Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංචාරක ව්‍යාපාරය නැංවීමේ වෑයම වේගවත් වුණා

පාස්කු ප්‍රහාරයෙන් පසු මේ වන විට රටේ ජන ජීවිතය හා ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති අතර, දැන් සිදු කිරීමට ඇත්තේ සංචාරක කර්මාන්තය යළි නංවාලීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් පනවා තිබූ තහනම මේ වන විට ඉවත් කර තිබෙන බවත්, ඒ අනුව සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම තවත් වේගවත් වනු ඇති බවත් අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රටේ සංවර්ධන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළත්, ඒ සියලූ සියලූ උත්සාහයන් පරාජය කොට සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට සියලූ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් පියවර ගත යුතු බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සමග ඊයේ (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ අද විශේෂයෙන් සාකච්ඡා කළා. අප්‍රේල් 21 වනදා සිට මේ දක්වා අප ගත් තීන්දු තීරණ නිසා මාසයක් ගත වීමටත් පෙර අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ආරක්‍ෂක අංශවලට හැකි වුණා. මෙලෙස ඉතා කෙටි කාලයක් තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම් ලෝකයේම සිදුවී තිබෙන්නේ කිහිපයක් පමණයි.

පාසල් පැවැත්වීම කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ ගත්තත් මේ වන විට පාසල් සාමාන්‍ය පරිදි පවත්වනවා. ඒ වගේම මුස්ලිම් දේවස්ථානවල යාඥාවන් සහ කතෝලික දේවමෙහෙයන් සාමාන්‍ය පරිදි සිදු කරනු ලබන අතර ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් උත්සවය ද අප ඉහළින් සැමරුවා. මේ වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් රටේ ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතුව තිබෙනවා.

පාස්කු ඉරිදා සිදු කළ ප්‍රහාරය හේතුවෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් වනු ඇතැයි බොහෝ අය කම්පාවට පත් වුණා. අප මේ සම්බන්ධව ඉතා විමසිල්ලෙන් සිටියා. නමුත් අපේ ආර්ථිකයට එවැනි බරපතළ හානියක් සිදුව නොමැති බව කිව යුතුයි. ආර්ථිකයේ අංශ ගණනාවක තාවකාලික පසුබෑමක් සිදුව තිබෙනවා. ඊට බොහෝ විට බලපා තිබෙන්නේ එම දිනවල පැනවූ ඇදිරි නීතිය සහ ඇති වූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් ජනතාව සාමාන්‍ය ජන ජීවිතයෙන් බැහැර වීමයි. මේ හේතුවෙන් වෙළෙඳපොලේ ගනුදෙනු සහ අලෙවිය පහත වැටුණා. නමුත් පසුගිය සති දෙක තුළ සිට එම ගනුදෙනු සහ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා.

එම කාලය තුළ ඇතැම් ව්‍යාපාරිකයන්ට තම ණය ගෙවීම පිළිබඳව ගැටලූ ඇති වූ නිසා ඒ අයට කෙටි කාලීන සහන ලබා දෙන ලෙස බැංකුවලින් අප ඉල්ලා සිටියා. පාස්කු ප්‍රහාරය හේතුවෙන් අපේ අපනයන අඩු වී නොමැති අතර නිෂ්පාදන අංශ ගණනාවක් සිය කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යනවා.

පාස්කු ප්‍රහාරය නිසා විශාල බලපෑමක් ඇති වූ අංශ පිළිබඳව අප අවධානය යොමු කර තිබෙනවා. මේ ප්‍රහාරයෙන් විශාල බලපෑමක් සිදු වී තිබෙන්නේ සංචාරක ව්‍යාපාරයටයි.

පාස්කු ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අවදානම් බවට සඳහන් කරමින් විදෙස් රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා තිබුණා. නමුත් මේ වන විට ඉන්දියාව, චීනය, ස්විට්සර්ලන්තය වැනි රටවල් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කොට තිබෙනවා. තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී අනුගමනය කළ යුතු පියවර කිහිපයක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ තහනම ඉවත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තවත් රටවල් කිහිපයක් පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

ලබන අගෝස්තු මාසය වන විට ඉන්දියාව, චීනය සහ යුරෝපය ඇතුළු රටවලින් සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ඊයේ දින රැස්වූ කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක කළා.

මහා පරිමාණ හෝටල්වලට පමණක් නොව, කුඩා සංචාරක ව්‍යාපාර ස්ථානවලට වගේම ඊට සම්බන්ධ අනෙකුත් අංශවලටත් සහන ලබාදීමට සහ උදව් උපකාර කිරීමට අප කටයුතු කරනවා. සංචාරක ක්ෂේත්‍රයේ නිරත සියලූ දෙනාගේ ණය වෙනුවෙන් සහන ලබාදීමට ද ඒ අනුව කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ සංචාරක තහනම ඉවත් කිරීමත් සමඟ අගෝස්තු මාසය වන විට සංචාරකයින්ගේ පැමිණීම වැඩි වී දෙසැම්බර් මාසය වන විට අපේ ඉලක්කගත සංචාරකයින් ප්‍රමාණය පැමිණෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල් ප්‍රමාණය තවත් වැඩි කර තිබෙනවා. එම නිසා තම ආසනවලට ගොස් වැඩ කටයුතු ආරම්භ කරන ලෙස අපේ සංවිධායකවරුන්ට දැනුම් දෙනවා.

උපාධිධාරීන් 22,000 කට රැකියා ලබාදීමට කටයුතු කර තිබෙන අතර උතුරු නැගෙනහිර තාවකාලික ගුරුවරුන් 1300 කට ස්ථිර පත්වීම් ලබාදීමට නියමිතයි. මේ අතර තවත් අලූත් වැඩසටහන් ද ක්‍රියාත්මක කරනවා. ධීවර හා කෘෂිකර්මාන්තයේ නියුතුවූවන්ට අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ධීවර හා කෘෂි අස්වනු ගබඩා කිරීම සඳහා ශීතාගාර පහසුකම් සලසන ව්‍යාපාරිකයන් වෙනුවෙන් උදව් උපකාර කිරීමට සහ සහන ලබාදීමට ද පියවර ගනිමින් සිටිනවා.

මැදි ආදායම්ලාභීන් හට නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිවාස මිලදී ගැනීම සඳහා ලබාදෙන සහන ණය ප්‍රමාණය මිලියන 6 දක්වා වැඩි කර තිබෙනවා. මෙවැනි තවත් සංවර්ධන පියවර කිහිපයක් පිළිබඳව මුදල් අමාත්‍යතුමාත්, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යතුමාත් ඉදිරි දින කිහිපය තුළ දැනුවත් කිරීමට නියමිතයි.

මේ අනුව අපි සංවර්ධන වැඩකටයුතු නැවත ආරම්භ කර තිබෙනවා. ඒ වගේම නැවත ආයෝජන මෙරටට ගලා එනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

පාස්කු ප්‍රහාරයත් සමග ඇති වූ තත්ත්වයට අපි සාර්ථකව මුහුණ දුන්නා. පළමු මාසය ඇතුළත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන රට සාමාන්‍ය තත්ත්වයට පත් කළා. අනතුරුව දෙවන මාසය තුළ රටේ ආර්ථිකය ඉහළ නංවා සංවර්ධනය ඉදිරියට ගෙන යාමට අපි ක්‍රියා කරනවා.

අප මේ වන විට රටේ සාමාන්‍ය තත්ත්වය පවත්වා ගෙන යන අතර සියලූ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරු සියලූ දෙනා එකට එකතු වී රටේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කරමු.

මේ සංවර්ධන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරාවි. නමුත් එම කඩාකප්පල්කාරී උත්සාහයන් පරාජය කර අපේ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමු යැයි ප්‍රකාශ කරන්න කැමතියි.

අප ආණ්ඩුව ලබාගත් දින සිට අභියෝග රාශියකට මුහුණ දුන්නා. දින 52 ආණ්ඩු පෙරළිය නිසා රටේ ආර්ථිකය බිඳ වැටුණත් සිංහල අලූත් අවුරුද්ද වන විට රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ආවා. අනතුරුව පාස්කු ප්‍රහාරයත් සමග නැවත රටේ ආර්ථිකය පසුබෑමකට ලක්වුණා. නමුත් ඔබ ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නැහැ. අපි නැවත රටේ ආර්ථිකය ඉහළට ගෙන යනවා. ඒ වගේම අපි අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය නැති කිරීමටත් ක්‍රියා කරමින් සිටින අතර පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් ද පත් කර තිබෙනවා. අපට දැන් තිබෙන්නේ අපේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගනිමින් ඉදිරියට යාමටයි.

මේ දැන් ජර්මනියෙන් විශේෂ පණිවුඩයක් ලැබී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ජර්මනිය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීම පිළිබඳයි. ඒ අනුව මේ වන විට චීනය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ ජර්මනිය පනවා තිබූ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ තහනම ඉවත් කර තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ තවත් බොහෝ රටවල් සංඛ්‍යාවක් මෙම තහනම ඉවත් කරනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();