Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මම සමුගන්නේ රැල්ලට නෙමෙයි

2 සැප්තැම්බර්, 2019
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුවිශේෂි දකුණත් පිට දග පන්දු යවන්නෙක් වන අජන්ත මෙන්ඩිස් ජාතික හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිල වශයෙන් අද (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත් කළේය.
 
මේවන විට 34 හැවිරිදි වියේ පසුවන අජන්ත මෙන්ඩිස් තමන් මෙම තීරණය ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ අබාධ තත්ත්වය බවත් එසේ නොමැතිව කලකිරීමකින් මෙලෙස ක්‍රිකට්වලින් ඉවත් වීමක් සිදු නොවන බවත් කියා සිටියේය. 
 
අජන්තගේ සමුගැනීම වෙනුවෙන් හෙට(03) පැවැත්වෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ අන්තර් රෙජිමේන්තු විස්සයි විස්ස අවසන් ක්‍රිකට් තරගය වෙන් කර ඇත.
 
පනාගොඩ යුද හමුදා ක්‍රීඩාපිටියේ දී පැවැත්වෙන එම තරගය නැරඹීම සදහා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද එක්වේ.
 
එහි දී අජන්ත මෙන්ඩිස් ක්‍රීඩා කරන කාලතුවක්කු රෙජිමේන්තු කණ්ඩායම සහ යුද්ධෝපකරණ බලකා ක්‍රිකට් කණ්ඩායම තරඟ කරයි. 
 
තමා සහභාගීවන මෙම ක්‍රිකට් තරගය නැරඹීම සදහා හෙට සවස 02.00ට පැමිණෙන්නැයි ද අජන්ත මෙන්ඩිස් සිය ක්‍රීඩා ලෝලීන්ට ආරාධනාවක් ද කරනු ලැබීය.
 
ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙවර වෙනුවෙන් තමන් සතුටුවන බවත් සිය සාර්ථකත්වයේ මූලික තැන හිමිවන්නේ යුද හමුදාවට බවත් කී අජන්ත, යුද්ධ හමුදා තරගයක්ම අවසන් තරගය ලෙස යොදා ගැනීම ගැන සතුටට පත්වන බවද පැවසීය. 
 
ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව වෙත 2007 වසරේ දී නිත්‍ය ආධුනික සෙබලෙකු ලෙස බැදී අනතුරුව 2008 වර්ෂයේදී අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රිඩා කරනු ලැබීය.
 
ටෙස්ට් තරග 19 කදී කඩුලු 70ක් දවා ගෙන ඇති අජන්ත මෙන්ඩිස් අවසන් වරට ටෙස්ට් තරගයක් සදහා ක්‍රිඩා කරනු ලැබුවේ 2014 වර්ෂයේදීය.
 
එක්දින තරග 87කට ක්‍රිඩා කරමින් කඩුලු 152ක් දවාගෙන ඇති ඔහු විස්සයි-20 තරග 39 කදී කඩුලු 66ක් දවා ගැනිමට සමත්ව ඇත. 
 
දකුණත් පිට දග පන්දු යවන්නෙකු ලෙස නම් කර තිබුනද, පා දග පන්දු, ගුග්ලි, ෆ්ලිපර්ස්, ෆාස්ටර් බොල් වැනි පන්දු ශෛලීන් මිශ්‍රණයක් පන්දු යැවීමේ දී උපයෝගී කර ගන්නා මෙම අද්විතීය පන්දු යවන්නා කැරම් පන්දුව තම අවිය කර ගනිමින් ජාත්‍යන්තර තරග පිටියේ දක්ෂතා දක්වන ලදි.  
 
2015 වර්ෂයේදි අවසන් වරට ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරගාවලියකට ක්‍රිඩා කිරිමෙන් අනතුරුව ඔහුට යලිත් ජාතික කණ්ඩායම නියෝජනය කිරිමට අවස්ථාවක් හිමි නොවිය.
 
මේ එහි දී තවදුරටත් අදහස් දැක් වූ අජන්ත මෙන්ඩිස් ...

“කිසිම කළ කිරීමක් නෑ. මම සතුටින් සමුගන්නේ. මගේ ආබාධය නිසා තමයි මට මෙච්චර කල් ක්‍රීඩා කරන්න ලැබුණේ නැත්තේ.

මම රැල්ලට සමුගන්නවා නෙමෙයි. රෙජිමේන්තුවේ තරගයක් ගහලා මම සමුගන්න හිටියේ.

මම පුහුණුකරුවෙක් ලෙස යන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මම පුහුණුකරුවෙක් වෙන්න සුදුසුකම් ඔක්කොම ලබලා තිබෙනවා. මගේ දැනුම පළපුරුද්ද බෙදා ගැන්න කැමතියි.

මම අවුරුදු තුන හතරකින් ක්‍රිඩා කරන්නේ නැතිව ජාතික තරගයක් ක්‍රීඩා කරන එක සාධාරණ මදි.

මම ෆිට්නස් ගොඩක් කරලා නෑ. යුද හමුදා ග්‍රවුන්ඩ් එකෙන් එළියට යන එකයි මගේ ආසාව.

ක්‍රිකට් ආයතනයට මොකවත් කියන්නේ නෑ. ”



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();