අන්තර් පාසල් අවුරුදු 19න් පහළ තුන්වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘ඩී’ කාණ්ඩය ජාඇල ක්‍රිස්තුදේව විදුහල් පිල සමග පැවැති තරගයේදී විනිසුරුවරුන්ට බාධා කරමින් විනය විරෝධී ලෙස හැසිරුණු බව කියන කෝට්ටේ සාන්ත තෝමස් විදුහල් පිලට සම්බන්ධ මාපියන් පිරිසකට සහ පුහුණුකරුට එරෙහිව පසුගියදා සිදුකරනු ලැබූ විනය පරීක්ෂණයේදී එම විදුහල් පිලේ ක්‍රිකට් භාර ආචාර්යවරයා වෙනුවට ආදි සිසුවකු සහභාගි කරවීමත්, තරගය අතරතුර විනිසුරුවරුන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරීමත් හේතුවෙන් පුහුණුකරුටත් එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර ඇත.
දෙසැම්බර් මස 26 සහ 27 දෙදින දෙහිවල එස්.ද.එස්.ජයසිංහ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී විනිසුරු තීරණයකට එරෙහිව කෝට්ටේ සාන්ත තෝමස් විදුහල් පිලේ පුහුණුකරු සහ මාපියන් පිරිසක් කළහකාරි ලෙස හැසිරෙමින් බැණ වැදුණු බවට එදින තරගයේ විනිසුරුවරුන් පාසල් ක්‍රිකට් සංගමයට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පසුගිය 29 වැනිදා විනය පරික්ෂණය කැඳවා තිබිණි.
එම විනය පරික්ෂණයට සාන්ත තෝමස් විදුහල් පිලේ නායකයා, පුහුණුකරු සහ ක්‍රිකට් භාර ආචාර්යවරයා කැඳවා තිබුණු අතර එහිදී ක්‍රිකට් භාර ආචාර්යවරයා වෙනුවට ආදි සිසුවකු සහභාගි වී ඇතැයි මෙම සිදුවීම පිළිබඳ ‘දිනමිණ’ කළ විමසුමකදී ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ තරගාවලි ලේකම් ජී.කේ. ඉන්ද්‍රජිත් මහතා ප්‍රකාශ කළේය.
‘ක්‍රිකට් භාර ආචාර්යවරයා වෙනුවට ආදි සිසුවෙක් තමයි ඇවිත් තියෙන්නේ. මේක වංචා සහගත වැඩක්. ඒ නිසා අපි නැවත ලබන සතියේ විනය පරික්ෂණය පවත්වනවා. විනිසුරුවරුන්ට බැණ වැදීම ගැන විනය පරික්ෂණයේදි ඔවුන් සමාව ඉල්ලා සිටියා. නමුත් මේ සිදුවීමට සම්බන්ධ පුහුණුකරුට එරෙහිවත්, වංචාසහගත විදිහට ක්‍රිකට් භාර ආචාර්යවරයා වෙනුවට ආදි සිසුවෙක් සහභාගි කරවීම ගැනත් අපි දැඩි තීරණ ගන්නවා.’ ඉන්ද්‍රජිත් මහතා කියා සිටියේය.
මේ තරගයේ සිවුවැනි වරට පන්දුවට පහරදුන් කෝට්ටේ සාන්ත තෝමස් විදුහල් පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 200ක් අවශ්‍යවී තිබූ අතර අවසන් පිතිකරු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් ක්‍රිස්තුදේව විදුහල් පිලට ලකුණු 16ක ජයක් හිමිවිය. නමුත් එය දැවීයාමක් නොවන බවට විනිසුරු තීරණයට එරෙහිව විරෝධතාව පළ කළ සාන්ත තෝමස් විදුහල් පිලේ පුහුණුකරු පසුව මාපියන් පිරිසක් සමග විනිසුරු හමුවේ කළහකාරි ලෙස හැසිරී ඇතැයි වාර්තා විය.
කාසියේ වාසිය දිනූ සාන්ත තෝමස් විදුහල් පිල පළමුව පන්දුවට පහරදීමේ වාරය ක්‍රිස්තුදේව විදුහල් පිලට ලබා දුන් අතර ක්‍රිස්තුදේව විදුහල් පිල සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 187ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත තෝමස් විදුහල් පිලට රැස් කිරීමට හැකිවූයේ සියළුදෙනා දැවී ලකුණු 138ක් පමණි.
අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ක්‍රිස්තුදේව විදුහල් පිල ලකුණු 150කට දැවී ගියේ කෝට්ටේ සාන්ත තෝමස් විදුහල් පිලට ලකුණු 200ක ඉලක්කයක් ලබා දෙමිනි.
0 Comments