Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආරක්ෂක අංශවලට ලැබිය යුතු ප්‍රශංසාව අපේ මාධ්‍ය දුන්නේ නැහැ

Author(s): 
සිතාරා සේනානි

රජයේ සේවය ලබා ගැනීමේ දී ජනතාවට බාධා ඇති නොවිය යුතුයි 
- ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර

* නැවත මතුවිය නොහැකි ලෙස ත්‍රස්තවාදය මෙරටින් විනාශ කර දමනවා 
* කළු ජූලියක් ආයෙමත් එන්න දෙන්නේ නැහැ 
* ජාතිවාදය පැතිරවීම ත්‍රස්තවාදීන්ට සහයෝගය දැක්වීමක් 
* 30 වසරක යුද්ධයේ දී මුස්ලිම් ජනතාව අප සමග එකට සිටියා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා මාසයක් ඇතුළත අත්අඩංගුවට ගෙන රට වෙනුවෙන් සිදුකළ සුවිශේෂ සේවාවක් කළ ආරක්‍ෂක අංශ වෙත හිමි විය යුතු ගෞරවය ලබාදීමට අපේ රටේ මාධ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ආරක්‍ෂක කටයුතු සිදු කළ පොලිසිය, බුද්ධි අංශ ඇතුළු සියලුම ආරක්‍ෂක අංශ වෙත ප්‍රශංසාව හා ගෞරවය ලබාදීමට රටේ මාධ්‍ය මෙසේ පැකිලෙන්නේ මන්දැයි තමන් නොදන්නා බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධි අධ්‍යයන පාසලේ 2018 වසරේ පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. පශ්චාත් උපාධි ප්‍රදානය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (4) පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාසයක් ගත වන විට ශ්‍රී ලංකාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මර්දනය කිරීමට අපට හැකි වුණා. ඊට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන් පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූ අතර, අනෙක් සියලු දෙනා මේ වන විට අත්අඩංගුවේ පසුවෙනවා. මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඊට සම්බන්ධ සියලු දෙනා මාසයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකි වීම ලෝක වාර්තාවක් ලෙස හැදින්විය හැකියි. එවැනි සාර්ථකත්වයක් ලබාගත් රටවල් තිබෙන්නේ ඉතා ස්වල්පයක් පමණයි.

නමුත් මේ සම්බන්ධයෙන් මා තුළ එක් කනගාටුවක් තිබෙනවා. එනම්, මෙතරම් ඉක්මනින් මෙම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගත් රටේ ආරක්‍ෂක අංශ වෙත ඔවුන්ට හිමි ගෞරවය ලබාදීමට අපේ රටේ මාධ්‍ය කටයුතු නොකිරීමයි. මෙම ආරක්‍ෂක කටයුතු සිදු කළ පොලිසිය, බුද්ධි අංශ ඇතුලූ සියලූම ආරක්‍ෂක අංශ වෙත ප්‍රශංසාව හා ගෞරවය ලබාදීමට රටේ මාධ්‍ය පැකිලෙන්නේ මන්දැයි මා දන්නේ නැහැ. ඔවුන් රට වෙනුවෙන් සිදු කළේ විශේෂ සේවාවක්.

එංගලන්තය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව වැනි රටවල් මේ සම්බන්ධයෙන් මා සමඟ පැවසූයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු මෙතරම් ඉක්මනින් සොයාගත් වෙනත් රටක් නොමැති බවයි.

ප්‍රහාරය සිදුවූ දින දහවල් කාලයේ දී මීට සම්බන්ධ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නැයි මම උපදෙස් ලබා දුන්නා. එදිනම පස්වරුව වන විට අපේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ජීවිත අහිමි කරගනිමින් වුණත් එම ත්‍රස්තවාදීන් පිළිබඳ අත්‍යවශ්‍ය තොරතුරු රැසක් සොයා ගැනීමට හැකි වුණා. එම සිදුවීමෙන් සතියක් ගත වීමට පෙර ඊට සම්බන්ධ ප්‍රධානම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

නමුත්, මෙතරම් විශිෂ්ට සේවයක් සිදු කළ රටේ ආරක්‍ෂක අංශ වෙත එම ගෞරවය හා ප්‍රශංසාව ලබාදීමට මාධ්‍ය කටයුතු නොකරන්නේ මන්දැයි මටත්, ජනතාවටත් විශාල ප්‍රහේලිකාවක් වී තිබෙනවා. එම නිසා මෙම සිදුවීමේ ද නම සඳහන් නොවූ වීරයන් වන්නේ අපේ ආරක්‍ෂක අංශ බව මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා.

මේ අවස්ථාවේ දී රටේ ආරක්‍ෂක අංශ වෙත අවශ්‍ය ශක්තිය සහ සහයෝගය ලබා දෙමින් අප බලාපොරොත්තු වන්නේ අනාගතයේ දී රට තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයක් නැවත ඇති නොවන වාතාවරණයක් ඇති කිරීමයි. මේ පිළිබඳ අපි දැනටමත් සාකච්ඡා කරමින් සිටිනවා. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයට රට තුළ නැවතත් හිස එසවීමට ඉඩදිය නොහැකියි. ඔවුන්ට කිසිදු අනුකම්පාවක් නොදැක්විය යුතුයි. ඔවුන් සම්පූර්ණයෙන් විනාශ කර දැමිය යුතුයි.

එක් විෂ බීජයක් විනාශ වූ පමණින් තවත් විෂ බීජයක් හට නොගන්නවා යැයි සිතිය නොහැකියි. එම නිසා අප කළ යුත්තේ කඩිනමින් ඊට අවශ්‍ය පියවර ගැනීමයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවය කරන ඔබ සියලු දෙනාටත් මා පවසන්නේ එයයි.

මේ ත්‍රස්තවාදී විෂ බීජය ඇති වන්නේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව වැඩි වුණොත් පමණයි. ජාතිවාදය රට තුළ පැතිරෙනවා නම් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව ඉහළ යනවා. එසේ නම් අපි පළමුවෙන් ජාතිවාදය පැතිරීම අවසන් කළ යුතුයි.

1983 දී අපේ රටට සිදු වුණේ කුමක්ද? ජාතිවාදය පැතිරිම නිසා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව දස දහස් ගුණයකින් ඉහළ ගියා. ආරම්භයේදීම අවසන් කිරීමට හැකියාව තිබූ ජාතිවාදී කෝලාහලය විසඳීමට වසර 30 ක් ගත වුණා. අප නැවතත් එවැනි තත්ත්වයක් ඇති කර ගත යුතු නැහැ.

මේ ත්‍රස්තවාදයට සම්බන්ධ සියලු තොරතුරු දැන් අපට ලැබෙමින් තිබෙනවා. එම තොරතුරු හා ඒවා ලැබෙන මූලාශ්‍ර ආරක්‍ෂා කර ගනිමින්, රටේ ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොදිය යුතුයි. අපේ ආණ්ඩුවේ නිලතල දැරූ සියලූම මුස්ලිම් අමාත්‍යවරු සහ නියෝජ්‍යවරු එම ධූරවලින් ඉවත් වුණා. නිදහසින් පසු ප්‍රථම වතාවට මුස්ලිම් අමාත්‍යවරයකු නොමැති රජයක් දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ පිළිබඳ සියලු දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ස්වල්ප දෙනෙක් මේ පිළිබඳ සතුටට පත් වුණත් එය රටට හිතකර තත්ත්වයක් නොවෙයි.

මුස්ලිම් ජනතාව ගත වූ 30 වසරක යුද්ධයේ දී අපත් සමග එකට සිටි ජනතාවයි. ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙක් නොමග ගිය පමණින් අනෙකුත් සියලූ දෙනා ද ඒ මගට යොමු කරනවා නම් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මර්දනය කිරීමට කැප වන අයගේ වැඩ කටයුතු මීට වඩා දුෂ්කර වෙනවා.

මේ දිනවල ජාතිවාදය මුල් කර ගනිමින් පෙළපාලි යනවා. ව්‍යාපාරික ස්ථාන බලෙන් වසා දමනවා. මෙම ජාතිවාදී ක්‍රියා නිසා ව්‍යාපාර කර ගෙන යාමටත්, එම ව්‍යාපාර වෙනුවෙන් ලබාගත් ණය මුදල් ගෙවා ගැනීමටත් නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ව්‍යාපාරිකයන් මා සමග පැවසුවා. එය බරපතළ ගැටලුවක්. රටේ මාධ්‍යය ද ඒ සඳහා උදව් කරනවා. මේ පිළිබඳව අප කල්පනා කළ යුතුයි.

මේ රටේ ජනතාව ත්‍රස්තවාදයට මුහුණ දී තිබෙනවා. ශ්‍රී ලංකාව වටා තිබෙන සියලු ම රටවල් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයට මුහුණ නොදුන් එකම රට ශ්‍රී ලංකාව වුවත් වර්තමානය වන විට අපටත් ඊට මුහුණදීමට සිදුව තිබෙනවා. එම නිසා ත්‍රස්තවාදයට දිගින් දිගටම මුහුණදිය නොහැකියි. මාලි වැනි රටවල්වල ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදිනවා. එවැනි අප්‍රිකානු රටවලත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය වැළැක්වීමට ශ්‍රී ලංකාව උදව් කරමින් සිටිනවා. පසුගිය දා මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල දී අපේ රණවිරුවන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි වුණා.

ජාතිවාදය ඇවිස්සීම තුළින් සිදු වන්නේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රමාණය වැඩි වීමයි. හිටපු අමාත්‍යවරුන්ට මේ සම්බන්ධයෙන් චෝදනා තිබුණා. ඒ පිළිබඳ සම්පූර්ණ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස අපි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව එම පරීක්‍ෂණ කටයුතු මෙහෙය වීම සඳහා නිලධාරීන් තිදෙනෙකු පත් කර තිබෙනවා. ඔවුන් චෝදනා ඉදිරිපත් කරන සියලු දෙනා මුණගැසී කටඋත්තර සටහන් කර ගන්නවා. එම කට උත්තරවලට අනුව චෝදනා විභාග කර මාසයක් ඇතුළත එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව එවැනි සාක්‍ෂි හා තොරතුරු තිබෙනවා නම් ඕනෑම අයකුට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදිය හැකියි. ඒ අනුව මාසයක් ගත වීමට පෙර එම වාර්තාව අවසන් කිරීමට කටයුතු කරනවා. එම වාර්තාවට අනුව යම් පුද්ගලයකුට නඩු පැවරීමට තරම් චෝදනා තිබෙනවා නම් නඩු පැවරීමට කටයුතු කරනවා. එසේ නොමැති නම් ඔවුන් නිදහස් කරනවා.

මේ රටේ නැවතත් ජාතිවාදයක් ඇති වීමට ඉඩ දිය නොහැකියි. ජාතිවාදය ඇති වීම යනු අයි.එස්.අයි.එස්. සංවිධානයට සහයෝගය දැක්වීමක් බව කිව යුතුයි. එම නිසා අප ඊට ඉඩ නොදිය යුතුයි. නොසිතූ ලෙස මුහුණ දුන් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නැයි මම සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා - ජනතාවට කිසිදු බාධාවකින් තොරව රජයේ සේවය ලබා ගැනීමේ අවස්ථාව ලැබිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය දැනුම මෙම රාජ්‍ය කළමනාකරණ පශ්චාත් උපාධිය ලැබූ නිලධාරීන්ට ලැබී තිබෙනවා. ජනතාව සඳහා අවශ්‍ය ආරක්ෂාව, සුබසාධනය, ආහාර, නිවාස, සෞඛ්‍ය, යටිතළ පහසුකම් සහ අනෙකුත් පහසුකම් ලබා දීම බොහෝ විට සිදුවන්නේ රාජ්‍ය අංශයෙනුයි. එම අවශ්‍යතා ජනතාව වෙනුවෙන් ලබා දීමේදී රාජ්‍ය නිලධාරියා සතු කාර්යයභාරය ඉතා වැදගත්. එසේම එහිදී රාජ්‍ය පරිපාලන සේවාව කාර්යක්ෂමව පවත්වා ගෙන යෑම අත්‍යවශ්‍ය මෙන්ම එම සේවාව නිර්මාණශීලීත්වයෙන් යුතුවීම ද ඉතාම වැදගත්. මෙවැනි පශ්චාත් උපාධි පාඨමාලා මඟින් මෙරට රාජ්‍ය නිලධාරීන් වෙත ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා දීම සඳහා ස්ලීඩා ආයතනය ලබා දෙන සේවය මා ඉතා අගය කොට සලකනවා.

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ.එම්.එස්.ඩී. ජයසේකර, අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් පී. ඩබ්ලිව්. රාජපක්ෂ, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධි පාසලේ ප්‍රධානී අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සේපාලි සුදසිංහ මහත්ම මහත්මීහු ද, රාජ්‍ය නිලධාරීන්, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධිධාරීහු ඇතුළු ආරාධිත පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප- හිරන්ත ගුණතිලක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();