මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමාජ, දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ අංගයක් බවට පත්ව තිබෙන සුවිශිෂ්ට කාර්යක් ලෙස ජාතික මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය හැඳින්විය යුතුය. 2019 වසරේ සිය ප්‍රථම නිල ක්‍රියාවලියට මුල පුරමින් උතුරේ මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් මුල්ලියාවලෛ විද්‍යානන්දන් මහා විද්‍යාලයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කිරීමද සුවිශේෂ සිදුවීමකි. මතින් තොර රටක්, දුෂණයෙන් තොර දේශයක්, මානව දයාවෙන් පිරි සමාජයක්, හෘදය සාක්ෂියක් සහිත දේශපාලනයක් ප්‍රතිනිර්මාණය කිරීමේ අභියෝගය උරමත දරා ගත් මේ රජරටින් බිහිවූ සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකයා ලෝකයේ බිහිසුණු ම මත් මකරුන් සමඟ සටනකට එළඹී සිටින්නකු පමණක් නොව ඒ මත් විරෝධයේ පෙරදිග නියමුවා බව ජගත් ප්‍රජාවට ද සන්නිවේදනය කිරීමට සමත් වුවෙකි.
අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුවත් මවන්නා බවට පත්ව සිටින්නේ ද මේ සමාජ විරෝධී, ජන ජීවිත පමණක් නොව මුළු මහත් මානව සංහතියේ ම සතුරා, විනාශකයා බවට පත්ව සිටින මත් ජාවාරම්කරුවන් ම නොවේද? උදෑසන ඇසට කනට යොමුවන සකල විධ මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ඔස්සේ ගලා බසින ප්‍රමුඛ පුවත් සිරස්තලය බවට පත්ව තිබෙන්නේ සංවිධානාත්මක කුඩු කල්ලිවල ක්‍රියාකාරකම් ය. ඈත ගම්දොරත් අගනුවර සුපිරි මහල් නිවාස සංකීර්ණ වලත් නොයෙක් ජනයා ගැවසෙන රැෙඳන තැන්වලත් නොඅඩුව මත්කුඩු වලින් කුපෝෂණය වී තිබෙන ආකාරය ද රහසක් නොවේ. කුඩු ප්‍රවාහනය, කුඩු භාවිතය, කුඩු ව්‍යාප්ත කිරීම ආදි සියලු තැන්හි ශ්‍රී ලංකාවේ කුඩු ජාවාරම් කරුවන්ගේ බිහිසුණු මැදිහත්වීම් ඉමහත් ය. කුඩු නිසා වෙඩි හරඹද පාතාල මෙහෙයුම් ද අඛණ්ඩ සිදු වේ.
මෛත්‍රි ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කරමින් උතුරේ සිට මුළු රටට ම නිරාවරණය කර පෙන්වා ඇත්තේ මේ ජාතික ව්‍යසනයේ වර්තමාන කතාවයි. සමාජ, දේශපාලන සංවාද මණ්ඩපවලින් මුවා වෙමින් රහසිගතව සිදු කෙරෙන මත් කුඩු විනාශයේ තරම කෙබඳුදැයි මෛත්‍රී ජනධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒවාට සෙවණ දෙන විවිධ පුද්ගලයන්ට ද ඇඟිලි දිගු කරමින් ය. මත් ද්‍රව්‍ය භාවිතය අද ලොවට ම තර්ජනයක් වී තිබෙන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. එය මානව ශිෂ්ටාචාරයේ විනාශයට ප්‍රජාවගේ ආධ්‍යාත්ම පරිහානියට පමණක් නොව ලෝක දේශපාලනය මෙහෙයවීමටද තරම් ප්‍රබල වී තිබෙන බව ජනපතිගේ විග්‍රහයයි.
“මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය වගේම මත්ද්‍රව්‍ය විකුණන ව්‍යාපාරිකයෝ ලෝකයේ ප්‍රබල වැරදි කරනවා. විශාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ලෝකයේ ආණ්ඩු පවා පෙරළනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ලෝකයේ දෙශපාලනඥයන් බලයෙන් පහ කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ තමන්ගේ ව්‍යාපාර ශක්තිමත් කරන්න තමන්ට හොඳ ආණ්ඩු බලයට පත්කර ගන්නවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ තමන්ට විරුද්ධ රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධ ව කුමන්ත්‍රණ කරනවා. හොඳට රාජකාරි කරන රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධ ව නොයෙකුත් ප්‍රචාර ගෙනියනවා. පොලීසියේ වෙන්න පුළුවන්, ත්‍රිවිධ හමුදාවේ වෙන්න පුළුවන්, සුරාබදු දෙපාර්තමේන්තුවේ වෙන්න පුළුවන්, ඒ සියලු අංශවල අවංකව මත්ද්‍රව්‍යවලට විරුද්ධව රාජකාරි කරන කෙනෙක් ඉන්නවා නම් ඔහුට විරුද්ධව මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ කටයුතු කරනවා.”
මෛත්‍රි ජනාධිපතිවරයා එදා (2019-01-21) මුලතිව් වලට පැමිණ 4000 කට නොඅඩු පාසල් දරු දැරියන් මෙන් ගුරුදෙගුරුන් හා රාජ්‍ය නිලධාරීන් අබියස සිහිපත් කළේ හතළිස් වසරකට නොඅඩු සිය දේශපාලන සමාජ ජීවිතයේ මත්ද්‍රව්‍ය විරෝධයට කැප වී සිටි ආකාරයයි. රාජ්‍ය සේවයේ පහළ ම සේවකයකු ලෙස සිට රාජ්‍ය නායකයා ලෙස රටේ ඉහළ ම මහජන සේවකයා බවට පත්වී සිටින තමන්ට මත් රකුසන් සමඟ ගෙන ගිය අරගල වලදී මුහුණ පාන්නට සිදු වූ අමිහිරි අත්දැකීම් ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කෙළ් අභිමානයකින් යුතුවය.
“මම මීට අවුරුදු 40කට විතර එහා ඉඳන් මේ ව්‍යාපාරය පටන් ගත්තේ. මම රාජ්‍ය සේවයේ පුංචිම තනතුරක සිටි වෙලාවෙදිත් මත්ද්‍රව්‍ය වලට විරුද්ධව ඒ ගම්වල වැඩ කෙරුවා. මම 1989 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට පත් වූ වහාම මත්ද්‍රව්‍ය වලට විරුද්ධව දේශන පවත්වන්න රට පුරා ගියා. ඇඩික්ට් ආයතනයට සම්බන්ධ වෙලා මම වැඩ කෙරුවා. ඒ වගේම විශේෂයෙන් ම සෞඛ්‍ය ඇමතිවරයා කාලේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි නීති රීති සම්මත කෙරුවා. මේ වේදිකාවේ කතා කළ පාසල් දරුවෙක් කිව්වා මත්ද්‍රව්‍ය වලට විරුද්ධව මම ගෙන ගිය සටනේදි මම උසාවිවල ගිහින් බංකුවල වාඩි වෙලා නඩුවලට පෙනී සිටියා කියලා. සෞඛ්‍ය ඇමතිවරයා විදියට සිටියදී අරක්කු කම්පැනි එක්ක සටන් කරන්න මට සිද්ධ වුණා. ඒවා ඉතාමත් ම ප්‍රබලයි. ඒගොල්ලන්ට ඕන කෙනෙක් එකතු කර ගන්න පුළුවන්. ඒ අය ඕන තරම් සල්ලි වියදම් කරනවා. ඒ අයට තිබෙන සල්ලි වලට කරන්න දෙයක් නැහැ. කොච්චර සල්ලි තිබුණත් ඒ අය කවදාවත් හොඳ වැඩ කරන්නේ නැහැ. ඒ අය කරන්නේ නරක වැඩමයි. සෞඛ්‍ය ඇමතිවරයා විදියට මට සම්මත කරන්න බැරි වුණු නීතිරීති, අණපනත් 2015 දී ජනාධිපතිවරයා වෙලා පළමුවෙන් ම සිගරට් සහ අරක්කු වලට පාර්ලිමේන්තුවේ නීතිරීති අණපනත් සම්මත කළා. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි සිගරට් පැකැට්ටුවේ 80% ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි රූපමය අවවාද එක් කිරීමට අවසරය ලැබුණේ.”
ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික ආදී සියලු ක්ෂේත්‍රයන්හි උද්ගතව තිබෙන පරිහානිය යෝධ පිමි පනිමින් ඉදිරියට ගමන් කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ද මේ මත්කුඩු බව කිව යුතුය.
“මේ රටේ දුප්පත්කමට ප්‍රබලම ප්‍රශ්නය මත්ද්‍රව්‍යයි. මේ රටේ දුප්පත්කම වැඩිවෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය නිසා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ දුප්පත් ජනතාවයි. ඒ නිසා ඔවුන් තවත් දුප්පත් වෙනවා; ඔවුන් ලෙඩ්ඩු වෙනවා; ඔවුන් විනාශකාරි දෙයට යොමු වෙනවා; ඔවුන් නීති විරෝධී දේ කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට විරුද්ධව කතාකරන ඊට විරුද්ධ වෙන මානව හිමිකම් සංවිධාන මේ යථාර්ථය සහ සත්‍ය පිළිගන්නේ දැකගන්නේ නැත්තේ ඇයි කියලා මම ඒ අයගෙන් අහනවා.”
සදාචාරය යනු හොඳ නරක පිළිබඳ දැනගැනීම පමණක් නොව ඒ දෙකෙහි වෙනස පිළිගැනීමත් දුසිරිත දුරලා සුසිරිත වැඩීමත් බව සියලු ආගම්වල පිළිගනු ලබන්නකි. සමාජ පරමාදර්ශ ගොඩ නඟා ගැනීම සඳහා ආගම් වලින් මඟ පෙන්වන බව සැබෑ ය. එහෙත් ඒ සාරධර්ම මත පදනම්ව සමාජය මෙහෙයවීම පාලකයාගේ වගකීම ය. එහෙත් මෙරටේ පාලනය භාර වූ අයගෙන් කී දෙනෙක් මේ කාරණය පිළිබඳ සංවේදි වූවෝද? මෛත්‍රී ජනාධිපතිවරයා ඒ වගකීම ඉටු නොකිරීමේ වරද දේශපාලනයට ද එල්ල කරයි.
“මේවාට සම්බන්ධ බොහෝ පිරිස් ඉන්නවා. දේශපාලනඥයන් ඉන්නවා. හොඳ මහත්වරු වගේ ඉන්න රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. එළියට එන්නේ ජාවාරම්කරුවෝ ගැන තොරතුරු විතරයි. නමුත් මහත්වරු වගේ ඉඳගෙන මේ ජාවාරම් කරන අය ගැනත් ඉදිරියේ දී මම රටට තොරතුරු හෙළි කරනවා.”
මත්කුඩු ජාවාරම් සමග ඈදෙන දේශපාලන නම් ද තිබේ. සමාජ සදාචාරය උර දරා ගත් දේශපාලනඥයා එබඳු අගතියක නිරත වී සිටී නම් සිදුවිය හැක්කේ කුමක්ද? ක්ෂණික ව ධනවතුන් බවට පත්වීමට මිනිස් ජීවිත විනාශ කරන මත්කුඩු බෙදා හරින දේශපාලනඥයන්, මහත්වරුන් ගැන සමාජය තුළ තිබෙන සංවාදය අපට ද ඇසෙයි. සිංහල බෞද්ධ සමාජයක වර්ධනය ගැන මොන තරම් උදාන වාක්‍ය ඇසුණත් අද අපේ සමාජ වටිනාකම වී තිබෙන්නේ භෞතික සම්පත් පමණි. සාධාරණ සමාජයක් බිහිවන තුරු සමානත්වය, මානව දයාව ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව නිදහස වුවද අරුත් සුන් වචන පමණි. අද තිබෙන දේශපාලන සංස්කෘතික පරිහානිය ඉතා දැඩි ය. දේශපාලනයට විද්වතුන්, බුද්ධිමතුන් ස්වල්පයක් එක් වුව ද එහි කැපී පෙනෙන සමහරු ලුම්පත් සමාජ බලවේග හා සම්බන්ධ හෝ ඒවාට අයත් වූවෝ ය. එසේම දේශපාලනය ධනෝපායන, පවුල් පෝෂණය කරන හා සියලු සිරිත්වලට සෙවණ දෙන ව්‍යාපාරයක් බවට චෝදනා තිබේ. සමාජ සාරධර්ම හා ජාතික වටිනාකම් ඔවුන්ට වැදගත් නැත. එහෙත් මේ මූග්ධ චරිත දේශපාලනයට එන්නේ ජනතාවගේ ඡන්දයෙනි. දේශපාලන සාක්ෂරතාව පිළිබඳ පවත්නා මේ ගැටලුවට විසඳුම කුමක්ද?
මේ අතර මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ඇතුළු සාධනීය දේවල් සටන්පාඨ බවට පත්කර ගත් අය ද සිටිති. ඒ රාජ්‍ය නොවන සංවිධානයි. මේ සංවිධාන බොහෝ විට ජාතික සංස්කෘතික උරුමයන් හෝ සාරධර්ම සමඟ ගැටෙන අයගෙන් සමන්විත ය. සංස්කෘතික වටිනාකම් හෝ සමාජ යහපත උදෙසා වූ ක්‍රියාකාරකම් ඔවුන්ගේ න්‍යාය පත්‍රවල නැත. ඔවුන්ගෙන් සමහරුන්ට අවශ්‍ය කාන්තා නිදහස වුවද පෙරදිග සම්ප්‍රදායට පටහැනිය. මෛත්‍රී ජනාධිපතිවරයා විසින් කරනු ලබන එක් චෝදනාවක් වන්නේ ද මේ සමහර රාජ්‍ය නොවන සංවිධාන මත්ද්‍රව්‍ය විරෝධය වැනි සද්ව්‍යාපාර වලට වුවද හරස් වන බව ය. කුඩු කල්ලිවල පුද්ගලයන්ට සිරදඬුවම් දීම මේ මානව හිමිකම්කාරයෝ නොඉවසති. එය ඔවුන්ට අනුව මානව හිමිකම් කඩවීමකි. මේ ජනපතිගේ වචනවල රැව් දෙන්නේ ඒ චෝදනාවල ප්‍රතිරාවය විනා අන් දෙයක් නොවේ.
“ මානව හිමිකම් කතාකරන NGO කාරයෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පැත්ත අරන් කතා කරනවා. මම පිලිපීන් වල මැනිලා වලදී කිව්වා ලෝකයේ ම රාජ්‍ය නායකයන්ට ආදර්ශයක් පිලිපීන ජනාධිපතිවරයා කියලා. මම දැක්කා ඒකට ලෝකයේ මානව හිමිකම් සංවිධානය කියලා තිබෙනවා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මානව හිමිකම් වලට විරුද්ධව සහය දෙනවා කියලා. ඒ නිසා හේග් නුවරට ගිහින් මට දඬුවම් දෙන්න කියලා පත්තරේකත් ලොකුවට දාලා තිබුණා.
මේ කෑගහන මානව හිමිකම්කාරයෝ ළඟ මත්ද්‍රව්‍යවලින් රට විනාශ වන එක නවත්වන්න කිසිම වැඩපිළිවෙළක් නැහැ. මානව හිමිකම් ඉස්සරහට දාලා මත්ද්‍රව්‍යකාරයන්වත් රකිනවා. ඒ නිසා මේ මානව හිමිකම් සංවිධානවලට බයේ මම මත්ද්‍රව්‍ය සටන අත්හරින්නේ නැහැ. මානව හිමිකම් සංවිධානවලට මම කියනවා වෙස් මුහුණු ගලවල දාලා මත්ද්‍රව්‍ය විරෝදී ජාතික ව්‍යාපාරයට එකතුවෙලා මේ රටේ දරුවන් රැකගන්න කියලා.”
ඇත්ත වශයෙන්ම සදාචාර සම්පන්න සමාජයක් යනු ජාතික සංස්කෘතික හර මත පදනම් වූවකි. ජාති, ආගම් වශයෙන් වෙනස්කම් තිබුණත් ඒ ඒ ජාතිකත්වයට, සංස්කෘතියට ගරු කරන පුද්ගල සමාජයක් රටකට වුවමනා ය. නීතිය මඟින් සියල්ල සමතුලිත කල නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතීන්, සමාජ සාරධර්ම ප්‍රදර්ශන මෙවලම් බවට පත් කර ගැනීමෙන් ද රටකට දියුණුවක් නැත. කුමක් වුවත් ජනාධිපතිවරයා විසින් දියත් කරන ලද මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය ශක්තිමත් ව ඉදිරියට ගෙන යෑමට මේ ඇන්ජීඕ නඩවලින් කිසිදු දායකත්වයක් නොලැබෙන බව ඉතා පැහැදිලි ය.
ජනාධිපතිවරයා දක්වන ආකාරයට ම මත්ද්‍රව්‍ය යනු අරක්කු සිගරට් පමණක් නොවේ. සුරාව යනු පෙරදිග රටවල ශිෂ්ටාචාරය සමඟ ද ඉදිරියට ආ දෙයකි. මධුපාන උත්සව, සුරා සොඬුන්, සුරා නිෂ්පාදන වැනි දේවල් ගැන අපේ සාහිත්‍යයේ ද සඳහන් වේ. රා බීමේ සිරිතක් සිංහලයාට තිබුණි. කව්සිළුමිණ කාව්‍යයෙහි මධුපාන උත්සවයක් ගැන කියැවේ. ගුත්තිල කවියාද බමන මතින් යුතුව සුරා පානය කළ අයෙකු නැටු නාඩගමක් ගැන හාස්‍ය රචනයක් කර තිබේ. එහෙත් මත්වතුර හොඳ සිරිතක් ලෙස බුදුදහමේ නොපිළිගනී. බුදුන් වහන්සේ විනාශ කිරීමට නාලාගිරි ඇතුට රා පොවා යැවූ බව සඳහන් සංවේදී පුවතක් ද වේ. මත්පැන් බීමෙන් වැළකීම බෞද්ධ පන්සිල් වලටද ඇතුළත් කර ඇත. එහෙත් අදත් මත්පැන් යනු බොහෝ අවස්ථාවල රහසේ හා ප්‍රසිද්ධියේ ද යොදා ගනී. මේ රටේ දේශපාලනඥයන්ට මත්පැන් බලපත්‍ර ලබා දීමේ කෝටා ක්‍රමයක් ද ක්‍රියාත්මක විය. සමාජ වෙබ් අඩවි ඔස්සේ සංවිධානය කෙරෙන මත්සාද ගැන ද වාර්තා තිබේ. ඒවායේ මත්කුඩු, ගංජා වැනි දේවල්ද භාවිත වන බව කවුරුත් දනිති. එහෙත් අද රටටම ඒ සියලු මත්ද්‍රව්‍ය හා මත්කුඩු, දුම්වැනි විපතක් වී තිබෙන බව ප්‍රතික්ෂේප කළ නොහැකිය.
“මත්ද්‍රව්‍ය පාවිච්චි කිරිමෙන් සිදුවන්නේ කුමක් ද? මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නිදහස් සමාජයක නොකළ යුතු නීති විරෝධී ඒ සියලු වැඩ කරනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා මිනිස්සු මරනවා; මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ස්ත්‍රී දුෂණ කරනවා; මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ළමා අපචාර කරනව; මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හොරකම් කරනවා; මංකොල්ල කනවා; මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නිදහසේ ජීවත්වන සෑම කෙනෙකුට ම හිරිහැරයක් වෙන විදියට හැසිරෙනවා; මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා යහපත් පවුල් ජීවිත විනාශ වෙන අවස්ථා තිබෙනවා.”
අද අපරාධ වර්ධනයට ප්‍රධානම හේතුව මේ මත්කුඩු ය. ඈත ගම්වල පවා මතට ඇබ්බැහි වු පවුල් ද සිටිති. තරුණ පරපුර මත් උවදුරේ ගොදුරු වීම නිසා රටේ අනාගතය ද අඳුරු වී තිබේ. අද මහ දවාලේ මත් කුඩු කල්ලි අතර වෙඩි හුවමාරු සිදු වේ. මහමඟ මිනිසුන් මරා දමන ආකාරය කවුරුත් දනිති. සිර ගෙවල්වල සිට මත් ජාවාරම් සිදු කරන බව කියති. හිරගෙයි සිටින පුතුට, සැමියාට මත්කුඩු රැගෙන යාමේ පුවත්ද සුලබ ය. මේ පසුබිම තුළ රටට සිදු විය හැක්කේ කුමක් ද? කුඩු උරන, මත්කුඩු වලට අබ්බැහි වූ අය ඉන් මුදා ගැනීමට තිබෙන සංවිධාන වුවද ඉතා අඩු ය.
මෛත්‍රී ජනාධිපතිවරයා සියලු ආගමික නායකයන්ට, අධ්‍යාපන ක්ෂේත්‍රයේ හැම කෙනෙකුට ම, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සියලු ම දෙනාට ආයාචනා කරන්නේ මේ විරෝධී ව්‍යාපාරයට කැප වන ලෙස ය. ලංකාවේ හැම පාසලක ම, හැම ගමකම මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාදාමයක් අවශ්‍ය ය. මෙය අමතක කර, මේ රට ගොඩනැඟිය නොහැකිය. පන්සල, පල්ලිය, කෝවිල වැනි හැම ආගමකම මේ විනාශයේ ආදීනව පෙන්වා දීම ඉතා වැදගත් ය. පාසල් මට්ටමින් මේ භායානක මත් වසංගතය දුරලීම සඳහා වැඩ සටහන් සකස් වීම ද අත්‍යාවශ්‍ය දෙයකි. වැඩිහිටියන් මතින් මුදා ගත යුතු අතරම දරුවන්ට එහි ආදීනව, විපාක පෙන්වා දීම වැදගත් ය. අපේ සාහිත්‍යයෙහි මත් විපත් ගැන කියැවෙන කතා බහුල ව තිබේ. ජාතක පොතේ එන චුල්ලපදුම ජාතකයේ කියැවෙන්නේද සුරා මතින් තම දරුවාට වධ හිංසා කළ පියකු ගැන ය. මතින් තොර රටක් යන ජනපතිගේ සංකල්පය පතිරූප දේශයක් සඳහා අත්‍යාවශ්‍ය මංගල කාරණයකි.
ලෝක ප්‍රකට රුසියානු ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි ‘මිනිසුන් මත් පැන් පානයට කැමති වන්නේ ඇයි’ යන ප්‍රශ්නයට පිළිතුරු දීමට වෙනම නවකතාවක් ලියු බවද කියති. සුරාපානයේ මෙන්ම දුම්බීමේ ආදීනව පෙන්වා දීමට ඔහු නාට්‍යයක් ද රචනා කළේය. නාට්‍යයේ එන මත්පැන් පෙරන්නා ඔහු නම් කළේ යක්ෂයා ලෙස ය. මේ යක්ෂයා රටේ සිටි ධනවතුන් හා නිකරුණේ කාලය ගෙවන රස්තියාදුකාරයන් ද මත්පැන් වෙත ඇද ගැනීමට සමත් වෙයි. එහෙත් තම කාර්යවල නිරතව සිටින ගොවියන් වැනි අය යක්ෂයාට අල්ලා ගැනීමට අපහසු විය. ගොවියන් හා ගැමියන් මත්පැන් වෙත ආකර්ෂණය කර ගැනීමට යක්ෂයා දරන සියලු උත්සාහ අසාර්ථක වේ. අන්තිමේදී ඔහු මත්පැන් පෙරීම සඳහා ගැමියන් පුහුණු කළේය. ඒ උපක්‍රමයට හසු වූ ගොවීහු මත්පැන් පෙරා ඒවා පානය කිරීමට ද ඇබ්බැහි වූහ. මත්පැන් නිසා ඔවුහු අපරාධ වලටද යොමු වූහ. ටෝල්ස්ටෝයි මෙබඳු නාට්‍ය හා කතා ඉදිරිපත් කළේ රුසියානු සමාජය විපත්වලින් බේරා ගැනීමට ය.
සාහිත්‍යකරුවා කලාකරුවා අණබෙරකාරයකු හෝ දේශකයකු විය යුතු නැතැයි යන්න පිළිබඳ විවාදයක් නැත. එහෙත් සාහිත්‍ය හා කලාව පුද්ගල ජීවිතය තුළ සාධනීය ප්‍රතිසංස්කරණ සිදු කරන සද් ව්‍යාපාරයක් බව නිසැකය. මෙතැනදී අපේ බොහෝ නිර්මාණකරුවන් සිටින්නේ කොතැනද යන්න වෙනම විමසා බැලිය යුත්තකි. එහෙත් සමහරුන්ට අවශ්‍යව තිබෙන්නේ අමුතුම නිදහසක් නොවේද? යන ප්‍රශ්නය අප තුළ ද නැෙඟයි. සංස්කෘතියට හා සාරධර්ම වලට උඩින් පැන යන ඒ බලවේගවල ප්‍රකාශන ලෙස මොන තරම් විකෘතීන් අපට දැක ගත හැකිද? කිරලාගල නටබුන් චෛත්‍ය මතට නැඟ ගත් තරුණයන්ගේ ඡායාරූපය මෙයට අලුත් ම නිදසුන ය. මේ සංස්කෘතික විහීනයන් එල්ලා මැරීමට යෝජනා කිරීමට ඉක්මන් නොවෙමු. එහෙත් මේ මූග්ධ ප්‍රතිචාරය තුළ ගම්‍ය වන සංස්කෘතික දරිද්‍රතාව කෙතරම් බිහිසුණු ද? ඇතැම් විට මෙබඳු ග්‍රාම්‍ය, නිරශ්චීන හැසිරීම් වලට උත්තේජනය ලබා දෙන්නේ මත්කුඩු, කංසා වැනි දේ වලින් බවද කිව යුතුය.
මේ සියල්ෙලන් තහවුරු වන්නේ මත්කුඩු යනු සියලු සදාචාර සීමා ද සාරධර්ම හා සම්මුතීන්ද නොතකා යන බිහිසුණුම දෙයක් බව ය. මේ රටේ ක්‍රියාත්මක වන මත්කුඩු ජාලයට සමාජයේ විවිධ තලවලට අයත් වූවෝ සම්බන්ධ වී සිටිති. සුඛෝපභෝගී රියක අව් කන්නාඩිවලින් දෑස වසාගත් මහේශිකාවන් සේ වෙස් බැඳ යන කුඩු වෙළෙන්දියෝ සිටිති. ඇතැම් විට පොලිස් අත්අඩංගුවට පත්වන ඒ මූග්ධ ජාලය වෙනුවෙන් දේශපාලන නියෝගයක් ද පොලිසියට එන අවස්ථා ද තිබේ. මෛත්‍රී ජනධිපතිවරයා ඒ සියලු ප්‍රබලතා මෙන්ම එයට එරෙහි නීතියේ දුබලතා ද හොඳින් පසක් කර ගත් නායකයෙකි. මත් විරෝධී ජාතික වැඩ සටහන දීප ව්‍යාප්ත බලවේගයක් බවට පත් කිරීමට ඔහු කැප වන්නේ එනිසා ය. මෙරටේ ග්‍රාමීය ජීවිත හා සංස්කෘතික සාරධර්ම ගිලගත් සියලු ව්‍යාධීන්ට ඖෂධ ලබා දීම මෛත්‍රී ජනාධිපතිගේ දේශපාලනයේ ප්‍රබල සත්කාරයකි. සාම්ප්‍රදායික කෘෂි ජීවන රටාව සමඟ බැඳුණු වාරි සංස්කෘතියත් එයට පදනම් වු ජාතික හා සංස්කෘතික උරුම සුරැකීමත් අද ඔහුගේ ව්‍යාපෘතිවලට ඇතුළු වී තිබෙන්නකි. ගමට නවීන විද්‍යාව හා තාක්ෂණයද ලබාදෙන අතරම ගම සාරධර්ම ඔස්සේ ගලා යන සංස්කෘතික ප්‍රවාහයක් බවට පත් කිරීමට ද ඔහු කැප වී සිටියි.
මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලය කෙතරම් පුළුල් ව නිර්බාධිත ව ගලා යන්නේද යත් මේ රටේ අය පමණක් නොව වෙනත් රටවල අයද ඒවාට සම්බන්ධ වී සිටීමෙන් ම තහවුරු වේ. එදා ඉන්දියන් සාගරයේ මුතු ඇටය මෙදා කුඩු තිප්පළක් වී ඇතැයි සමහරු දැඩි කම්පිත ස්වරයෙන් කියා සිටිති. 2018 වසරේදී පමණක් හෙරොයින් නමැති කුඩු කිලෝ 740ක් අත් අඩංගුවට ගෙන තිබෙන බව කියති. රටේ බහුතරයට කුඩු කාරයන් ලෙස හැඳින්විය නොහැකි වුවත් කුඩු භාවිතය හා කුඩු බෙදා හැරීම අද ප්‍රධාන ව්‍යාපාරයක් ලෙස සිදුවන බව පිළිගත යුතුය. තම ජීවිතය විනාශ කිරීමට තරම් ප්‍රචණ්ඩ වූ සාහසිකයකුට සමාව දීමට තරම් උපේක්ෂාවක් සහිත රාජ්‍ය නායකයකු වුවද කුඩු ජාවාරම්කරුවකුට නම් එබඳු ප්‍රතිචාරයක් දැක්වීමට මෛත්‍රී ජනාධිපතිවරයා නම්‍යශීලි නොවීම ද අපට තේරුම් ගත හැකිය. පාසල, ගෙදර, පවුල, සමාජය ඇතුළු මුළු රට ම විනාශයට තල්ලු කරඅතට ලැබෙන පව්කාර ධනයෙන් සුව පහසු ජීවිත ගෙවීමට තරම් පහත් මනසක් සහිත කුඩු ජාවාරම්කාරයන් එල්ලා මැරීම නොමැනවැයි කාට නම් කිව හැකිද?
ධන නිල බලය ඈඳුණු මත් කාරකය
අණ වින කරන ජාතියටම මාරකය
ගෙන යන්නේ රටම බිහිසුණු පාරකය
මොන දඬුවමද හැර උන් හට පෝරකය
from silumina
0 Comments