Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගොංකම් පිළිබඳ 71 වැනි සංවත්සරය

හැත්තෑ එක්වැනි නිදහස් සමරුව හෙටට (04 දා) යෙදී ඇති අද වැනි දිනක අප කියන කරුණ නම් මේ රට පාලනය කළ යටත් විජිතවාදීන් අතුරින් යහපත්ම යටත්විජිතවාදියා බි‍්‍රතාන්‍යය බවය. 1818 දී වෙල්ලස්ස කැරැල්ලේදී මේ නීච කාලකණ්ණි බි‍්‍රතාන්‍යය විජිතවාදියා වැඩිහිටි පිරිමින් සහ පිරිමි දරුවන් ලක්‍ෂයක් පමණ සංහාරය කළ බව ඇත්ත; ගැහැනුන් දූෂණය කළ බවත් ඇත්ත; වෙල්ලස්සේ කුඹුරු අක්කර හැත්තෑපන් දහසක් ගිනි තබා ගවයන් සහ එළුවන් ලක්‍ෂ ගණනකට වඩා ඝාතනය කළ බව ඇත්ත. ඒ සියලූ කෲර වැඩ කළත් සිංහල රජවරුන් පෘතුගීසි ආක‍්‍රමණිකයන් සහ ලන්දේසි ජඩ පාලකයන් යන අය ඔවුන්ගේ අතෙහි තබාගෙන සිටි ආර්ථික ඒකාධිකාරය මුල් වරට නිදහස් කළෝ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහු ය.

ඉපැරණි යුරෝපය සහ ඇමෙරිකාව ඉතා පහත් ලෙසත් මනුෂ්‍යත්වයට නිගා දෙන ලෙසත් වහල් මෙහෙය ප‍්‍රවර්ධනය කළ බව අපි දනිමු. ඒ බව මෙනෙහි කරමින් අපි ඇමෙරිකාවට සහ යුරෝපයට හෙණ ඉල්ලන්නෙමු. මෙහිදී අප මතක් කරගත යුතු වැදගත් කාරණයක් තිබේ. ඒ වූකලී මේ රටේ සිංහල රාජාණ්ඩු පැවති කාලයේදී සිටි ජනප‍්‍රධානීන් යටතේ පොදු ජනතාව ගත කළ ජීවිතය යුරෝපයේ වහල් කර්මාන්තයට එහා ගිය බවයි. සිංහල රාජාණ්ඩු කාලය තුළ රජුගේ සහ ජනප‍්‍රධානීන්ගේ (අධිකාරම්, මහ අධිකාරම්, රටේ රාළ ඇතුළු අය) වාසස්ථානවලට හැර අන් කිසිදු අයකුගේ වාසස්ථාන අත්තිවාරම් යොදා ඉදි කිරීම තහනම් විය. අත්තිවාරම් නැතිව පලයක් බා කටුමැටි ගැසූ එම ගෙවල්වලට හුණු පිරියම් කිරීම තහනම් විය. 1800 න් එහා මේ රටේ ජීවත් වූ කිසිදු සාමාන්‍ය රටවැසියකුගේ ගෙයක අත්තිවාරමක් කිසිදු කැනීමකදී හමු වී නැත. බි‍්‍රතාන්‍ය පාලකයා මේ තත්ත්වය නැතිකර ආර්ථිකය ලිබරල් කර ආර්ථික සූරා කෑමට කලිසම් අන්දවා වෙනස් මුහුණුවරක් දුන්නේය.

බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදියා ලංකාවට නිදහස දුන්නේ ඇයි? නොදී බැරි නිසාය. යුරෝපීය අධිරාජ්‍යවාදියා මෙහි පැමිණි 1505 සිට මේ රටේ ජනයා ඉතා නරක දෙයක් පුරුදු වීමට පටන්ගත්තේ ය. ඒ වූකලී අතේ තිබෙන දෙයක් විකුණා හෝ කා බී චූන් එකේ සිටීමය. මෙය වූකලී 1505 දී මෙරටට පැමිණි පළමුවන පෘතුගීසි කාරයා වූ ලොරෙන්සෝ ද අල්මේදා සතුව තිබූ කැත පුරුද්දකි. අල්මේදා මෙරටට ආ දා පටන්ම පෘතුගාලයේ ජීවත් වූ පරිදිම හොඳට කෑවේය; බිව්වේය. එසේ කර මාසික ආදායම කල්තබාම ඉවර වූ විට තම හිතවතුන් වූ පෘතුගීසි සෙබළුන්ගෙන් ණයට මුදල් ගෙන බිව්වේ ය. ඒවා ඉවර වූ විට සිංහලයන්ගෙන් ද ණයට ගත්තේ ය. මේ ක‍්‍රමයට මුළු ලංකාවම ගමන් කරන විට මේ රටේ අයවැය ලේඛනය පාඩු බව, එනම් අයවැය පරතරයක් ඇති බව, එනම් මේ රට ආදායමට වඩා වියදමක් කරන බව 1808 වනවිට බි‍්‍රතාන්‍ය පාලකයන්ට තේරුණේය. ඉන්පසු ඔවුහු ක‍්‍රමයෙන් බදු වැඩි කරන්නට පටන් ගත්හ. එහෙත් රට පාඩුවටම දුවන්නට විය. රටේ තේ, පොල්, රබර්, කුරුඳු, පුවක්, කෝපි, කරදමුංගු, කරාබුනැටි, ගම්මිරිස් මිනිරන් යනාදී සියල්ලම රට පටවලාත් ඒ පාඩුව පියවා ගැනීමට බි‍්‍රතාන්‍යයට බැරි විය.

මෙහිදී ලංකාවට වාසියට හිටි එක් දෙයක් තිබිණ. ඒ වූකලී එකල ලංකාවත්, ඉන්දියාවත් එකම ගිණුමකට දමා පාලනය කිරීමට බි‍්‍රතාන්‍යය පුරුදු වී සිටීමය. එකල ඉන්දියාව British India ය. ලංකාව British Ceylon ය. මේ අනුව British එකවුන්ට් එක ඉන්දියාවටත්, ලංකාවටත් පොදු විය. ඒ අතර 1947 දී ඉන්දියාවට නිදහස දීමට බි‍්‍රතාන්‍යයට සිදුවිය. එතැන් සිට ඉන්දියාවෙන් එන ආදායම නතර වූ බැවින් ලංකාව තනි ගිණුමක් යටතේ පාලනය කිරීම බි‍්‍රතාන්‍යයට පාඩු විය. අවසානයේදී පාඩුවට දුවන ලංකාවට නිදහස දීම නොකර බැරි තැනට බි‍්‍රතාන්‍යය පත්විය.

බි‍්‍රතාන්‍යය ලංකාව තුළ පාරවල් කැපීමට රේල් පාරවල් තැනීමට සහ වෙනත් යටිතල පහසුකම් වර්ධනය කිරීමට මුදල් ආයෝජ නය කළේ කවදාවත් මේ රට අත්හැර දැමීමට නොවේ. මේ රටේ තිබූ රාජාණ්ඩුක‍්‍රමයේ පැවති දුර්වලතා සහ දුර්දාන්ත වැඩ තේරුම්ගත් ඔවුහු ඉතා ක‍්‍රමානුකූල ලෙස ලංකාවට සේන්දු වී රජුට උදව් කරන ව්‍යාජයෙන් රටටම වැඬේ දුන්නේ ය. අන්තිමේදී නිදහස දෙන ව්‍යාජයෙන් ලංකාවෙන් ගැලවී ගත්තේ ය. අදටත් අප ජාතියක් වශයෙන් දුක් විඳින්නේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ ප‍්‍රතිඵලයක් ලෙස බව කියන අය සිටිති. එය සියයට සියයක ඇත්තක් නොවේ. අප දුක් විඳින්නේ අපේ ගොං වැඩ නිසාය. මෙයට අවුරුදු 50 කට පෙර ධීවර ගම්මානයක්ව තිබූ සිංගප්පූරුව අද තිබෙන තැන බලන්න. අප සැමරිය යුත්තේ 71 වැනි නිදහස නොව අපේ ගොංකංවල 71 වැනි සංවත්සරය ය.

දිවයින


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();