කෝඩුකාර ඇෆ්ගනිස්තානයත් ඇතුළට යද්දී විස්සයි 20 ලෝක කුසලානයේ සුපිරි වටයෙන් ශ්‍රී ලංකාව හැලෙයි
වසර 2020 දී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අසමත්වෙයි. වසර 2020 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ නිර්ණායකයට අනුව 2018 දෙසැම්බර් 31 වැනිදායින් පසුව අයි.සී.සී.විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පළමු කණ්ඩායම් අට තරගාවලියේ මූලික වටයට සහභාගි නොවී සෘජුවම සුපිරි 12 වටයට සුදුසුකම් ලැබූ අතර ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානයේ පසුවීම නිසා මේ ඉරණමට මුහුණපෑවේය.
ඊයේ අයි.සී.සී.ය නිකුත් කළ නිවේදනයට අනුව පෙරේදා වනවිට (දෙසැම්බර් 31) ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙළින් 9වැනි සහ 10 වැනි ස්ථානවල පසුවූ ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ලෝක කුසලාන තරගාවලියට එක්වීමට නම් එම තරගාවලියේ මූලික වටයේ තරග සඳහා ක්‍රීඩා කළ යුතුව ඇත. ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලැබූ කණ්ඩායම් 8 සමග සුපිරි 12 වටයේදී ක්‍රීඩා කරන්නේ මූලික වටයෙන් තෝරාගත් කණ්ඩායම් 4 සමගය.
මේ වසරේ ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලි අතරින් තෝරාගන්නා කණ්ඩායම් 6ක් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදි ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ අභිමානයට අභියෝග කරනු ඇත.
වසර 2014දී විස්සයි20 ලෝක කුසලානය දිනූ, වාර 3කදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවට 2020 විස්සයි20 තරගාවලියේ සුපිරි 12ට යාම අහිමිවෙද්දි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කෝඩුකාර ඇෆ්ගනිස්තානය ඊට සුදුසුකම් ලබා සිටීම කැපී පෙනේ.
නවතම විස්සයි20 ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් පසුවන කණ්ඩායම් අට වන පාකිස්තානය, ඉන්දියාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඇෆ්ගනිස්තානය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12ට සුදුසුකම් ලබා සිටිති.
වසර 2014දි විස්සයි20 ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකාවට මෙවර සුපිරි 12 ට එක්වීමේ අවස්ථාව අහිමිවීම කනගාටුදායක කරුණක් බව ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි. එහෙත් මූලික වටයේදි විශිෂ්ට දස්කම් දක්වමින් ශ්‍රී ලංකා පිල සුපිරි 12ට රැගෙන යාමට තම කණ්ඩායම සමත්වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.
මේ අතර සුපිරි 12ට සෘජුවම එක්වීමට අවස්ථාව නොලැබුවත් මෑත කාලයේ දැක්වූ දස්කම් මත මූලික වටයේදී එම අවස්ථාව උදා කරගැනීමට සිය කණ්ඩායමට හැකි බව බංග්ලාදේශ පිලේ නායක ශකීබ් අල් හසන්ගේ විශ්වාසය වී තිබේ.
ෆවුස් මොහොමඩ්
0 Comments