අයර්ලන්තයේ සත්කාරකත්වයෙන් ඩබ්ලින්හිදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල පරදවා කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ පිල සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල ලකුණු 247කට සීමාකළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 5ක් බිඳ වැටී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළේ පන්දු 16ක් ඉතිරිව තිබියදීය.
මේ ජය සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට බංග්ලාදේශය සමත් විය. කෙසේ වෙතත් බංග්ලාදේශය සමගින් කොදෙව් පිල මේ වනවිටත් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා සිටී. බංග්ලාදේශයට සහ අයර්ලන්තයට තව එක් තරගයක් ඉතිරිව තිබුණද එම තරගයේ ප්‍රතිඵලයෙන් අවසන් තරගයට බලපෑමක් ඇති නොවේ.
ලකුණු 248ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශය වෙනුවෙන් සෞම්‍ය සර්කාර් සහ මුෂ්ෆිකුර් රහීම් අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.
පන්දු 67කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් සර්කාර් ලකුණු 54ක් රැස්කළ අතර හතරේ පහර 5ක් සහ හයේ පහරකින් ලකුණු 63ක් වාර්තා කළ රහීම් පන්දු 73කට මුහුණදී තිබිණි. පන්දු යැවීමේදී ඇෂ්ලි නර්ස් කඩුලු 3ක් දවා ගත්තේය.
ලකුණු 87ක් රැස්කළ ශායි හෝප් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. හතරේ පහර 6ක් සහ හයේ පහරක් එල්ල කළ ඔහු, පන්දු 108ක් වැය කර තිබිණි. නායක ජේසන් හෝල්ඩර් පන්දු 76කින් ලකුණු 62ක් රැස් කළේය. කොදෙව් ඉනිම බිඳ දැමූ මුස්ටෆිසූර් රහ්මාන් ලකුණු 43කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා බවටද පත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් නායක මෂ්රෆි මොර්ටසා කඩුලු 3ක් බිඳ දැම්මේය.
කොදෙව් - 247/9 (ඕවර 50) ශායි හෝප් 87, ජේසන් හෝල්ඩර් 62 (මුස්ටෆිසූර් රහ්මාන් 43/4, මෂ්රෆි මොර්ටසා 60/3)
බංග්ලාදේශය - 248/5 (ඕවර 47.2) මුෂ්ෆිකුර් රහීම් 63, සෞම්‍ය සර්කාර් 54 (ඇෂ්ලි නර්ස් 53/3)


0 Comments