිවරණවලදී මනාප ක්‍රමය යටතේ වූවත් ගජධීර මහතා කොමියුනිස්ට් පක්ෂයේ ගරුත්වය ආරක්ෂා කරමින් තරග කර 1994 දී පාර්ලිමේන්තුවට පිවිසුණා. සරල බවෙන් යුක්තව නිහතමානීව එතුමා පවුල් ජීවිතයක්ද ගත කළා. අපේ ශෝකය එතුමාගේ පවුලේ උදවියට පුද කරමින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය (එජනිස) - වසර 2010 දී තමයි ගජධීර මහතා මට හමුවුණේ. රට ජාතිය වෙනුවෙන් හොඳ දැක්මක් චන්ද්‍රසිරි ගජධීර මහතාට තිබුණා. හොඳට උගත් දූවරුන් තිදෙනෙකු හැදූ පියෙක් විදියටත් එතුමාව හඳුන්වන්න පුළුවන්. චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවය රටටම පාඩුවක්. එතුමාගේ වියෝව වෙනුවෙන් සිදුකරන අපගේ ශෝකය එතුමාගේ පවුලට දැනුම් දෙන අතර ගජධීර මහතාට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා.
කතානායක කරු ජයසූරිය මහතා - පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගේ වියෝව රටටම පාඩුවක්. එතුමා මෙරට කෘතහස්ත දේශපාලකයෙක්. එතුමාගේ වියෝව වෙනුවෙන් මගේද ශෝකය එතුමාගේ පවුල වෙත ප්‍රකාශයට පත්කරනවා. අද විවාදයේදී දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් කළ ශෝක යෝජනා ගජධීර මහතාගේ පවුල වෙත ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දෙනවා.
පාර්ලිමේන්තුව නැවත ඔක්තෝබර් 08 වැනිදා සවස 1.00 ට රැස් වේ.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න සහ චන්දිමා කරුණාරත්න
0 Comments