Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක හිමි 76 වැනි ජන්ම දිනය අද

Author(s): 
අසේල කුරුළුවංශ

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 76 වන ජන්ම දිනය අදට (30) යෙදී ඇත.

ඓතිහාසික මාතලේ දිසාවේ කොහොන්සිය පන්තුවේ තිබ්බටුවාව ග්‍රාමයේදී දී වර්ෂ 1944 මැයි මස 30 වැනි දින උන්වහන්සේ ජන්ම ලාභය ලද උන්වහන්සේ ශ්‍යාමෝපාලී මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ධූරයේ වැඩවිසූ ශ්‍රී සිද්ධාර්ථ සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ හා මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර රිදී විහාරයේ නායක මාහිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක් ලෙස වර්ෂ 1957 ජුනි මස 10 වන දින මහනුවර මල්වතු මහාවිහාරයීය මංගල උ‍පෝසථාගාරයේ දී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමියන් පැවිදි බිමට පිවිසුණහ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසින් ඉතිහාසයේ ප්‍රථම වරට මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක පදවියට පත් කරනු ලැබූ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිතාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ සඟ පරපුරෙන් පැවත එන පරම පූජනීය මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ නමක් වන වත්මන් මල්වතු මහනාහිමියෝ 1964 ජුනි මස 10 වන දින වහාල නාග නාමයෙන් උතුම් වූ උපසම්පත්තිය ලැබූහ.

1969 වසරේ මල්වතු මහා විහාරයේ ධර්මාචාර්ය ධුරයට පත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ 1974 සිට ඓතිහාසික රිදී විහාරය හා සම්බන්ධ විහාරස්ථාන වල ආධිපතීත්වය හෙබවූහ. වර්ෂ 1979 මැයි 10 වන දින රාජකීය පණ්ඩිත සිරිමල්වත්තේ විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත ආනන්ද මහා නාහිමියන් ගේ නියමය පරිදි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් මල්වතු විහාරීය කාරක සංඝ සභාවේ උප ‍ලේඛකාධිකාරී පදවියට පත් කෙරුණි. අනතුරුව 1985 නොවැම්බර් මස 09 වන දින ‍ලේඛකාධිකාරී ධූරයට පත් උන් වහන්සේ 1992 මැයි මස 13 වන දින රඹුක්වැල්ලේබ ශ්‍රී ධර්මරක්ෂිත රත්නපාල සෝභිතාභිධාන අනු නාහිමියන් අපවත් වීමෙන් පුරප්පාඩුවූ මල්වතු පාර්ශ්වයේ අනු නායක පදවියට පත්වූහ.

එවකට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමි ධුරය හෙබවූ රඹුක්වැල්ලේ ශ්‍රී ධර්ම රක්ෂිත විපස්යානභිධාන මහ නාහිමියන් ගේ අපවත් වීමත් සමග පුරප්පාඩු වූ එම මහ නායක පදවියට තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් 2004 වසරේ ජූනි මස 04 දින පත්වූයේ මල්වතු කාරක සංඝ සභාවේ සියලු දෙනා වහන්සේගේ කැමැත්තෙනි.

මල්වතු මහ විහාර පාර්ශවයේ 26 වන මහනාහිමියන් ලෙස පත්වූ උන්වහන්සේ එම පාර්ශවයේ මහනාහිමි ධූරයට පත්වූ ලාබාලතම හිමිනම ලෙසද ඉතිහාසයට එක්වෙයි.

සම්බුද්ධ ශාසනයේ මතු පැවැත්මත්, සරණක්‌ අවැසි සුවහසක්‌ අසරණ මිනිසුන්ගේ හදවත් සදහම් සිසිලසින් පුරවාලීමේ මහා කාරුණික සිතිවිල්ලත් තම ඒකායන අධිෂ්ඨානය කර ගත් අපේ මහානායක මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ ජාතික,ආගමික හා ශාසනික ප්‍රශ්න වලදී මධ්‍යස්ථව අදහස් දක්වවිමින් සිදුකරනු ලබන මෙහෙවර ජාතික වශයෙන් පමණක් නොව ජත්‍යන්තර ලෙසින්ද පැසසුමට ලක්ව තිබේ.මහනායක පදවියෙන් බැබළෙනු වෙනුවට එම පදවිය බැබළවීමට නිරන්තරව කටයුතු කරන මහනාහියන් වහන්සේට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();