Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටම පොදු නීතියකට අනුගත විය යුතුයි

චන්ද්‍රිකා පෙරේරා

ප්‍රජාතන්ත්‍රවාදීව නිසි නීති රාමුවක් තුළින් සහජීවනයෙන් ජීවත් වීමට හැකි ක්‍රියාදාමයකට අනුගත වීම සඳහා සියලුදෙනා එකඟ විය යුතු බව ශ්‍රී අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස හිමියෝ පැවසූහ.

ආංශික අධීක්ෂණ කමිටුව මගින් සකසන ලද පොදු නීති මාලාව සැකසීම පිළිබඳ යෝජනාවලිය ශ්‍රී අමරපුර මහා නිකායේ මහා නායක කොටුගොඩ ධම්මාවාස හිමි වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (29) ගල්කිස්ස ධර්මපාලාරාමයේදී බාරදුන් අවස්ථාවේදී ධම්මාවාස හිමියෝ එම අදහස් පළ කළහ.

එහිදී ධම්මාවාස හිමියෝ මෙසේ ද පැවසූහ.

මීට වසර හැත්තෑවකට පමණ පෙර එක් රටක නායකයකු තම රටේ සේවයට ගෙනා ජනතාවට එරට ආගමට හා සංස්කෘතියට අනුගත වීමට නොහැකි නම් රටින් පිටවන ලෙස දැනුම් දෙමින් බලපෑමෙන් රටේ අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක වුණු බව ඉතිහාසයේ තිබෙන නමුත් අපේ රට ප්‍රජාතන්ත්‍රවාදීව නිසි නීති රාමුවක් තුළින් සියලු ජන කොටස් සමඟි කිරීමේ ක්‍රියාදාමයකට අනුගත වීමට සූදානම් වන්නේ. මෙවැනි අවස්ථාවක සියලු ආගමික කණ්ඩායම් ජාති ආගම් භේදයකින් තොරව සහයෝගයෙන් කටයුතු කිරීමෙන් රටේ අනාගතය යහපත් කර ගැනීමට හැකියාව තිබෙනවා. කෙසේ වුවත් මේ ක්‍රියාදාමය සියයට සියයක්ම අප අනුමත කරනවා. මෙරට ඉතිහාසයේ සිට ස්වදේශීය නායකයන් බලපෑමකින් තොරව මානුෂීය හැඟීමෙන් කටයුතු කළ බව සාක්ෂි දරනවා.

අපේ සමහර තරුණ හාමුදුරුවරු විවිධ දේශපාලන පක්ෂවල පටු අදහස්වලට නැඹුරු කරගනිමින් සිටින ආකාරයක් පෙනී යනවා. ඒ සම්බන්ධයෙන් ද නිසි ක්‍රමවේදයක් සකසා තරුණ හිමිවරු ආරක්ෂාකර ගැනීමේ වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි. පැවිදි පක්ෂයට පමණක් උගන්වන විශ්වවිද්‍යාල ස්ථාපිත කළ හැකි නම් බොදු භික්ෂුව ආගමික පසුබිම තුළ ආරක්ෂා කර ගැනීමට හැකි වේවි කියා මා සිතනවා.

උඩරට, පහතරට, තේසවලාමේ නීතිය වැනි නීති වෙනුවට රටම පොදු නීතියකට අනුගත විය යුතුයි.

ඉතිහාසයේ දී රටේ සියලු ආගමික ජාතික කණ්ඩායම් යහළුවන් ලෙස එක්ව කටයුතු කළත් වසර 25ක පමණ කාලයේ සිට එය සම්පූර්ණයෙන් වෙනස් වීම නිසා මේ ගැටලු තත්ත්වය මේ තරම් මතුවූ බව අපගේ අදහසයි.

පොදුවේ මුස්ලිම්වරුන්ගේ ගැටලුකාරී වැඩපිළිවෙළ නිසා අමෙරිකාව වැනි රටවල් මුස්ලිම්වරු තනිකිරීමේ වෙන්කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පෙනී යනවා. ඒ අනුව නුදුරු අනාගතයේ දී ඒ අය කොන් කිරීමට කටයුතු කරන පිළිවෙතක් ලෝකයෙන් මතුවිය හැකියි. ඒ නිසා අප මේ සහජීවනය ගොඩනඟා ගැනීමට අපේ රටේ මුස්ලිම් ජනතාව එක්කර ගත යුතුව තිබෙනවා.

මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමියෝ මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ රජයේ නිවාඩු සම්බන්ධයෙන් ද නිසි නීති මාලාවක් පොදුවේ ක්‍රියාත්මක විය යුතු බවය. උදාහරණ ලෙස මාතෘ නිවාඩු සම්බන්ධයෙන් මුස්ලිම් හා වෙනත් අයට වෙන් වූ නිවාඩු ප්‍රමාණ දැනට පවතින බවට කරුණු ඇති බැවින් එය පොදු කළ යුතු බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා

පොදු නීතියක් සැකසීමේ යෝජනවලිය “ප්‍රගතිශීලී නීති රාමුවක් තුළ ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය සහමුලින්ම අතුගා දැමීම සඳහා“ ශ්‍රී ලනිපය කිසිදු දේශපාලන බලාපොරොත්තුවකින් තොරව සැකසූවක්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද බලාපොරොත්තුව රටේ සාමය හා යහපාලය ස්ථාවරකරමින් ජනජීවිතය සුරක්ෂිත කිරීම හා අනාගතයේදී යළි ත්‍රස්තවාදය මෙරට ඇති නොවීම සඳහා වූ ස්ථිර දිගු කාලින වැඩපිළිවෙළක් සකසා ක්‍රියාත්මක කිරීමයි.

ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරවමින් “නව ත්‍රස්තවාදය හා අන්තවාදය“ මුලිනුපුටා දැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ නීති රීති සම්පාදනය කර ක්‍රියාත්මක කරවීම මූලික මෙන්ම ප්‍රධානම අරමුණයි. ඒ පිළිබඳ ත්‍රෛනිකායික නායක ස්වාමීන්වහන්සේ ඇතුළු සියලු පූජ්‍ය පක්ෂයෙන් හා ජනතාවගේ සහාය ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අතර මෙය සිදුකරන ලෙස අදාළ අංශවලට බලකරන ලෙස අප මහනායක ස්වාමීන්වහන්සේලගෙන් ඉල්ලා සිටිනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව මේ ඉදිරිපත් කළ යෝජනාවලිය ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන්න කියා ඉල්ලීමක් නැහැ. ඒ සම්බන්ධයෙන් සියලු ආගමික පූජක පක්ෂය, පක්ෂ හා ජනතාව සමඟ සාකච්ඡාකර අදහස් ලබාගෙන රටට ආදරය කරන සියලු දෙනාගේම එකඟතාවෙන් මෙය නැවත සකසා පොදු කටයුත්තක් ලෙස මෙය සිදු කරමු යන්න ශ්‍රිලනිපයේ යෝජනාව වන්නේ.

පසුගිය මස 21 එල්ලවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට වෙනුවෙන් කළ හැකි හා කළ යුතුම දේ කුමක්ද කියා අප පක්ෂයක් ලෙස සාකච්ඡා කර දේශපාලන වාසි පසෙක ලා පොදු නීති රාමුවක් සැකසීමේ වැඩපිළිවෙළට අනුගත වුණේ. ඒ අනුව ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින් ‘නව ත්‍රස්තවාදය හා අන්තවාදය‘ මුලිනුපුටා දැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ නීති රීති සම්පාදනය කිරීමේ දී අප එයට ප්‍රධාන කරුණු 11ක් ඇතුළත් කළා.

ශ්‍රීලනිපයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා

මෙය ඉක්මනින් ස්ථාපිත කර ගැනීමට මැදිහත්වන ලෙසත් දේශපාලන නායකයන්ට බල කර සිටින ලෙසත් ඉල්ලා සිටිනවා. පොදුවේ මෙරට දූපතක් ලෙස ඇති ජනගහනය ඉහළ යාමේ ගැටලු නිසා පොදුවේ එක් පවුලක සිටිය යුතු දරුවන් ගණන පිළිබඳව ද තීරණයක් ගැනීමට සිදුවී තිබෙනවා. අනාගතයේදී ඒ සම්බන්ධයෙන්ද යෝජනා ගෙන ඒමට අප සූදානම්.

වෙන් වෙන් වශයෙන් ඉගැන්වීම නිසා ජාතීන් අතර එකමුතු බව අවමවීම දැකිය හැකි බව අපගේ විශ්වාසයයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා

සියලු ආගම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට එක් අමාත්‍යාංශයක් තිබිය යුතු අතර එම අමාත්‍යාංශය රාජ්‍ය නායකයා යටතේ ක්‍රියාත්මක විය යුතු බවට අප යෝජනා කරනවා. පවුලේ දරුවන් ගණන සම්බන්ධයෙන් වන යෝජනා වෙනම කතා කළ යුතුයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඇති ගිවිසුම අනුව වයස අවුරුදු 18ට අඩු අය දරුවන් ලෙස පිළිගැනෙන අතර 13 ශ්‍රේණිය තෙක් අධ්‍යාපනය ලබාදිය යුතුයි. ඒ අනුව අඩු වයසේ විවාහ සම්බන්ධයෙන් නීති පැනවිය යුතුයි.

දේශපාලන වාසි නොතකා කිසිදු දීමනාවක් නොගෙන මේ කටයුත්ත අප ස්වේච්ඡාවෙන් අතේ මුදල් වියදම් කරගනිමින් සිදුකරන්නෙ රටේ අනාගතය සුරක්ෂිත කිරීමටයි. ජනාධිපතිවරයාගේ උත්සාහයද මෙයයි. ජාතික ආණඩුව තුළදි අපට ජාතික ප්‍රතිපත්ති සැකසීමට බැරි වුණා. ඒ අනුව ලොව ඉතිහාසයේ කිසිදු විපක්ෂයක් නොකළ ලෙස රටේ ජනතාවගේ යහපැවැත්ම අනාගත ආරක්ෂාව සඳහා මේ කටයුත්තට උරදී සිටින්නෙ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා

මෙම ක්‍රියාවලියේ දී සිදුකරන සාකච්ඡා සඳහා ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක් සහභාගිකරවන ලෙස ඉල්ලා සිටිනවා. මුස්ලිම් කාන්තාවකගේ සැමියා මිය ගිය විට දින 41ක් නිවාඩු ලබා දෙන බව අප මේ ගැටලුව වීමෙන් පසු දැනගත්තා. නමුත් අනෙක් අයට එවැනි නිවාඩු නැහැ. මෙවැනි කාරණා ද පොදු බවට පත්කර නිසි නීති සැකසිය යුතුයි.

පොදු නීති පද්ධතියක් සැකසීම සඳහා මේ ඉදිරිපත් කළ යෝජනාවලිය අපේ අවසාන යෝජනාවලිය නොවේ. මේ යෝජනාවලිය සම්බන්ධයෙන් සියලු රටවැසියා සාකච්ඡාකර මෙහි කොටස්කරුවන් වී රට ගොඩනැඟීමට එක්වන ලෙස අප ඉල්ලා සිටින අතර ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කළ මේ යෝජනාවලිය එහි අඩිතාලම පමණයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා

ජන ඝනත්වය වැඩි රටවල පවුලේ සිටිය යුතු දරුවන් සම්බන්ධයෙන් තීන්දු ගෙන තිබෙනවා. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවෙනවා. ඒ අනුව මේ නීති පද්ධතිය සැකසීම සඳහා භික්ෂූන්වහන්සේ ප්‍රමුඛව කටයුතු කිරීම අවශ්‍ය වන අතර මෙය ඉල්ලා සිටීමක් නොව සියලු අංශවලට බල කිරීමක් කරන ලෙස ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ලසන්ත අලගියවන්න, මලික් ජයතිලක (කමිටු සභාපති) , වීරකුමාර දිසානායක, දුෂ්මන්ත මිත්‍රපාල මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය- සිරිපාල හල්වල

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();