මේ වර්ෂයේ පළාත් සභා සහ ජනාධිපතිවරණ පැවැත්විය යුතු බවත් එන තත්ත්වයන් උඩ මහ මැතිවරණයක් ද ඒමට බැරිකමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් තිබෙන බව ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ නම් ඒ තුළ ප්‍රමුඛත්වය දිය යුත්තේ රට ආණ්ඩු කිරීමට හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීමට යයි තමන් විශ්වාස කරන බව ද පැවැසීය.
බහුතරයක් නොමැති ආණ්ඩු තුළින් සිදු වනුයේ රටේ අනාගතය සඳහා සුදුසු තීරණ ගැනීමට නායකයන්ට නොහැකිවීම යැයිද කී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩු පවත්වාගෙන යන්නන්ට තම බලය පවත්වාගෙන යාම සඳහා සුළු පක්ෂ විසින් ඉල්ලන විවිධ ඉල්ලීම් ලබාදීමට සිදුවන බව ද ප්‍රකාශ කළේය.
1505 සිට 1948 දක්වා මෙරටට ඇතිවූ විදේශීය බලපෑම්වලින් පසුව පසුගිය අවුරුද්දක දෙකක කාලය තුළ අතීතයට වඩා නව උපක්‍රම භාවිත කරමින් විදේශීය බලපෑම් සහ අත පෙවීම් රටට ඇතිවෙමින් තිබෙන බව ද පැවැසීය. රටේ කුමන අන්දමේ වෙනස්කම් ඇති කළත් ඒ සියලු දේ තුළින් රටට යහපතක් සිදුවිය යුතු යැයිද ජනාධිපතිවරයා කීය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ(31) පස්වරුවේ ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රාජ මහා විහාරයේ අභිනව උපෝසථාගාරය සඟ සතුකොට පූජා කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි.
0 Comments