Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනාගත නායකයන් බිහිකිරිමේදී සැළකිය යුතු කාර්ය භාරයක් මාපියන්ට, ගුරුවරුන්ට සහ පුහුණුකරුවන්ට තිබෙනවා

ඔබ්සර්වර්-මොබිටෙල් වසරේ ක්‍රීඩකයා සම්මාන උළෙලේදී අරවින්ද ද සිල්වා කියයි

මෙරට අනාගත නායකයන් බිහි කිරීමේදී පුහුණුකරුවන්ට සහ ගුරුවරුන්ට සහ මාපියන්ට සැළකිය යුතු කාර්ය භාරයක් ඇතැයි ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා කියයි. කොළඹ හිල්ටන් හෝටලයේ පසුගියදා පැවැති ඔබ්සර්වර් -මොබිටෙල් 41 වැනි වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

‘අපේ රටේ අනාගතය ගැන සැළකිලිමත් වෙමින් කිසිදු බියක් සැකක් නොමැතිව තරගකාරී ලෝකයට පිවිසීමට මේ යොවුන් පරපුරට නායකත්වයක් සඳහා විශ්වාසයක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබාදීමට කටයුතු කරන ලෙස මා පුහුණුකරුවන්ට, ගුරුවරුන්ට සහ මාපියන්ට උපදෙසක් ලබාදීමට කැමැතියි. ඒ සඳහා ඔවුන්ට ඔවුන්ගේ වැරදි තුළින් ඉගෙන ගැනීමට ඉඩ ලබා දෙන ලෙසත්, ඔවුන්ගේ අභිලාෂය මුදුන්පත් කරගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසත් මා ඉල්ලා සිටිනවා.‘ අරවින්ද ද සිල්වා ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ ක්‍රීඩකයා සම්මාන උළෙලේදී ප්‍රකාශ කළේය.

‘අපේ ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය බාරගැනීමට බලා සිටින අපේ යොවුන් ක්‍රීඩකයන්ට මේ සම්මාන සහතික ඉතා වටිනවා. නමුත් සත්‍යය නම් ඊටත් වඩා ඔවුන් තුළ ආත්ම විශ්වාසය ගොඩනගා දීම ගැන අප සහතික වීමයි. කුඩා වියේ සිටම මාපියන්, ගුරුවරුන්, පුහුණුකරුවන් සහ අනිත් සියලුදෙනා එම දරුවා විශ්වාසනීය පුද්ගලයකු බවට පත් කිරිමට අවධානය යොමු කළ යුතුයි.‘ ඔහු කියා සිටියේය.

ආත්ම විශ්වාසය තමාට සිය ජීවිතය ගොඩ නගා ගැනීමට උපකාරී වූ සැටි උදාහරණයකට ගත් අරවින්ද ද සිල්වා කියා සිටියේ වසර තිහකට පෙර තමා වේදිකාවකට නැගීමට නොහැකි තරම් ඉතා ලජ්ජාශීලී දරුවකුව සිටි බවය. ‘මයික්‍රෆෝනයක් දැක්කමත් එතැනින් ඉවතට දුවන තත්ත්වයක් තිබුණේ. මගේ කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් සිටියා කඩුලු 3ක් දවාලීමෙන් පසුව නැවත පන්දු යවන්නට අවස්ථාව ලබාදීමේදී මට ආපහු බෝල් කරන්න දෙන්න එපා. මොකද මම තව කඩුලු 2ක් දවාගත්තොත් තරගයේ වීරයා වෙනවා. එතකොට මයික්‍රෆෝනය ඉදිරියට එන්න සිද්ධ වෙනවා කියලා කියන අය. ඒ නිසා අපට මේ යොවුන් පරපුර අතරින් නායකත්වයට සුදුසු පුද්ගලයන් ගොඩ නැගීමට විශාල දිරිගැන්වීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ කාර්ය භාරය සඳහා මාපියන්ට, ගුරුවරුන්ට හා පුහුණුකරුවන්ට විශාල කාර්යභාරයක් කරන්න සිදුවෙනවා.‘ ඔහු කීවේය.

‘මට අවුරුදු 13දී මගේ පාසලේ විදුහල්පතිවරයාගෙන් පුහුණුකරු අසා තිබුණා මට විදුහලේ පළමුපෙළ කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව ලබාදිය හැකිදැයි කියා. එවිට විදුහල්පතිවරයා මගේ පියාගෙන් විමසා සිටියා මා පළමුපෙළ ක්‍රීඩා කරවන්න පුහුණුකරුට අවශ්‍යයි, නමුත් මා සිතන්නේ ඔහු තවම ළාබාල වැඩියි, ඔබ මේ ගැන මොනවද සිතන්නේ කියා. එවිට මගේ පියා කියා තිබුණා එය ඔහුට නොවේ පාසලට අයිති කාර්යයක් කියා. ඉතින් එය පුහුණුකරුට තීරණය කරන්න සිදුවුණා. පුහුණුකරු සිතුවේ නම් මම පළමුපෙළට ක්‍රීඩා කරන්න සුදුසුයි කියා මා ඒ සඳහා යොමු කරවීම ඔහුට ප්‍රශ්නයක් නොවේ. මට අවස්ථාව ලැබී මා අවුරුදු 6ක්ම විදුහලේ පළමුපෙළට ක්‍රීඩා කළා. ඉන් මා ඉගෙන ගත් දේවල් බොහෝ තිබුණා. මම ඉතා ඉක්මනින් පරිණත ක්‍රීඩකයකු බවට පත්වුණා. අනිත් ක්‍රීඩකයන්ට වඩා.‘ අරවින්ද ද සිල්වා එසේ කීවේය.

මේ සෑම ක්‍රීඩකයකුම දස්කම්වලින් පෝෂණය වූ අය. ඇතැමුන් එසේ නොවූවත් අප ඔවුන්ට විශ්වාසය ලබා දෙන්නේ නම් ඔවුන්ගේ වැරදි තුළින් ඉගෙන ගෙන අනාගත ක්‍රිකට් ක්‍රීඩාව පෝෂණය කිරීමේ හැකියාව අත්කර ගනීවි.‘

ක්‍රිකට් ක්‍රීඩාව තුළින් අද මා ලැබූ සාර්ථකත්වය ජීවිතයටත් විශාල මගපෙන්වීමක් වුණා. එමෙන්ම පන්ති කාමරයෙන් ඉගෙන ගත් දේවල්වට වඩා තවත් බොහෝ දේවල් මම ක්‍රීඩාව තුළින් ඉගෙන ගත්තා.‘ අරවින්ද ද සිල්වා වැඩි දුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();