කලා කරුවන් සදහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම තුළින් වැඩි වැඩියෙක් රටට නිර්මාණයන් බිහිවන බව මහා මාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවැසීය.
ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ රුපියල් මිලියන 372ක මුදලින් නවීකරණය කරන ලද කොළඹ මරදාන එල්ෆින්ටන් රඟහල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. මෙම උත්සවය පෙරේදා(24) පැවැත්විණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා-
අද දින විශාල වියදමක් දරා නිමකරන ලද එල්ෆින්ස්ටන් රඟහල කලා කරුවන්, ජනතාව සඳහා නැවත විවෘත කරනවා. නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ දැඩි ඉල්ලීම මත මෙම අවස්ථාවට මා සහභාගි වෙනවා. සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල ඉතා කාර්ය බහුලව ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටුකරනවා.
තමන්ගේ කලා නිර්මාණ ඉදිරිපත් කිරීමේදී විවිධ ගැටලු පවතින බව කලාකරුවන් විශේෂයෙන් නාට්‍ය ශිල්පීන් අපට විවිධ අවස්ථාවන් වලදී ප්‍රකාශ කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාට අවශ්‍ය වුනේ මෙම ස්ථානය මුදල් උපයන, නාට්‍ය ශිල්පීන්ට ප්‍රයෝජනයට ගත හැකි ස්ථානයක් බවට පත් කිරීමයි. ඒ නිසා මෙය කඩිනමින් කලාකරුවන් සහ ජනතාව සඳහා ලබාදීමට කටයුතු කළා.
මෙය විවෘත වීමත් සමග නාට්‍ය ශිල්පීන්ගේ ගැටලු වලට බොහෝ පිළිතුරු ලැබෙනවා. ඇතැම් ස්ථානවල නාට්‍ය නිර්මාණයක් ඉදිරිපත් කිරිමේදී විශාල ලෙස මුදල් ගෙවීමට සිදුවෙනවා. විශාල මුදල් ප්‍රමාණ කලා කරුවන්ට ගෙවන්න අපහසුයි. කොලිවුඩ් බොලිවුඩ් කලා කරුවන් සුපිරි ජීවිත ගත කරද්දී අපේ කලාකරුවන් ගත කරන ජීවිත පිළිබවද අප සිතා බැලිය යුතුයි. බොලිවුඩ් ශිල්පීන් තමන්ට උදව් කරන්න කියා පුවත්පත් දැන්වීම් දමන්නෙ නැහැ. කලා කරුවන් ශක්තිමත් කිරීමට රජයේ වැඩි මැදිහත් වීමක්ද අවශ්‍යයි.
හිටපු ජනාධිපතිවරයෙකු වූ ආර්. ප්‍රේමදාස මහතා මේ රටේ කලා කරුවන් වෙනුවෙන් විශාල සේවයක් කළා. ඒ පිළිබදව රන් අකුරින් ලියවී තිබෙනවා. වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමාද කලා කරුවන් වෙනුවෙන් තම යුතුකම් වැඩි වැඩියෙන් ඉටු කරයි කියා අප විශ්වාස කරනවා.
මෙම අවස්ථාවේදී නාට්‍ය ශිල්පීන් ඉදිරිපත් කළ ගැටලු සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට ඉදිරිපත් කර පිළිතුරු ලබා දෙන බවද රාජ්‍ය ඇමැතිවරයා කීය. තමන් කලාකරුවන්ගේ දුක්ගන්නා රාළ වශයෙන් කටයුතු කරන බවද රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවසීය. තමන් සෑම විටම හැප්පෙනුයේ මහා පරිමාණ සොරුන් සමග බවද ප්‍රකාශ කළේය. තමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාවේ සේවකයින්ට හිත් තැවුලක් වුණා නම් සමාව ඉල්ල බවද ඇමැතිවරයා කීය.
මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා-
එල්ෆින්ස්ටන් රඟහල පසුපස වටිනා අතීතයක් තිබෙනවා. කලා ක්ෂේත්රයේ සැඟවී පවතින මිණි කැට මෙවැනි රඟහල් නිසා ඉදිරියට පැමිණෙනවා. කලාව තුළින් සාමකාමී සමාජයක් අපට බිහිකර ගත හැකියි.
මෙම අවස්ථාව සඳහා නිලධාරීන් ඇතුළු කලා කරුවන් විශාල පිරිසක්ද සහභාගි වූහ. සංස්කෘතිකාංග ගණනාවකින් මෙම උත්සවය සමන්විත විය.
0 Comments