Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමෙරිකාවෙන් ලංකාවට ආව දෙවැනි යුද්ධයේ රහස් පරීක්ෂකයා

ටොම් පචයෝ, දෙවැනි යුද්ධය නිෂ්පාදක
ජනවාරි 31, 2019

නළු පිස්සුව ඉහට ගැහුවොත් ඉන් මිදීමට ලෙහෙසි නැත. ඇතැමුන් උපතින්ම උරුම කරගෙන එන්නේය. කීත් රංග ද එහෙම උපන් අයෙකි. කෙදිනක කෙසේ හෝ නළුවකු වීම ඔහුට අවශ්‍ය වුණේ හය හතර තේරෙන කාලයේ පටන්ය. ඔහුගේ පවුලේ කිසිවෙකුටත් එවන් වූ අවශ්‍යතාවයක් නොවුණ හෙයින් කීත්ගේ ගමන කොහෙන් හෝ සහායක් ලැබුණේ නැත. තමන්ගේ වැර වෑයමින් නැගී සිටි ඔහු චිත්‍රපට නළුවකු වුණේ ගෙදර බුදුන් අම්මා සිනමාපටයේ රංගනයට එක් වෙමිනි. පසුකාලීනව දිගින් දිගටම චිත්‍රපට රංගනයේ යෙදෙන ඔහුගේ නළු පිස්සුව දෙවැනි තැනට වැටෙන්නේ ඉන් ආර්ථික අතින් ස්ථාවරත්වයක් ගොඩනඟා ගන්නට නොහැකි වීම නිසාය. නොබෝ දිනකින් විදෙස් ගතවන කීත් දැඩි අධිෂ්ඨානයකින් යුතුව ප්‍රාර්ථනාවක් කරන්නේය. එය දැන ගන්නා ගමන් කීත් සමඟ කෙරෙන මේ කතාබහ ආරම්භ වනු ඇත.

එදා මට හරි ශෝකානුකූල දවසක් වුණා. මං හිතුවේ නැහැ ලංකාවෙන් පිටත් වෙන්න. හිතා ගත්තා ආයේ ලංකාවට එන්නේ චිත්‍රපට නිෂ්පාදකවරයකු වෙලා කියලා. ඒ බලාපොරොත්තුවත් දැන් ඉටු වෙලා තියෙන්නේ.

ඔබ ඇමරිකාව බලා ගියේ ඔබට රංගනයට ආරාධනා ගලා එමින් තිබුණු යුගයක?

ගෙදර බුදුන් අම්මා චිත්‍රපටයේ මං රඟපෑවේ කමල් අද්දරආරච්චිගේ යාළුවා හැටියට. පසුව ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්, චණ්ඩි රැජින, ලව් 94 වගේ චිත්‍රපට ගොන්නක රඟපෑවා. ඔබ පෙර සඳහන් කළා වගේ නළුවකු ලෙසට මට යම් ස්ථාවරත්වයකට පත්වන්න පුළුවන් වුණත් ආර්ථික අතින් ඒ තත්ත්වෙට පත්වෙන්න බැරි වේවි කියලා මට දැනෙන්නට පටන් ගත්තා. හරිම අමාරුවෙන් හිත හදාගෙන ක්ෂේත්‍රයෙන් තවකාලිකව ඉවත් වුණා.

අද වනවිට ඔබ නිෂ්පාදකවරයෙක්?

මං ඇමරිකාවේ ජීවත්වන ලාංකිකයෙක් සහ රෝයි ද සිල්වා මුණගස්සවමින් චිත්‍රපටයක සම්බන්ධීකරණ කටයුතු කළා. රෝයි අයියා තමයි ඒකෙ ඩිරෙක්ටර්. සිහින ලොවක් කියලයි නම තිබ්බේ. පසුව මං එහි නිෂ්පාදන පැත්තෙනුත් යම්කිසි විදිහකට එකතු වුණා. මං තනියම නිෂ්පාදනය කළේ ටොම් පචයෝ කියන චිත්‍රපටය. ඒක අධ්‍යක්ෂණය කළෙත් රෝයි අයියා. මේ චිත්‍රපට යුගලයම දැන් තිරගත කරන්නට සූදානමින් ඉන්නේ.

රෝයි සුමනා යුවළ ඔබේ ජීවිතයට බෙහෙවින් සමීපයි?

ඔව්. විශේෂයෙන්ම රෝයි අයියා ගැන මෙහිදී මතක් කරනවා නම් ඔහු තමයි මුලින්ම මට රංගන අවස්ථාව දුන්නේ. නිතරම අපි හමු වුණා. රෝයි අයියට ලොකු වුවමනාවක් තිබුණා මාව ජනප්‍රිය නළුවෙක් කරන්න. එහෙම හිතන මිනිස්සු හරි අඩුයි. මට පුළුවන් හැටියට ඔවුනට ද මං උපකාර කළා. ඇමරිකාවේදී ඔවුන්ගේ මේ චිත්‍රපටවල මංගල දර්ශන සංවිධානය කළා. උපහාර උත්සවයකුත් පවත්වලා ඔවුන් දෙදෙනාව ඇගයීමකට ලක් කෙරුවා. තව දෙයක් කියන්න ඕනෑ මං රෝයි අයියට චිත්‍රපට කරන්න අවස්ථාවන් හොයලා දුන්නේ ඔවුනට චිත්‍රපට නැති කාලේ. ටොම් පචයෝ තමයි රෝයි අයියගේ අවසන් චිත්‍රපටය වුණේ.

රෝයි ද සිල්වා සිය අවසන් කාලයේදී තරමක කලකිරීමෙන් හිටියා කියලා වාර්තා වෙනවා. සමීපතමයකු හැටියට ඔබට ඒ ගැන මොනවා හරි කියලා තියෙනවාද?

ඔබ අහපු දේ ගැන මං කියන්නමයි හිටියේ. ඇත්තටම රෝයි අයියගේ හිතේ යම් කලකිරීමක් තිබුණා. එහෙම වුණේ කල ගුණ නොදත් පුද්ගලයෝ නිසා. රෝයි අයියා ගොඩක් උදවු කළ අය රෝයි අයියාට කෙළෙහි ගුණ දැක්වූයේ නැහැ. ඔහුගේ කළකිරීමට එය හේතුවක් වුණා. තමන් උදවු කළ අය පිටුපාද්දී දැනෙන වේදනාව ගැන ඉතින් ආයෙත් කියන්න ඕන නැහැනෙ.

දැන් ඔබ දිගින් දිගට සිනමාවේ රැඳෙන්නද අපේක්ෂාව?

ඔව්. හොඳ චිත්‍රපට හදනවා, හොඳ චිත්‍රපටවල රඟපානවා.

වර්තමානයේ හැදෙන ටෙලි සිනමා නිර්මාණ පිළිබඳ මොකද කියන්න තියෙන්නේ?

මං ඇමරිකාවේ ජීවත් වෙන්නේ. නමුත් මං අපේකම අමතක කරලා නැහැ. එහෙම අමතක කරන්නත් බැහැ. කියන්න කනගාටුයි අද අපේ නිර්මාණවල අපේකම තියෙනවාද. නැහැ. ටීවී එක දාන්න බැහැ බලන්න තියන්නේ ඉන්දියාවේ ටෙලි නාට්‍ය. වෙලාවකට හිතෙනවා මේ ඉන්දියාව ද ලංකාව ද කියලා. ඇයි එහෙම වුණේ. අපට දක්ෂ නිර්මාණකරුවෝ නැද්ද? නැහැ ඉන්නවා. ඔවුනට එළියට එන්න විදිහක් නැහැ.

ත ඔබට ඇමරිකාවේ නිර්මාණවලට දායක වන්නට අවස්ථාව ලැබුණේ නැතිද?

ලැබුණා. නමුත් ඒවාවලට එකතුවීමට වඩා සිංහල චිත්‍රපටවලට දායක වන්නටයි මට අවශ්‍ය.

ඇමරිකාවේ ජීවත් වන ඔබ කොහොමද මේ රටේ නිර්මාණවලට එකතු වන්නේ?

මං ඇමරිකාවේ මගේම ව්‍යාපාරයක් කරනවා. යන එන ගැටලු නිවාඩු ප්‍රශ්න මට නැහැ. ලංකාවේ නිර්මාණයකට කතා කළොත් ලංකාවට එනවා. ඒකේ රඟපාලා ආයෙත් යනවා.

ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපටයක් ගැන ඔබ මහත් වූ බලාපොරොත්තුවකින් නේද ඉන්නේ?

ඔව්. වී. සිවදාසන් මහත්මයා අධ්‍යක්ෂණය කළ දෙවැනි යුද්ධය තමයි ඒ චිත්‍රපටය. ප්‍රදීප් නම් වූ ඩී. අයි. ජී. චරිතයක් තමයි මං එහි නිරූපණය කරන්නේ. ගොඩක් ආසවෙන් ඉන්නේ දෙවැනි යුද්ධය තිරගත වෙනකම්. මං හිතනවා චිත්‍රපටය ආවට පස්සේ ගොඩක් දෙනෙක් මං ගැන වැඩිපුර කතා කරාවි කියලා.

නිශ්ශංක විජේරත්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();