"දෙස් විදෙස් පිටියෙන් පදක්කම් 6ක්: සහතික 246ක්"
දේශීය ක්‍රීඩා පිටියේ විවිධ තරග ඉසව් රැසක් සඳහා දස්කම් දක්වන කතරගම කසුන් වනිගසේකර පසුගියදා ඉන්දියාවේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
ඉන්දීය ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය සංවිධානයෙන් බැංගලෝර්හී මංගල ක්‍රීඩාංගණයේ පැවැති ඩී.කේ. කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී කසුන් දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට සමත් විය. එම දස්කම හේතුවෙන් ඔහු තරගාවලියේ අවුරුදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ට හිමි සම්මානයද දිනා ගැනීම කැපී පෙනුණි.
ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළේය.
ඔහු මේ තරගාවලියට එක්වූයේ පසුගිය මස දියගම පැවැති ජවන හා පිටිය තරගාවලියේදී දුර පැනීම, මීටර් 100 සහ යගුලිය විසිකිරීමේ ඉසව්වලින් ප්‍රථම ස්ථාන හිමිකර ගනිමිනි.
ඔහු මේ වසරේ පැවැති කොළඹ දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල සහ මොරටුව විශ්වවිද්‍යාල කණ්ඩායම සමග පැවැති තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර, නිමාවට පත්වූ ජාතික මහා ක්‍රීඩා උළෙලේ සහ ජාතික යෞවන ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණ රැසක් අත්කර ගත්තේය.
පසුගිය වසරේ ඔහු සහභාගිවූ ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළෙල 3කදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට සමත්වූ අතර 2015 වසරේදී ඉන්දියාවේ පැවැති තරගාවලියදී ලෝකඩ පදක්කමක් දිනා තිබේ. පාසල් සහ ජාතික මට්ටමේ තරගවලදී ඔහු හිමිකරගෙන ඇති සහතිකපත් සංඛ්‍යාව 246කි.
ඊට පාසල් මට්ටමේ සහතික 168ක් සහ ජාතික මට්ටමේ සහතික 78ක් ඇතුළත්ය.
සෙල්ලකතරගම මහ විදුහලෙන් අධ්‍යාපන ලබා ශිෂ්‍යත්වයක් හිමිවීමෙන් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට එක්වූ ඔහු මේ වනවිට පාසලේ ක්‍රීඩා කණ්ඩායම් කිහිපයක්ද නියෝජනය කරයි.
ඒ යටතේ ක්‍රිකට් පිටියේදී දක්ෂ වේග පන්දු යවන්නකු ලෙසත්, පාසල් පාපන්දු කණ්ඩායමේ ගෝල් රකින්නා සහ වොලිබෝල් කණ්ඩායමේ සාමාජිකයකු ලෙසත් කටයුතු කරයි.
0 Comments