අපූරු යුවළක් ගැන සංවේදී කතා පුවතක් මුහුණු පොතේ සංසරණය විය. ඒ වකුගඩු රෝගී ශ‍්‍රී ලාංකීක තරුණයකු සමඟ බත් පැකට් විකුණන රුසියානු ජාතික කාන්තාවක් පිළිබඳ කතාවකි. ඔවුන් බත් පැකට් වෙළෙඳාම කරගෙන යනු ලබන්නේ මාලබේ Sliit ආයතනය ඉදිරිපිට ප‍්‍රධාන මාර්ගයට මුහුණලාය.
කුඩයක සෙවණ යට පුංචි මේසයක් මත බත් පැකට් තබාගෙන වෙළෙඳාම් කරන ඒ තරුණ යුවළ පිළිබඳ මුහුණු පොතේ තබා ඇති සටහන කියවන ඕනෑම සංවේදී හදවතක් කම්පනයට පත්වන බව සැබෑය. එහෙත් මුහුණු පොතේ සඳහන් වී තිබුණේ ඔවුන් පිළිබඳ කෙටි විස්තරයකි. එම කෙටි සටහන තුළ අනුවේදනීය කතාවක් සැඟවී තිබෙන බව මට හැඟිණි. එසැණින් මම ඡායාරූප ශිල්පී නිමල් දයාරත්න ද කැටුව මාලබේ Sliit ආයතනය අසලට ගියෙමි. එම ස්ථානයට යන විටත් ආදරණීය යුවළ බත් පැකට් විකුණමින් සිටින අයුරු අපි දුටිමු. වහා ක‍්‍රියාත්මක වූ නිමල් අයියා තෙවැනි ඇස ක‍්‍රියාත්මක කරමින් ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් කැමරා කාචයේ සටහන් කර ගන්නා අයුරු ද පෙනිණි. පසුව මම අනන්‍යතාව තහවුරු කරමින් ඔවුන් දෙපළ සමඟ කතාවට මුල පිරුවෙමි.
අව් කණ්ණාඩිය නළල මත ර`දවා ගත් තරුණයා ප්ලාස්ටික් බංකුව මත හරි බැරි ගැසිණි. හිස බූ ගා සිටි ඔහු තරමක් තරුබාරුය. එහෙත් කාල වර්ණ ඔහුගේ මුව ම`ඩල ප‍්‍රසන්නය. සැපවත් පවුලක, වැදගත් විදිහට ජීවත් වූ තරණයකු බව ඔහුගේ ප‍්‍රියමනාප කතාවෙන් සහ ඇඳ පැළඳ සිටි ඇඳුම් පැළඳුම්වලින් පෙනිණි. හේ මනීෂය. ඔහුගේ ගම් පළාත තංගල්ලේය.
මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ උසස් නිලධාරීන් යුවළකගේ කුළුඳුල් කිරිකැටියා ලෙස පවුලට එකතු වූ මනීෂ පාසල් අධ්‍යාපනයට අත්පොත තබා ඇත්තේ තංගල්ල ප‍්‍රාථමික විද්‍යාලයෙනි. 1989 වර්ෂයේදී ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ පුංචි මනීෂව කොළඹ අශෝක විද්‍යාලයට ඇතුළත් කිරීමට ඔහුගේ උගත්, බුද්ධිමත් මවුපිය යුවළ පසුබට නොවූහ. අශෝකයේ දක්‍ෂ ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය හැදෑරු මනීෂ, 1994 වර්ෂයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වීමට වාසනාවන්ත විය. පසුව ගණිත අංශයෙන් උසස් පෙළ කිරීමට කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වූ මනීෂ 1996 වර්ෂයේදී අපොස උසස් පෙළ කඩඉම ද අති විශිෂ්ට ලෙස ජය ගත්තේය. අනතුරුව ඔහු වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා රුසියාව බලා පිටත් වී ඇත. රුසියානු රජයේ ශිෂ්‍යත්වලාභීන් ලෙස මෙරටින් රුසියාවේ අධ්‍යාපනය හැදෑරීමට ගිය අවසාන සිසුන් කණ්ඩායමට ඇතුළත්වීමට ද මනීෂ වාසනාවන්ත විය. එසේ මෙරටින් පිට වූ මනීෂ රුසියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් සවුන්ඞ් ඉංජිනේරු උපාධියක් ලබා ගත්තේය. එමෙන්ම ඔහු වසර දහතුනක් රුසියාවේ ජීවත් වූයේය. එම කාලය තුළ විවිධ පුද්ගලයන් ඔහුට ඇසුරු කිරීමට ලැබුණද විශ්වවිද්‍යාලයේ එකට ඉගෙනගත් ස්වේත් ලානා ඒ අතර විශේෂ විය.
ඇය රුසියාවේ මුරමන්ස් නගරයේ එරට රාජ්‍ය නිලධාරියකුගේ පවුලක බඩ පිස්සියයි. වෘත්තියෙන් පෞද්ගලික ආයතනයක ගණකාධිකාරිවරියකි. එරටදී මනීෂ සමඟ ළෙන්ගතු ඇසුරකින් බැඳුණු ස්වේත් ලානා ඔහු හා මෙරටදී විවාහ දිවියට ඇතුළත් වී ඇත්තේ සාංසාරික බැ`දීමක් ලෙසය. දුක, සතුට සමසේ බෙදා හදාගැනීමේ පරම චේතනාවෙන් මනීෂගේ බිරිඳ වූ ස්වේත් ලානාට මහ මඟ බත් පැකට් විකිණීමට සිදුවීම දෛවයේ සරදමකි. මනීෂගේ සෙවණැල්ල සේ ඇඟ දැවටෙමින් ගිනි අව්වට පිච්චෙමින්, වැහි පොදට තෙමෙමින් මහ මඟ බත් විකුණන ඇය බැලූ බැල්මට විනීත ගතිපැවතුම් ඇත්තියකි. කෙටි ඩෙනිම් සායකින් හැඩ වී, සැහැල්ලූ බැනියමක් හැඳ සිටි ඇයගේ දෙපා සැරසී තිබුණේ රබර් සෙරෙප්පු කුට්ටමකිනි. අඟර, දඟර මුකුළු ව්‍යාජ සෝබනවලින් තොර වූ ඇය රුපියලට ගණන් බේරමින් වෙළෙඳාම ද පිළිවෙළට කරගෙන යන අයුරු අපි බලා සිටියෙමු. මනීෂ මුව විවර කරමින් අපගේ අවධානය ඔහු වෙතට යොමු කර ගත්තේය.
‘‘මෙයා හරි අමුතුයි. මම ලංකාවට ඇවිත් මාසයක් යන්න මත්තෙන් මෙයත් ලංකාවේ සංචාරයකට ආවා. ඒ ඇවිත් කටුනායක ගුවන්තොටුපළෙන් බැහැලා මා ළඟට ආ හැටියේ කිව්වේ එයාගේ ගෙදරට ආවා වගෙයි කියලා. අපේ ගෙදර තමයි නතර වෙලා හිටියේ. මෙයා ලංකාවේ වැඩියෙන්ම යන්න කැමති අනුරාධපුර, මයියංගනය, පොළොන්නරුව ප‍්‍රදේශවල ඇවිදින්න. බෞද්ධ සිද්ධස්ථානවලට ගියහම ඒ තැන්වල පැය ගණන් වාඩි වෙලා ඉන්නවා. බෞද්ධයෙක් වගේ වන්දනාමාන කරනවා. කන්න කැමති බතල, මයියොක්කා, කරවල බැදුම්, පොල් රොටි, බොන්නෙ ඇල්වතුරයි, තේ විතරයි. ඒසී, හෝට් වෝටර් ඇලජික්. මම කැමති බිම නිදාගන්න. එයත් මාත් එක්ක බිම නිදාගත්තෙ...’’
‘‘ඒ වගේම මෙයා හරිම ගුණයහපත්. මෙයාගේ අම්මා පුංචි කාලෙම නැති වෙලා. මෙයයි, අක්කයි හැදිලා තියෙන්නෙ අම්මගේ, අම්මා ළඟ.
ඉගෙනගෙන ඉවර වෙලා අක්කා කසාද බැඳලා ගියාට පස්සෙ වයසක සීයයි, ආච්චීවයි මැරෙනකම් බලාගෙන තියෙන්නෙ මෙයා. ඒ වගේම තාත්තාගේ අම්මවයි, සීයවත් මැරෙනකම් බලාගෙන තියෙන්නෙ මෙයා. දැන් අපි කසාද බැඳලා අවුරුදු හතරයි. අවුරුදු තුනක්ම එයා කරන්නෙ මට සාත්තු කරන එකයි. මගේ සියලූ වැඩ කරන්නෙ ස්වේතා. වේලාවට බෙහෙත් ටික දෙන්නෙ ස්වේතා. නියපොතු කපනවා, නාවනවා, කවනවා, පොවනවා, බත් පැකට් ටික වාහනයට දාන්නෙ, බාන්නෙ ස්වේතා. මට බත් පැකට් එකක්වත් උස්සන්න දෙන්නේ නෑ. දැන් මෙයා ජීවත් වෙන්නෙ මගේ ජීවිතයත් එයාගේ කරගෙනයි. මගේ පිනකට තමයි මේ වගේ කෙනෙක් කසාද බඳින්න ලැබුණේ. මෙයා ගැන කතා කරනකොට ඇස්වලින් කඳුළුත් එනවා...’’ මනීෂගේ දෙනෙත් ලොවි ගෙඩි සේ රතු වන අයුරු මම දුටිමි. ඒ රෝගී තත්ත්වය මතක් කිරීමත් සමඟ ඇති වූ වේදනාවට නොවේ. ස්වේතාගේ ගුණ වර්ණනා කිරීමත් සමඟ ඇය කෙරෙහි ඔහුගේ සිතේ මතු වූ දැඩි ස්නේහයටය.
මාස තුනකට ආසන්න කාලයක් ලංකවේ සංචාරය කර රුසියාවට ගිය ස්වේත් ලානා කෙටි කාලයකින් නැවත ලංකාවට පැමිණ තිබුණේ මනීෂව කසාද බඳින්නය. ආසිරි මල් වරුසා මැද මනීෂ සහ ස්වේත් ලානා යුග දිවියට ඇතුළත් වී ඇත්තේ 2016 අවුරුද්දේ මාර්තු මාස 24 වැනිදාය. එහෙත් ඔවුන්ට දරුමල්ලන් හදාගෙන සුන්දර විවාහ ජීවිතයක් ගත කිරීමට නොහැකි විය. මනීෂට දෛවය නපුරු විය. වසර දහතුනකට වැඩි කාලයක සිට දියවැඩියා රෝගයෙන් පීඩා විඳිමින් සිටි මනීෂගේ පාදයක් හිටි හැටියේ ඉදිමෙන්න ගත්තේය.
‘‘2016 අවුරුද්දේ සැප්තැම්බර් මාසෙ තමයි කකුල ඉදිමෙන්න පටන් ගත්තේ. පෞද්ගලික රෝහල් කිහිපයකටම ගිහින් විශේෂඥ වෛද්‍යවරු මුණගැහිලා කකුල පෙන්නුවා. ඒත් ඒ කිසිම වෛද්‍යවරයකුට ලෙඬේ හරියට හඳුනාගන්න බැරි වුණා. එක ජනප‍්‍රිය පෞද්ගලික රෝහලක දවස් එකහමාරක් නේවාසිකව ඉඳලා පරීක්‍ෂණ කරලා බැලූවා. පැනඩොල් පෙත්තක් තරම්වත් දුන්නේ නෑ. ඒ දවස් එකහමාරට අය කිරීම එක්ලක්‍ෂ අසූදාහයි. ඒත් ලෙඬේ හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ තාත්තයි, අම්මයි මාව කොළඹ ජාතික රෝහලට අරගෙන ගියා. මහ රෝහලට ඇතුළත් වෙලා පැය දෙකක් යනකොට මාව ඔපරේෂන් එකටත් ගත්තා. මගේ එක කකුළක දණහිය ළඟින් නරක් වීගෙන ඇවිත් තිබුණේ. තව දවස් දෙක තුනක් හිටියා නම් දණහිය ළඟින් කකුළ කපන්න වෙනවා කියලා ඔපරේෂන් එක කරපු වෛද්‍යවරු මට කිව්වා. මාස හතරකට පස්සෙ තමයි මම රෝහලෙන් ගෙදර ආවේ. ඒත් ස්වේතාගේ වාරුවෙන් තමයි ඇවිද්දේ...’’
‘‘ගෙදර ඇවිත් මාසයක් විතර ඉන්නකොට හිටි හැටියේ ඇස් දෙක පේන්නෙ නැතිව ගියා. කකුල් දෙක බෙර කොට වගේ ඉදිමිලා ඇවිදගන්නම බැරි වුණා. ඇෙඟ් මුත‍්‍රා යන තරමට අමාරු වුණා. ආයෙමත් විශේෂඥ වෛද්‍යවරු හමු වෙලා පරීක්‍ෂණ කරලා බැලූවා. ඒත් ලෙඬේ මොකක්ද කියලා හඳුනාගන්න බැරි වුණා. කොළඹ ජාතික රෝහලට ඇතුළත් වෙලා මාසෙකට විතර පස්සෙ තමයි වකුගඩු රෝගයක් කියලා හරියටම හඳුනාගත්තේ. මම සිගරට් බීලා නෑ. අරක්කු බොන්නෙ නෑ. අඩු වයසෙන් වකුගඩු නරක් වුණේ කොහොමද කියලා වෛද්‍යවරු පරීක්‍ෂණ කරනකොට තමයි තහවුරු වුණේ කකුලේ තුවාලය වේලෙන්න දීපු බෙහෙත්වල සැරටයි එහෙම වෙලා තියෙන්නෙ කියලා. ඇස් පෙනීම නැති වෙලා තියෙන්නෙත් බෙහෙත්වල සැරට. සයිලන්ට් හාට් ඇටෑක් දෙකක් ඇවිත් තිබුණා. ඊට පස්සේ 2018 අවුරුද්දේ නොවැම්බර් මාසෙ ස්ටේන්ත් දෙකක් දාලා හදවතේ නාලවල බ්ලොක් ඉවත් කළා. මේ අවුරුද්දේ නොවැම්බර් මාසෙ වෙනකම් බෙහෙත් පාවිච්චි කරන්න ඕනෑ. නොවැම්බර් මාසෙ කරන එකෝ ටේස්ට් එකෙන් තමයි වකුගඩු බද්ධ කරන්න පුළුවන් ද කියලා තීරණය කරන්නෙ...’’
‘‘ඒ අතරේ මට වකුගඩුවක් දෙන්න කැමති කෙනෙක් අපි හොයනවා. මගේ අම්මයි, තාත්තයි වයස නිසා ඒ අයගේ වකුගඩු මට ගැලපෙන්නෙ නෑ. වයිෆ්ගේ වකුගඩුවක් මට හරි යන්නෙත් නෑ. මගේ නංගිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. තව දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා නංගි කැමැති වුණත් එයාගේ වකුගඩුවක් ගන්න මම කැමැති නෑ. මගේ මේ අසනීප තත්ත්වය නිසා අපේ පවුලම ආර්ථික අතින් බින්දුවටම වැටුණා. සල්ලි දීලා
වකුගඩුවක් ගන්න දැන් අපිට මිල මුදල් නෑ. වෛද්‍යවරුන්ට ලක්‍ෂ ගානක් වියදම් කරලා දැන් අපි අයට වැටිලා ඉන්නෙ. නොපෙනී ගිය ඇස්වල පෙනීම ගන්න විතරක් ඔපරේෂන් පහක් කළා. ඒත් තවම පෙනීම නෑ. එක ඇහැක් චුට්ටක්වත් පේන්නෙ නෑ. අනිත් ඇහැ ටිකක් පේනවා. ඒත් මට තවම කළුවරයි...’’
‘‘මම හම්බ කරපු සේසතම වියදම් කළේ පෞද්ගලික රෝහල්වලට. මම ලංකාවට ඇවිත් ‘වන්.එෆ්.එම්.’ කියලා වෙබ් රේඩියෝ චැනල් එකක් කරගෙන ගිහින් මාසේකට සැලකිය යුතු ආදායමක් උපයා ගත්තා. ඒ එක්ක ඇඞ්වර්ටයිසින් ෆර්ම් එකකුත් කරගෙන ගියා. මගේ ඔෆිස් එක තිබුණේ බොරැල්ලෙ නාමෙල් මාලනී තියටර් එක ළඟ. මා ළඟ සේවකයො හතළිහක් විතර වැඩ කළා. අසනීප වෙලා මේ අවුරුදු තුනට ඒ සේරම ව්‍යාපාර බංකොළොත් වුණා. පහුගිය කාලේ අපි දෙන්නා ජීවත් වුණෙත් අම්මටයි, තාත්තාටයි ලැබෙන පෙන්ෂන් එකෙන්. ස්වේතාගේ තාත්තා එවපු මුදල්වලින්. මාව තාම දැකලවත් නැතිව ස්වේතාගේ තාත්තා මගේ අසනීපයට වියදම් කරනවා. ස්වේතාගේ අක්කා දරුවොත් එක්ක ඇවිත් මාව බලලා වියදමට සල්ලිත් දීලා ගියා. හැමදාම දෙමවුපියන්ට, සහෝදරියන්ට බරක් වෙන්න බැරි නිසා තමයි මමයි, නෝනයි මේ බිස්නස් එක පටන් ගත්තෙ...’’
‘‘මේක හොඳ බිස්නස් එක. පටන් අරගෙන තවම මාසයක් නෑ. කෑම තියලා පැයක්, දෙකක් යනකොට අපි ගේන බත් පැකට් හැට, හැත්තෑව විකිණෙනවා. අපි දෙන්නෙ බුරියානි විතරයි. කෑම පැක් එකක් දෙසීය පනහයි. රසට, පිරිසිදුව දෙනවා. ඒ වගේම අපි දෙන බුරියානි එක ලංකාවේ වෙන කොහේවත් නෑ. මේ බුරියානි එක රුසියාවේ, ඇෆ්ගනිස්තානයේ රසවත් සහ ගුණවත් කෑමක්. අපි තව රසවත් පෑන් කේක් එකකුත් හදනවා. පෑන් කෙක් හතරක් පෙට්ටියක දාලා රුපියල් එකසීය පනහයි. ඒකත් ලංකාවේ වෙන කොහේවත් ගන්න නෑ. ලබන සතියේ ඉඳලා ඩන්ෆිග් එක්ක රුසියානු සුෆ් එකකුත් හඳුන්වලා දෙනවා. ස්වේතා කපන, කොටන දේවල් කරලා දෙනවා. මම තමයි කෑම හදන්නෙ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා මට උයන්න, පිහන්න පුළුවන්. රුසියාවේ ඉගෙනගන්න කාලෙ මම ඒ රටේ පාට් ටයිම් ජොබ් එකක් විදිහට කෑම පැකට් හදලා විකුණුවා. ලංකාවට ඇවිල්ලත් ඒකම කරන්න වෙයි කියලා නම් හීනෙකින්වත් හිතුණේ නෑ. ඒත් දෛවය මාව එතැනට ඇදලා දැම්මා. දුකක් නෑ. මට ඕනෑ අපේ ශක්තියෙන් නැඟිටින්න. මගේ ශක්තියට ස්වේතා ඉන්නවා. එයාට යන්න කිව්වත් යන්නෙ නෑ. ‘ඔයාව සනීප කරගෙන, ඔයත් එක්කමයි ගෙදර යන්නෙ’ කියලා එකම අධිෂ්ඨානයක එයත් ඉන්නවා...’’
‘‘අනුන්ගේ දුක දැකලා කම්පා වෙන මිනිස්සු මේ ලෝකය පුරා ඉන්නවා කියලා මට තේරුම් ගියේ අසනීප වුණාට පස්සෙ තමයි. ෆේස්බුක් එකේ ෆොටෝ එක දාලා තියපු කෙටි සටහන කියවලා විවිධ රටවල ජීවත් වෙන මිනිස්සු මට කතා කළා. රෙස්ටුරන්ට් කරන්න කතා කරනවා. කඩ දෙන්න කතා කරනවා. තාම ඒ සේරම කතාවට විතරයි. සමහර කොල්ලො කතා කරලා ඇඬුවා. ඒ අතරෙ පහුගිය දවසක ලේඩි කෙනෙක් වාහනයකින් බැහැලා ඇවිත් මගෙන් බුරියානි දෙකක් අරගෙන ලියුම් කවරයක් අතට දීලා ගියා. ලියුම් කවරය ඇරලා බලනකොට රුපියල් හැත්තෑපන් දාහක් දාලා තිබුණා. ඒ ලේඩි හරියට මූණ පෙන්නලා කතා කළේවත් නෑ.
හොරු, මංකොල්ලකාරයො, වංචාකාරයො අතර අනුන්ගේ දුකට හඬන, තැවෙන මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා. ෆේස්බුක් එකෙ ඒ සටහන තිබ්බෙත් මම නෙමෙයි, සසිදු මහානාමයි, චීලියි මල්ලියි. බත් විකුණන තැනට ඇවිත් මාත් එක්ක කතා කරලා ඒ අයට දුක හිතිලා තමයි ෆේස්බුක් එකට මගේ ෆොටෝ එක දැම්මේ. ඒත් මම ඉලන්නෙ අනුකම්පාව නෙමෙයි, දෙපයින් හිටගන්න ශක්තියයි. අනුකම්පාවෙන් යැපෙන්න ඕන වුණා නම් මගේ තාත්තාගෙ නම කිව්වා නම් මැරෙනකම් ජීවත් වෙන්න උපකාර ගන්න තිබුණා. එහෙම අවශ්‍ය නෑ. මගේ තාත්තත් කෙළින් තීන්දු තීරණ ගත්ත රාජ්‍ය නිලධාරියෙක්. මාත් එහෙමයි...’’ මනීෂ තව බොහෝ දේ අපට කීවේය. එහෙත් ඒ අපගේ දැන ගැනීම පිණිස පමණි. ලෝකයා ඉදිරියේ පංපෝරි ගැසීමට ඔහු අකැමැතිය.
මාරාන්තික රෝගාබාධ හමුවේ සිටුවරු පවා මානසිකව මෙන්ම ආර්ථිකමය වශයෙන් කඩා වැටෙන බව සැබෑය. මනීෂ මෙන්ම ඔහුගේ මවුපියන් ජීවිත කාලයේදීම හරි හම්බ කරගත් මුදල් මනීෂව සුවපත් කරගැනීමට වියදම් කර හමාරය. එමෙන්ම මනීෂගේ රෝගී තත්ත්වයත් සමඟ ඔහු විසින් ගොඩනඟාගත් ව්‍යාපාරය ඈවර වී හමාරය. එහෙත් මනීෂගේ හිත තවමත් එඩිතරය. ඔහුගේ සෙවණැල්ල ස්වේතා ධෛර්ය සම්පන්න ශක්තිමත් තරුණියකි. තවමත් තිස්හත් වැනි වියේ පසු වන ස්වේතා සහ ජීවන ගමනේ හතළිස් වසර ගෙවී යන මනීෂ අවාසනාව ඉදිරියේ දණින් වැටීමට අකැමැතිය. එහෙයින් ඔවුන් වැටුණු තැනින් නැඟිටීමට අත්වාරුව කරගෙන ඇත්තේ කෑම වෙළෙඳාමය.
රුසියානු බුරියානි සැදීමට මනීෂ රුසියෙකි. රුසියානු රසකැවිලි පිළියෙළ කිරීමට ස්වේතා පළපුරුදු කෝකිවරියකි. එහෙයින් ඔවුන්ගේ කෑමවලට මේ වන විටත් ඉහළ ඉල්ලූමක් පවතී. මනීෂලාගේ බලාපොරොත්තු වී ඇත්තේ ඔවුන් කෙරෙහි ඔබගේ අනුකම්පාව නොවේ. ඔවුන්ගේ ව්‍යාපාරය වැඩි දියුණු කරගැනීමට ඔබ, අපගේ ශක්තිය සහ ආශිර්වාදය පමණි. එමෙන්ම මනීෂගේ ජීවිතය මරණයෙන් ගලවාගැනීමට නම් හැකි ඉක්මනට ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතුය. තව කෙනෙකුගේ දුක, වේදනාව ඉදිරියේ උණුවන හදවත් ඇති ශරීර අවයව දන් දීමට කැමති කෙනෙකුගේ වකුගඩුවක් බද්ධ කරගැනීමට මනීෂ කැමත්තෙන් සිටී. එහෙයින් ශරීර අවයව දන් දී පාරමිතා පුරන්න ඔබට අවස්ථාවක් උදා වී තිබේ. පමා නොවී මනීෂව මරණයෙන් ගලවාගෙන තරුණ යුවළට අලූත් ජීවිතයක් ලබාදීමට කැමති ඔබට plovf.lk ෆේස්බුක් පේජ් එක හරහා මනීෂව සම්බන්ධ කර ගත හැකිය. එසේ නොමැති නම් මනීෂගේ ජංගම දුරකථන අංකය 0771221768 ඔස්සේ මනීෂට කතා කළ හැකිය.
0 Comments