Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශකීබ්ගේ තුන් ඉරියව් දස්කම් බංග්ලාදේශ බලාපොරොත්තු ඉහළ දමයි

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කරමින් ශකීබ් අල් හසන් දැක්වූ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ඊයේ සදම්ප්ටන්හිදී පැවැති තරගාවලියේ 31 වැනි තරගයෙන් ඇෆ්ගනිස්තානය පරදවා ලකුණු 62ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි ජය අත්කරගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ මේ සමගින් ශ්‍රී ලංකා පිල අබිබවා ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය අත්කර ගැනීමට සමත් වූ අතර ඇෆ්ගනිස්තානයට පිට පිට අත්වූ 7 වැනි පරාජය මෙය විය.

නායක ගුල්බඩින් නයිබ් සමගින් ඇෆ්ගනිස්තාන පිළිතුරු ඉනිම ඇරැඹු රහ්මත් ෂා (24) ගේ කඩුල්ල ලකුණු 49දී බිඳ දමමින් ඊයේ සිය කඩුලු දඩයම ඇරැඹු ශකීබ් අල් හසන් ඕවර 10කදී නිලකුණු ඕවරයක් ද සමගින් ලකුණු 29කට කඩුලු 5ක් දවා ගනිමින් පන්දු යවන්නකු මෙවර තරගාවලියේ දැක්වූ ඉහළම දක්ෂතාව සටහන් කරමින් බංග්ලාදේශය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ලකුණු 79දී මොසාදික් හොසේන් හමුවේ හෂ්මතුල්ලා ෂහීඩි (11) දැවී ගිය අතර අනතුරුව ක්‍රියාත්මක වූ ශකීබ් අල් හසන් ලකුණු 104දී නායක නයිබ් සහ මොහොමඩ් නබි දවා ගනිමින් බංග්ලාදේශයේ ජය මාවත විවර කළේය. පන්දු 75කට මුහුණදුන් නයිබ් හතරේ පහර 3ක් සමගින් ලකුණු 47ක් රැස්කළ අතර නබිට ලකුණු ලබා ගැනීමට නොහැකි විය. ඉන් නොනැවතුණු ශකීබ් තවත් ලකුණු 13ක් එක්වෙද්දී අස්ගර් ඇෆ්ගන්ගේ ඉනිම ලකුණු 20කට සීමා කළේ තම සිවුවැනි කඩුල්ල ලෙසිනි. මුළු ලකුණු 132දී ඉක්රාම් අලි ඛිල් (11) දුවද්දි දැවී යෑමට හසුවූ අතර අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි සැමියුල්ලා ශින්වාරි, නජිබුල්ලා සද්‍රාන් සමග එක්ව ඉනිමේ ඉහළම සබඳතාව ගොඩනගමින් ඇෆ්ගනිස්තානයට යළිත් බලාපොරොත්තු රැගෙන ආවේය. ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ලට පන්දු 45කින් ලකුණු 56ක් එක්කළ අතර මුළු ලකුණු 188දී 5 වැනි කඩුල්ල ලෙස නජිබුල්ලා (23) දවා ගනිමින් ශකීබ් එම සබඳතාව නිමා කිරීමත් සමග තවත් ලකුණු 12ක් තුළ අවසන් කඩුලු 3 දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නේ සමත් වූහ. ඉනිම නිමාවන තෙක් නොදැවී කඩුල්ලේ රැදී සිටි ශින්වාරි පන්දු 51කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 49ක් රැස් කළේය.

කොදෙව්වන්ට එරෙහිව දියත් කළ විශිෂ්ට පිති හරඹයක හේතුවෙන් පිතිකරණයේ උසස් වීමක් සමගින් පළමු පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිම ඇරැඹු ලිටොන් දාස්ට ඊයේ සාර්ථක වීමට අවස්ථාවක් නොදුන් මුජීබ් උර් රහ්මාන්, ලකුණු 16කට ඔහුව පිටියෙන් ඉවත් කළේය.

අනතුරුව ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්ට එක්වූ ශකීබ් අල් හසන් දෙවැනි කඩුල්ලට ලකුණු 59ක් එක්කළ අතර ලකුණු 36ක් ලබාසිටි ඉක්බාල් දැවී යෑමෙන් පසු ඉනිමේ සාර්ථකම පිතිකරු වූ මුෂ්ෆිකුර් රහීම් සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ගොඩනැගීය.

ඊයේ ලකුණු 23ක් රැස් කිරීමත් සමගින් ඩේවිඩ් වෝනර් පසුකරමින් යළිත් තරගාවලියේ වැඩිම ලකුණුලාභියාවු ශකීබ් දැවී යනවිට ලකුණු 51ක් රැස්කර තිබිණි. පන්දු 69කට මුහුණදුන් ඔහු හතරේ පහරක් සමගින් සිය 45වැනි එක්දින අර්ධ ශතකය මෙන්ම මෙවර තරගාවලියේ තෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමටද ඊයේ සමත් විය. මුජීබ් උර් රහ්මාන්ගේ දෙවැනි කඩුල්ල ලෙස ඔහු දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 143ක් විය. තවත් ලකුණු 8ක් එක්වෙද්දී සෞම්‍ය සර්කාර් ද මුජීබ්ට ගොදුරු විය.

අනතුරුව ඉනිම ගොඩනැගීමේ බර කරට ගත් මුෂ්ෆිකුර් රහීම් 5 වැනි කඩුල්ල ලකුණු මහමුදුල්ලා සමග එක්ව ලකුණු 56ක් සහ 6 වැනි කඩුල්ලට මොසාදික් හොසේන් සමගින් ලකුණු 44ක් එක් කරමින් බංග්ලාදේශ ඉනිම ලකුණු 250 සීමාවෙන් එපිටට රැගෙන ගියේය. ලකුණු 27ක් ලබාගත් මහදුල්ලා 5 වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර පන්ද 87කින් ලකුණු 83ක් ලබාසිටි රහීම් දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 251ක් විය. හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමගින් ඔහු ඊයේ වාර්තා කළේ 35වැනි එක්දින අර්ධ ශතකයයි. වේගවත් ඉනිමක් දියත් කළ හොසේන් ඉනිමේ අවසන් පන්දුවෙන් දැවී යනවිට හතරේ පහර 4ක් සමගින් පන්දු 24කින් ලකුණු 35ක් රැස්කර තිබිණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();