බුදුහිමියන් එදා සුනීතට පිහිට වීමේ දී ඔහුගේ ජාති, කුල, ගොත්, ආගම් පිළිබඳ සැලකුවේ නැත. අසරණ සෝපාකට සරණ වීමට පෙර ඔහුගේ උභය කුල පාරිශුද්ධත්වය පිළිබඳ සැලකිලිමත් නොවූහ.උන්වහන්සේ සරණක් අවැසි සැමට එකම මෙත් සිතින් සරණ වූහ. ඒ මඟ යමින් දෑ කුල ගොත් බේද පසෙක ලා සරණක් අවැසි සැම දන වෙත එකම මෙත් සිතින් සරණ වන උතුම් බුදු පුතෙකු අපි හඳුනා ගතිමු.
වසර ගණනාවක් පුරා විහාරස්ථානය මඟින් පවත්වාගෙන ආ පෙරහර නවතා දමා ඒ මුදලින් පාසල් ගොඩනැගිලි ඉදිකරන භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳ ඔබ අසා ඇති ද, තම පරිහරණය පිණිස පූජා කෙරුණු සුඛෝපභෝගී ජීප් රථය විකුණා දමා තමා උගත් පාසල සඳහා තෙමහල් ගොඩනැගිල්ලක් ලබා දුන් හිමිනමක් පිළිබඳ ඔබ අසා ඇත් ද, විදේශීය තම දායකයන් සම්බන්ධ කරගනිමින් රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දුන් හිමිනමක් පිළිබඳ ඔබ අසා ඇත් ද, මේ පැනයන්ට එක ම පිළිතුර නැත යන්න බොහෝ දෙනා පවසන බව අපි දනිමු. මේ ලිපිය ඔබගේ දැනගැනීම පිණිසයි.
උන්වහන්සේ වසර ගණනක් පුරා තම විහාරස්ථානය මගින් පවත්වාගෙන ආ පෙරහර නවතා දමා එම මුදලින් ප්‍රදේශයේ පාසල්වලට ගොඩනැගිලි තනා දෙති. ප්‍රදේශයේ රෝහල්වලට අවැසි ගොඩනැගිලි, වෛද්‍ය උපකරණ ලබා දෙති. සෙවණක් නැති අසරණ මිනිසුන්ට නිවාස තනා දෙති. අඟහිඟකම් ඇති දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙති. ඈත පිටිසර පෙදෙස්වල අබලන්ව ගිය විහාරාරාම ප්‍රතිසංස්කරණය කරති. විටෙක දාන පාරමිතාව පුරන උතුමෙකු දැයි සැක සිතෙන තරමට දන් දෙති. පින් කරති. ඒ වනාහී අත්තනගල්ල රාජමහා විහාරාධිපති සීනාදී සිව් කෝරලයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේ ය.
සසර පුරාවට දානය මැනවින් පුරුදු කර ඇති උන්වහන්සේගේ දෑත සිහල, දමිළ, මුස්ලිම් භේදයකින් තොරව සැමදෙනා විෂයෙහි ම සම දැකුම් ඇත්තේ ය. පාට පක්ෂ බේදයෙන් අන්ධ නොවුණු දුරදර්ශී මසැසකින් යුත්තේ ය. බොහෝ වගකිවයුතු පිරිස් නෑසූ කන් ව නොදුටු දෑස් ව මුනිවත රකින පරිසරයක් තුළ උන්වහන්සේ තනිවම මහා යුග මෙහෙවරක නියුතු වන්නේ හුදු නිස්සරණාධ්‍යාශයෙන් වීම පැසසුම් කටයුතු ය.
ගම්පහ දිසාවේ එගොඩ පොත පේරුවේ පන්නිල ග්‍රාමයේ වර්ෂ 1947 ජනවාරි මස 26 වන දින උපන් ආනන්ද හිමියෝ 1959 වෙසක් මස 18වන දින පැවිදි බිමට පත් වන්නේ මහා යුග මෙහෙවරක ඇරඹුම සනිටුහන් කරමිනි. පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනින් මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලබන උන්වහන්සේ එවකට විද්‍යාලංකාර සරසවිය නමින් හැඳින් වූ කැලණිය සරසවියෙන් සිය උසස් අධ්‍යාපනය පාලි ගෞරව උපාධියක් හරහා සිදු කර සිය අධ්‍යාපනික වපසරිය ගොඩනඟා ගත්හ. පන්නිල ආනන්ද නාහිමියන් සිය තුරුණු වියෙහි සිට ම අසරණ අහිංසක මිනිසුන් කෙරෙහි කුළුණු ගුණෙන් පොහොණි ව වැඩ වුසූ බව අනඳ හිමි දිවි සිරිත විමසන කල්හි මැනවින් ප්‍රකට වේ. මුළු ඇමරිකානු මහාද්වීපයට ම වො’ෂින්ටන් බෞද්ධ විහාරය පමණක් පැවති සමයක පූජ්‍ය වල්පොල පියනන්ද හිමියන් සමග එක් ව ඇමරිකානු මහාද්වීපය තුළ බුදු දහම ප්‍රචලිත කිරීමට අපමණ වෙහෙසක් ගත්හ. මහායාන බුදු සමය පැතිර පැවති ජපානය, තායිවානය ආදී රටවල ථෙරවාද බුදු සමය ප්‍රතිෂ්ඨාපනය සඳහා බොහෝ දුක්ඛ දුර්බෝජන අනුභව කළහ. එලෙස අපමණ වෙහෙස ගත් උත්සාහය කෙතරම් සඵල වී ද යත් අදට ද තායිවානයේ පවතින එක ම ථෙරවාද බෞද්ධාරාමය වනාහි ආනන්ද හිමියන් විසින් ගොඩ නංවන ලද ථෙරවාද බෞද්ධ විහාරය යි.
උන්වහන්සේගේ විදේශ ධර්ම දූත මෙහෙවරෙහි හඳුනාගත හැකි සුවිශේෂී ලක්ෂණය නම් එම දූත මෙහෙවර නිසා ඒ ඒ රටවල සැදැහැතියන්ට බුදු දහමේ හරය මැනවින් උගැන්මට අවස්ථාව සැලසුණු අතර ම මෙරට පොදු ජනතාවට ද එමගින් වෙසෙසි සේවාවන් රැසක් හිමි වීම යි. ඒ විදේශ ධර්ම දූත මෙහෙවරෙන් හඳුනා ගත් පෙර’පර දෙදිග බොදුනුවන්ගේ ධන පරිත්‍යාගයෙන් තම සමාජ, ශාසනික මෙහෙවර විපුල කිරීමට නාහිමියන්ට අවකාශ සැලසීම යි. උන්වහන්සේ මේ වන විට ප්‍රදේශයේ පාසල් විස්සක පමණ තෙමහල් ගොඩනැගිලි ඉදිකර තිබේ. එහි වෙසෙසි ලකුණ නම් එය හුදු සිංහල බෞද්ධ පාසල්වලට පමණක් ලඝු නොකිරීම යි. අවශ්‍යතාවය ඇති සිංහල, දමිළ, මුස්ලිම්, කතෝලික ඕනෑ ම පාසලකට ගොඩනැගිලි ඉදිකරදීමට තරම් පුළුල් මනසකින් යුතු ව කටයුතු කිරීම යි.
පන්නිල ආනන්ද නාහිමියන් වහන්සේ ගේ අධිෂ්ඨානය අන්තවාදීන්ට මැඩපැවැත්වීමට හැකි වූයේ නැත. උන්වහන්සේ පැමිණි සියලු මැඩුම් හමුවේ පෑ විකුමන් තුළින් තිහාරියේ අල් අස්හාර් මුස්ලිම් විද්‍යාලයට තෙමහල් ගොඩනැගිල්ලක් ලබා දීමටත්, එම විද්‍යාලයේ දී පිරිත් පින්කමක් පැවැත්වීමටත් පවා සමත් වූහ. විවිධ අවස්ථාවල උන්වහන්සේ එම විද්‍යාලයට වැඩම කරන කල්හි උන්වහන්සේට දානය සැපයෙන්නේ මුස්ලිම් මිනිසුන් අතිනි. මෑතක දී විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් සඳහා මුල් ගල තැබීමේ උත්සවයට නාහිමියන් වහන්සේ වැඩම කරවා උන්වහන්සේගේ සුරතින් මුල්ගල තබා ගොඩනැගිල්ලේ වැඩකටයුතු අරඹන්නට තරම් එම පිරිස් කෘතඥපූර්වක වූහ.
වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයට, දඹාන ආදිවාසි ගම්මානයේ විද්‍යාලයට, නියංගොඩ ධර්මාලෝක පිරිවෙන ඇතුළු දිවයින පුරා අධ්‍යාපනික අපහසුතාවන්ගෙන් පිරිපුන් පාසල් සොයා ඉටු දෙවියෙකු මෙන් ගමින් ගම දොරින් දොර වැඩමවන ආනන්ද හිමියෝ ස්වෝත්සාහයෙන් විදේශීය දානපතියන්ගේ සහාය ලබාගෙන මෙරට නිදහස් අධ්‍යාපන සංකල්පයට නව ප්‍රාණයක් ලබාදීමට නිරතුරුව ඇප කැප වී සිටිති. අද වන විට උන්වහන්සේ විසින් විවිධ පාසල්වල ඉදිකර තිබෙන ගොඩනැගිලිවල පාසල් සිසුන් පහළොස් දහසක් පමණ අකුරු හදාරති.
ගම්පහ දිස්ත්‍රික්කයේ වතුපිටිවල රෝහල සඳහා භික්ෂු වාට්ටුවක්, සෙමපටල ඒකකයක්, ළමා වාට්ටුවක්, ගිලන් රථ, දැඩිසත්කාර ඒකකය සඳහා ඇඳන්, ස්කැනර් යන්ත්‍ර ඇතුළු නවීන වෛදයෝපකරණ රාශියක් පිරිනමා ඇත. උන්වහන්සේ අද වන විට රෝහල් සංවර්ධනය වෙනුවෙන් විශේෂ පදනමක් නිර්මාණය කර ඇත්තේ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සියලු සෞඛ්‍ය අවශ්‍යතා වතුපිටිවල රෝහල තුළ දීම සිදු කර ගැනීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණෙනි.
ගමෙන් පන්සලට වෙනුවට පන්සලෙන් ගමට යාමට කාලය එළඹ ඇති බව විශ්වාස කරන නාහිමියෝ සිය පරිහරණය පිණිස පූජා කෙරුණු ප්‍රාඩෝ වර්ගයේ අධි සුඛෝපභෝගී ජීප් රථය ද විකුණා දමා එම මුදල් ද තමා උගත් කඹුරාගල්ල මහා විද්‍යාලයට විද්‍යාගාරයක් සහ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර දීමට තරම් අත්හැරීමේ ගුණය මැනවින් ප්‍රකට කරන යති රුවණක් වෙති. එම සිදුවීම පිළිබඳ කල්හි උන්වහන්සේ ගේ පිළිතුර මෙබඳු විය.
උතුරු දකුණු ලෙස හෝ ජාති ආගම් කුල ලෙස හෝ විවිධ වර්ගයේ පටු ස්වරූපයන්ගෙන් තොර පුළුල් හදවතකින් යුතු ව සෑම මිනිසෙකුට ම එක් සිතින් උපකාර කිරීමට තරම් සිතක් මොළොක් වේ ද එවැනි උත්තර මනුෂ්‍ය ධර්මවලින් පිරුණු මිනිසුන් ලොව දුලබ වෙති. පටු භේදවලින් තොරව සාමයේ, සංහිඳියාවේ පූර්වාදර්ශ සපයන මෙවන් උතුම් යති සිරිත් ලොවට විවර කර දීමට කාලය එළඹ තිබේ. එවිට ආනන්ද නාහිමියන්ගේ ආනන්දනීය මෙහෙවර මෙරට ජාතික සංහිඳියාවට ප්‍රායෝගික ව පෙර මං සපයනු ඇත. එය ආනන්ද නාහිමියන්ගේ ආනන්දනීය මෙහෙවරට ලබා දිය හැකි උපරිම සම්භාවනා ව යි.
අද දින සිය ගෞරවනීය දිවි ගමනේ 73 වන විය සපුරන ආචාර්ය පන්නිල ආනන්ද නා හිමිපාණන් වෙත අප සියක් ආයු ලැබ චිරාත් කාලයක් පුරාවට මේ සසුන් කසුන් විල සරසන්නට ආසිරි පතමු.
තරිඳු තොටවත්ත
0 Comments