71 වන නිදහස් දින සැමරුම සඳහා සියල්ල සූදානම්ය. රාජ්‍යමය මැදිහත්වීමෙන්ද පළාත් මට්ටමෙන් ද නිදහස් දිනය සැමරෙනු ඇත. දේශයේ අභිමානය හා උරුමයන් ඇගැයීම සිදුවන කවර දිනයක් වුව ද අගනා දිනයක් සේ සැලකීමට ශ‍්‍රී ලාංකේය වූ කිසිවෙක් නොපැකිලිය යුතුය. එහෙයින් ජාතිකාභිමානය හෝ දේශානුරාගය ප‍්‍රවර්ධනය කෙරෙනා වැඩසටහන් පිළිබඳව කිසිවෙකුගේ විරෝධයක් තිබිය නොහැකිය. එකී අභිමථාර්ථයෙන් රට ද ජාතියද අගැයෙන ව්‍යාපෘතීන් සඳහා කවර දිනයක් වුවද සුදුසු වන්නේමය.
එහෙත් ජාතික දිනය නමින් හා නිදහස් දිනය නමින් අප විසින් හඳුන්වනු ලබන දිනයෙහි සැමරීම අර්ථ සම්පන්න වන්නේ කෙසේදැයි සලකා බැලිය යුතුව ඇත. ආචාර වෙඩිමුරද පවත්වමින් එංගලන්ත කිරීටයට යටහත් මනසින් සුද්දන්ගෙන් ලබාගත් නිදහස සැමරීම පිළිබඳව නැවත සැරයක් සිතා බැලිය යුතුව ඇත. සුද්දන් අපට දුන්නේ උන්ගේ නිදහස නොව අපේ නිදහසමය. සුද්දන් ලංකාවට එනවිට අප සිටියේ නිදහසේය. අපේ නිදහස උදුරාගත්තේ උන්ය. ජාතිය හා දේශය ඇරඹූ දා සිට අභ්‍යන්තර ආරවුල්වලින් පීඩාවට පත්වූවා මිස අප සිටියේ නිදහසේය. නිදහසේ හුස්ම ගත් නිදහසේ ගොවිතැන් බත් කළ නිදහස් ජාතියක් විවිධ කොමිෂන් සභා මගින් ක‍්‍රමයෙන් යටත් කොට හීන දීන කළෝ සුද්දෝ ය. ගිවිසුම් ගසා යටත් කොට ගිවිසුම් කඩා කුපිත වූ ජාතිය වැනසූවෝ ඔවුහුය. ඒ අනුව සුද්දෝ අපේ නිදහස උදුරා ගත්තෝ වෙති. උන් විසින් කොල්ල කා පැහැර ගන්නා ලද නිදහස ආපසු සැරයක් උත්සවශ‍්‍රීයෙන් අපට දීම නිදහස දීමක්ද නැතහොත් පැහැරගත් නිදහස හප කොට අත්හැර යෑමක් දැයි සිතා බැලිය යුතුය. කුකුල් කොටුවකට පැන කුකුළෙක් ඩැහැගන්නා නරියා කුකුළා ද රැගෙන පලා යයි. කුකුළු කොටු හිමිකරුවා නරියා පසු පස එලවයි. නරියා කරන්නේ කුකුළා කිසියම් තැනක සඟවා පොල් ලෙල්ලක් ගෙන හිමිකරුට පෙනෙන්නට දිවීමයි. හිමිකරුට පෙනෙන සේම පොල්ලෙල්ල අතහැර දිවීමෙන් තම සම්පත පැහැරගත් නරියා පිළිබඳ වෛරය අතහරිනා හිමිකරුවෝ අහිමි වූයේ කුකුළෙකු නොව පොල්ලෙල්ලකැයි සිතා ස්වයං තෘප්තියට පත් වෙති. නිදහස පිළිබඳ කථාවකදී මේ කතාන්දරය අපට වටී. ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් ඇතැම්හු තවමත් අපට නිදහස නැතිවූයේ නැතැයි හෝ නැතිවූයේ නිදහස නොවේ යයි සිතා කටයුතු කරති. නිදහසේ සිටි ජාතියක් වන අපි සුද්දන් විසින් නිදහස පැහැරගත් ජාතියක්ව සිටිමු. එය නිදසුනකට මෙසේ ගොඩනැගිය හැකියි. කොල්ලකරුවෙකු අපේ වාහනයක් සොරා ගත්තා යැයි සිතමු. වාහනයේ තිබූ වටනා සියලූ දේ ද රැගෙන වාහනය පතුරු යන තුරු පාවිච්චි කර තවදුරටත් වාහනය නඩත්තුව උදෙසා වෙහෙස ගැනීම නිරර්ථක හෙයින්ම පමණක් තමාට වුවමනා කරන රියැදුරෙකු ද සමග එම වාහනය හිමිකරුට ම උත්සවශී‍්‍රයෙන් පවරා එය වාහනයක් පරිත්‍යාග කළා යැයි යන මතය ඇති ව කටයුතු කොට එම දිනය වාර්ෂිකව සමරා මංකොල්ලකරුවාට වාහනයක් ප‍්‍රදානය කිරීම පිළිබඳ ස්තුතිය වාර්ෂිකව සමරන්නේ නම් එය අපේ නිදහස් දිනයයි. අපට වාහනය ලැබෙන විට වාහනයේ තිබූ පාට ද නැත. වටිනා කිසිවක් නැත. රියැදුරුද අපේ නොවේ. එහෙත් අපේම වාහනය අපට නැවත ලබා දුන් දිනය පමණක් ආචාර වෙඩිමුර සමග සමරන්නෙමු.
මුල දී කී පරිදි ම ජාතිකාභිමානය හා දේශානුරාගය ඇගයෙන ගමන්ම මෙකරුණ ද සලකා බැලිය යුතු නොවේද? වසර දහස් ගණනක් නිදහසේ විසූ ශ‍්‍රී ලාංකේයයන්ගේ නිදහස බලෙන් උදුරාගෙන සුද්දාට අවශ්‍ය පරිදි මෙහෙයවමින් ද ඊට ම සරිලන අණපනත් නිතී රීති සම්මත කරගමින්ද සුද්දාට ඕනෑ ලෙස රට කරවන ඇත්තෝ තක්කඩියාව පරිත්‍යාගශීලියෙකු කිරීම විහිළුවකි. යටත්විජිතයන් බොහෝමයක ඉතිරිව ඇති මෙකී මනස අපට ද පොදු ය. මංකොල්ලකරුවා නිසා පීඩාවට පත් ප‍්‍රජාව මංකොල්ලකරුවා පිළිබඳ ඇතිවිය හැකි වෛරය සංසිඳුවා ගැනීම පමණක් නොව එකී වෛරය ප‍්‍රසාදයක් බවට පත් කර ගැනීමද මංකොල්ලකරුගේ පාර්ශ්වකරුන්ගේ වගකීමකි. එබඳු උළෙල සඳහා මංකොල්ලකරුවන්වම උත්සවශ‍්‍රීයෙන් කැඳවාගෙන ඒම යටත් පාර්ශ්වකරුවන්ගේ තවත් වගකීමකි. තවත් අතෙකින් එය විහිළුවකි. සැබැවින්ම සමච්චලයකි.
සුද්දා අපට නිදහස දුන්නා නම් අපට දිය යුතුව තිබූයේ භාෂා නිදහස සහ නෛතික නිදහසයි. සාමාන්‍යයෙන් යටත්විජිතයන් කිසිවෙකට භාෂා නිදහස හෝ නීතිය පිළිබඳ නිදහස ලබා දී නැත. සියලූ නිදහස ලබා දුන්නද භාෂා හා නීතිය පිළිබඳ නිදහස නොමැති නම් ඒ දේශය නිදහස් දේශයක් නොවේ. ශ‍්‍රී ලංකාවට සංගත ව අපේ රටේ භාෂා මෙසේ වර්ග වේ. ජාතික භාෂා සිංහල හා දෙමළ වේ. රාජ්‍ය භාෂා ද වන්නේ සිංහල හා දෙමළ යි. ඉංග‍්‍රීසිය සම්බන්ධීකාරක භාෂාවක් ලෙස පසුව එක් විය. ඉංග‍්‍රීසිය සිංහල ජාතියේවත් දෙමළ ජාතියේවත් භාෂාව නොවේ. එය සුද්දාගේ භාෂාවයි. සුද්දා විසින් තම බලය තබා ගැනීම උදෙසා සිය නියෝජිතයන් සමග පැලපදියන් කළ භාෂාවයි. ශ‍්‍රී ලංකාවේ අදටත් සැබැවින්ම පරිපාලන භාෂාව ඉංග‍්‍රීසියයි. බැඳුම්කර වාර්තාව නවතම නිදසුන යි. සිංහලයන්ගේ ද දමිළයන්ගේද බදු මුදලින් නඩත්තු කළ කොමිෂන්වලින් එළියට එන වාර්තාව සිංහලයාටද ද්‍රවිඩයාටද නොතේරේ. තේරෙන්නේ හුදෙක් ඉංග‍්‍රීසිකාරයාට පමණි.
සුද්දන් ලංකාවෙන් ගියේ කළු සුද්දන් බෝ කොට බව අපි දනිමු. කළු සුද්දන්ගේ කාර්යභාරය සුද්දන් ආරක්ෂා කිරීමය. එහෙයින් මෙතෙක් ආණ්ඩු කර වූ බොහෝ කළු සුද්දෝ සුද්දන්ගේ න්‍යායපත‍්‍රය මෙහි ක‍්‍රියාත්මක කළහ. සුද්දන්ගේ ව්‍යාපෘති යෝජනා ක‍්‍රියාත්මක කළ හ. ඇතැම්හු සුද්දන්ගේ තාලයට නැටුවා පමණක් නොව වලිග ද වැනූහ. ඒ කළු සුද්දන්ගේ හැටිය. කළු සුද්දා බලසම්පන්න වන්නේ සුද්දාගේ ආධාර මතය. සලකා බැලිය යුතු අනෙක් කරුණ නම් දුඹුරු සුද්දන්ය. කළු සුද්දන් කරන්නේ සුද්දන් රැක ගැනීමය. දුඹුරු සුද්දන් කළ යුතු වන්නේ කළු සුද්දන් රැක ගැනීමය. කළු සුද්දන් නැතිව සුද්දන්ට පවතින්ට හැකියාවක් නැතුවාක් මෙන් දුඹුරු සුද්දන් නැතිව කළු සුද්දන්ටද පවතින්නට බැරිය. කළු සුද්දන් විසින් සිය වර්ග පරම්පරාව පාවිච්චි කරමින් දුඹුරු සුද්දන් නිර්මාණය කරන්නේ දුඹුරු සුද්දන්ගේ ජීවිතකාලය තුළ දී කළු සුද්දන් වීමට නොහැකි නිසාය. පළාත් සභා නිර්මාණය වී 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉල්ලමක් පෑදෙන්නේ දුඹුරු සුදදන්ට ය. පළාත් සභාව මහජන නියෝජනයක් යැයි මුලදී මුලදී අර්ථ නිර්වචනය විය. එහෙත් අනෙක් බොහෝ සභා මෙන් එයද මහජන නියෝජනයක් නොවීය. පක්ෂ විසින් තෝරා පත් කර එවන පක්ෂ නියෝජිතයන්ගෙන් එක් අයෙක් හෝ කීප දෙනෙක් තේරීම ශ‍්‍රී ලාංකේය ඡන්ද දායකයන්ගේ වගකීම වන්නේය. තමා කැමති තැනැත්තා සභාවට යැවීම වෙනුවට පක්ෂ නායකයන්ගේ කැමති තැනැත්තන් තේරීමේ වරම ශ‍්‍රී ලාංකේය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උත්තරීතර අයිතිය වන්නේ ය. ඡන්ද දායකයාට හිමිව ඇත්තේ බහුවරණ ප‍්‍රශ්නයක සපයන ලද පිළිතුරු අතුරින් එකකට යටින් ඉරි ගැසීමය. තමාට කැමැති පිළිතුරු සැපයීමට ශුද්ධ වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉඩක් නැත. ආසන සංවිධායකයා එවනු ලබන පක්ෂ නියෝජිතයා තෝරා එවීම මිස මහජන නියෝජිතයා තෝරා එවීමට තාමත් ධවල අධිරාජ්‍යයේ ශ්වේත චර්මධාරී සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් අවසර නැත. එහෙයින් දුඹුරු සුද්දන්ගෙන් බේරී තලඑළළු ලංකා පුත‍්‍රයන්ට දේශපාලන අයිතියක් ලැබෙන තාලයක් තවමත් පෙනෙන්නට නැත. ඊනියා මහජන නියෝජිතයා යැයි තේරී පත්ව යන්නවුන් අත උස්සන්නේ පක්ෂ නායකයාගේ නියෝගය හා තීන්දුව මතය. පක්ෂ නායකයා තීන්දුව දෙන්නේ සුද්දන්ගෙන් අසා ය. අවසානයේ දී මහජන නියෝජිතයන් යැයි කියා ගන්නා තැනැත්තෝ පක්ෂ නියෝජිතයන් වී පක්ෂ නායකයා හරහා සුද්දන්ගේ නියෝජිතයන් වී අත එසවූහ. නිදහස සමරන්නේ එබඳු නිදහසකිනි. තත්ත්වය එබඳු නම් රට නිදහස් දැයි හා දිනය ජාතික දැයි ස්වෙච්ඡාවෙන් ප‍්‍රශ්න කරගත යුතුය. කළු සුද්දන්ගේ කාර්යභාරය සුද්දන්ට අවනත වීම වන්නා සේ පළාත් පාලනගත දුඹුරු සුද්දන්ගේ කාර්යභාරය කළු සුද්දන්ට අවනත වීමය. එහෙයින් දුඹුරු සුද්දන් ක‍්‍රියාත්මක කරන්නේ මධ්‍යම ආණ්ඩුවේ නියෝග පිළිපැදීමය. කුඹුරු කරන්නට ට‍්‍රැක්ටරයක් වුවමනා ගමට කාපට් පාරක් ලැබෙන්නේ ඒ අනුවය. ලැබෙන අස්වනු කලාපය තුළම විනාශ කර දමන්නේ ඒ අනුවය. මේ 70 වසරක් විඳි නිදහසය. තල එළළු ශ‍්‍රී ලාංකේයයන් රජකම් කරනා මහජන රාජ්‍යයක් නිර්මාණය වීම නිදහසේ අග‍්‍රඵලය වන්නේය. එබන්දක් තවම නිර්මාණය වී නැත. භාෂා නිදහස නිදහස් රාජ්‍යයක පරම අයිතීන්ගෙන් එකක් වන්නා සේම නෛතික නිදහස ද එපමණකටම රාජ්‍යයකට වටී. තමාටම ආවේණික වූද ඓතිහාසික උරුමයන්ගෙන් අරුත් ගැන්වෙන්නා වූද දේශීය නීතියක් නිදහස් රාජ්‍යයකට අවශ්‍යය. තාමත් රෝම ලන්දේසී නීතිය වන්දනා පූර්වකව පිළිගන්නා රටකට නිදහසක් ඇතිදැයි සිතිය යුතු වන්නේය. දන්නා තරමින් ජපානයේ ඇත්තේ ජපාන නීතියකි. රුසියාවට ඇත්තේ රුසියානු නීතියකි. චීනයට ඇත්තේ චීන නීතියකි. එංගලන්තයට ඇත්තේ චීන නීතියකි. අපට ඇත්තේ ද එංගලන්ත නීතියකි. කවර ක්ෂේත‍්‍රයකට නිදහස ප‍්‍රදානය කළද සුද්දෝ යටත්විජිතයන්ට නීති නිදහස හා භාෂා නිදහස ප‍්‍රදානය නොකළහ. යටත්විජිතයන් ලෙස තවදුරටත් තම ඕනෑ එපාකම් ඉටුකරවා ගැනීමට ඉඩ කඩ සලසා ගනිමින් නිදහස ලබා දුන්නේ එසේ ය. කවර නඩුවක් ඇසුව ද අපේ අභියාචනා අධිකරණය මෑතක් වන තුරුම තිබුණේ එංගලන්තයේය. දැන් ඒ සියලූ අධිකරණ ලංකාවේම තිබුණා වුවද භාෂාව එංගලන්තයේ ය. අප නිදහස සමරන්නේ එබඳු නිදහසකය. සුද්දන්ගේ රියැදුරන් ජාතික රථය පදවනතාක් තත්ත්වය එසේ ම වන්නේ ය.
එදා කන්ද උඩරට ශුද්ධ භූමියේ කලූපාට ඉංග‍්‍රීසි වැල් අකුරුවලින් යටත් කරනු ලැබූ දේ්ශයෙහි උන්ට අවාසි වන්නා වූ හා අපට වාසි වන්නා වූද උන්ට හා අපට අවාසි වන්නා වූද කිසිදු යෝජනාවක් ක‍්‍රියාත්මක නොවීය. අපට වාසි වන්නා වූ හා උන්ට අවාසි වන්නා වූ යෝජනා කිසිසේත් ක‍්‍රියාත්මක නොවීය. උන් ක‍්‍රියාත්මක කළේ අපට අවාසි වුවත් උන්ට අවාසි නොවන්නා වූ හා වාසි වන්නා වූ යෝජනා පමණි.
දේශපේ‍්‍රමී නොවන ඇතැමෙක් අදටත් තර්ක කරන්නේ සුද්දා නැත්නම් අපට තේ කොයින්ද යනුවෙනි. සුද්දා නැත්නම් අපට කෝච්චියක්වත් නැත යනුවෙනි. එහි සැබෑව මෙසේය. ලංකාවේ කඳුකරයට තේ ගෙනාවේ උන්ය. තේ වැව්වේ අපය. තේ නෙළුවේද අපය. තේ වේලූවේ ද අපය. තේ ඇසුරුවේ ද අප ය. කේච්චියෙන් පැටවූයේ ද අපය. වරායෙන් බෑවේ ද අපය. නැවට පැටෙව්වේ ද අප ය. බීව්වේ උන්ය. ඒකට කියන්නේ එක්ස්පෝ්ර්ට් කොලිටි කියා ය. අප බීවා නම් බිව්වේ උන් නොගිනිච්ච රොඩු ටිකය. ඒකට කියන්නේ ලෝකල් කොලිටි කියාය. සුද්දාගෙන් අපට තේ ලැබුණේ ඒ ආකාරයටය. සුද්දා අනුරාධපුරයේ ජය සිරිමහා බෝධීන් වහන්සේ වඳින්ට යන්ට කෝච්චි දැම්මේ නැත. මාතර කිරි වෙහෙර වඳින්නට යන්ට කෝච්චි දැම්මේ නැත. උන් කෝච්චි දැම්මේ තේ කොළඹට ප‍්‍රවාහනය කරන්නට අවශ්‍ය තැන්වලට පමණි. පාලම් බෝක්කු දැම්මේ ඒවා ගෙන ඒමට අවශ්‍ය පමණට පමණි. අපේ කන්ද නැතහොත් නීලහරිත කඳුයාය උන්ගේ තේ වත්ත වූයේ එසේය. ඒ තත්ත්වය නොදත් ඇතැමෙක් අදත් උන්ගේ හොරි කසන්නට ම පෙළඹීම ඛේදජනකය.
එදා වෙල්ලස්ස ගිනි තියා පලතුරු අක්කර ලක්ෂ ගණනක් කපා වනසා කුඹුරු ලක්ෂ ගණනක් ගිනි තැබූ අධිරාජ්‍යවාදී ආක‍්‍රමණිකයෝ ඉන් නොනැවතී අටු කොටු ද ගිනි තැබූ හ. දුටු දුටු තැන අපේ ආදිමුතුන්මිත්තන්ගේ ගෙල කපා මරා දැමූහ. දහස් ගණනින් මරා දැමූ ඒ දේශයේ මුතුන්මිත්තන්ගේ ලෙයින් කෙත්වතු පිරී ගලා ගියේය. ඉන් නොනැවතී පලා ගිය උන්, අතරමග දී මරා දමන්නට අද මෙන්ම එදා ද හොරිකඩ සේවයෙහි යෙදුණු එක්නැලිගොඩ ලා, මොල්ලිගොඩලා, තම්බි මුදියන්සේලා නොමසුරු ව ක‍්‍රියා කළහ. සියල්ල වනසා ලූ සුද්දෝ නැවත නොනැගැටින ලෙස වැනසිය යුතු යැයි සිතා ළිංවලට වස දැමූහ. එමතුද නොව හ්‍යු නෙවිල් ආදි චෞරයෝ දහස් ගණනක් පුස්කොළ පොත් නැව් මගින් එංගලන්තයට සොරාගෙන ගියහ. තේ රබර් හා කුළු බඩු ගෙන යෑමට ආවා මිස සුද්දන් ලංකාවට ආවේ අප ව දියුණු කරන්නට නොවේ. පුස්කොළ පොත් සොරාගෙන ගියේ කවර නම් අර්ථයකින් ද? මේසා විශාල විනාශයක් උන් අපට කළේ අප උන්ට කළ කවර වරදකටද? මේ උන්ගේ පාරිශුද්ධ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නිරුවතයි.
සුද්දන් එවක ලංකාව පාලනය කළේ බලහත්කාරයෙනි. උන් අපව යටත් කළේ ලංකාවෙන් ගිය පසුවය. එනම් ඊනියා නිදහස නමින් හඳුන්වනු ලබන උපක‍්‍රමික යටත් කිරීමෙන් පසුවය. ලංකාව අත්හැර යන්නේ සදාතනිකව යටත් කෙරෙන යෝජනාවලියක් ඉදිරිපත් කරමින් හා ඒවා ක‍්‍රියාත්මක කිරීමට දිවි හිමියෙන් කැපවන ගෝලබාලයන් පිරිසක් ඇති දැඩි කොට උන් අතට පරිපාලනය බාර දීමෙන් පසුවය. දේශීය ධනය එංගලන්තයට ඇද ගැනීමටත් උපන්බිමේ නියම උරුමක්කාරයන් ක‍්‍රමික හා ස්වාභාවික අභාවයට ලක්කිරීමටත් එමගින්ම තම රට පෝසත් කරගැනීමටත් සරිලන යෝජනා ඔවුහු ඉදිරිපත් කළහ. රටට බත සැපයූ කෙත්වතු සාර කළ ජාතියේ පොහොර ගස වූ මී ගස කපා දැමීම හෙළ දරුවන් විසින් සෙල්ලිපි මගින්ම තහනම් කොට අණ පනවා තිබිණි. එය මැනවින් දත් සුද්දෝ මී ගස කැපූහ. ස්වාභාවික පොහොරක් වූ මීගසේ කොළත් මී ඇට කෑ මා වවුලන්ගේ වසුරුත් නැත්තටම නැති කළ සුද්දෝ පොහොර නැව් පිටින් ගෙන ආහ. ඊට අපෙන් සල්ලි අය කළහ. පොහොර සමග කෘමීන්ද වල් පැළෑටි බීජ ද එවූහ. කෘමිනාශක හා වල්නාශක එවන්නට උන් පාර කපා ගත්තේත් උන්ට ඕනෑ විදියට අපේ වගාව මෙහෙය වූයේත් ඒ අනුවය. මහපොළොවට අප ලවා වස දැම්ම වූවෝ උන්මය. රට පුරා සිටි බත්කූරා, සමනලයා, කණාමැදිරියා මතු නොව ලූලා, කණයා, හුංගා, ආඳා පමණක් නොව කාක්කා හා නරියා පවා වඳ වී ගියේ ඒ වස හා සමගමය. පස පෝෂණය කළ ගැඩවිලාගේ සිට මෙකී ජෛව විවිධත්ව විශේෂ ඍජු හා වක‍්‍රව මිනිසාට හා රටට වටිනා මෙහෙවරක් සැපයූවෝ වෙති. එදා වෙල්ලස්ගේ දී ඍජුව ළිඳට හා මහපොළොවට වස දැමූ ඔවුහු අද සංවර්ධන යෝජනා හා ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් මගින් අප පොළොවටම අප ලවාම වස දම්මවති. රටේ දියසීරාව සිඳුවාලීමට ඇකේශියා, මැහෝගනී, තේක්ක, ෆයිනස්, ටර්පන්ටයින් හා කටුපොල් වැනි විනාශකාරී ජල දූෂක වෘක්ෂ රෝපණය කරවති. සුදු සීනි භාවිතය වැඩි කරවා ප‍්‍රජාව රෝගී කරවනු වස් හා රට දුප්පත් කරවනු වස් මී පැණි හා කිතුල් පැණි නැති කිරීමට යෝජනා ගෙන ආවේ ද උන්මය. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1993 දී පමණ රට පුරා පාසල් හරහා වැඩසටහන් කොට ඇකේශියා වැවිණි. දැවමය අවශ්‍යතා සඳහා යැයි කියමින් ඇකේශියා වැව්යේ මී මැස්සන් වැනසීමටය. අද රට පුරාම ඇකේශියා ඇත. මී මැස්සන් නැත. කිතුල් ගස්ද නැත. කිතුල් රා පෙරීම තහනම් කළේ කවර හේතුවක් නිසා දැයි වැටහෙන්නේ දැන්ය. දැන් කිතුල් නැත. කිතුල් රාද නැත. කිතුල් හකුරුද නැත. කන්තලේ වහපු හෙයින් ලංකා සීනි නැත. සල්ලි නැත. පිටරටින් ගෙනා සුදු සීනි ඇත. රටෙන් සියයට විසිපහකට දියවැඩියාව ඇත. සුද්දාගේ උපක‍්‍රම වැටහෙන්නේ දැන්ය. සේනා දළඹුවාගේ කථාව මෙනි.
සැබැවින්ම සිදුවූයේ සෝල්බරි සාමිගේ භාර්යාවගේ උපන්දිනය වූ පෙබරවාරි 04 වැනිදා උපන්දින ත්‍යාගයක් ලෙස සලකා, අප දේශයේ සියල්ල පැහැරගත් පසු කරදරකාරී පාලනයෙන් සුද්දන් නිදහස ලැබීමය. ඒ අනුව අප සමරන මේ නිදහස යනු උන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් අපව සදාතනිකව නෛතිකව යටත් කිරීම නම් වන්නේය. එහෙයින් එක් ප‍්‍රශ්නයක් පමණක් නැගිය යුතුව ඇත. අප ඔය කියන නිදහස ඔය කියන දිනයේ ඔය කියන ආකාරයට සැමරිය යුතුමද?
පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
0 Comments