ප්රින්ස් ගුණසේකර ඉන්දුනීසියාවේ ජකාර්තා සිට...
ආසියානු පැරා ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට තවත් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් හිමි වෙයි. ඒ අනුව මෙම ක්රීඩා උළෙලේ මේවන විට ශ්රී ලංකාව රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 3ක් හිමි කරගෙන රටවල් 43කින් 14වැනි ස්ථානයේ පසුවේ.
ඊයේ මලල ක්රීඩා පැවැති ජාකර්තා ගෙලෝරා බන්ග් කාර්නෝ ක්රීඩා සංකීර්ණයේ දණ හිසෙන් පහළ පාදයක් අහිමි හෝ කකුලේ දිග වෙනස්වීම, කකුලක් අප්රාණිකවීම ( T 42 – 44/ 61 / 63) කාණ්ඩයෙන් දුර පැනීමේ ඉසව්වට එක්වූ චරිත නිර්මල බුද්ධික රන් පදක්කම හා පාදයක් අහිමිවීම හෝ පාදයේ දිග වෙනස්වීම (T44 / 64) මත වර්ගීකරණයවූ පිරිමි උස පැනීම ඉසව්වෙන් ලාල් පුෂ්පකුමර ලෝකඩ පදක්කම දිනා ගත්හ. චරිත බුද්ධික මෙම ක්රීඩා උළෙලේ දිනාගත් දෙවැනි පදක්කම මෙයවූ අතර මීටර් 100 ලෝකඩ පදක්කම පළමු දිනයේදී සතුකර ගත්තේය.
චරිත නිර්මල බුද්ධික දුර පැනීමේ ඉසව්ව මීටර් 5. 37කින් හා ලාල් පුෂ්පකුමර උස පැනීම මීටර් 1.76කින් නිමකොට ශ්රී ලංකාවට ගෞරවය ගෙන දුන්හ. චරිත වසර 2009දී පුදුකුඩිඉරිප්පු අවසන් මෙහෙයුමේදී ත්රස්ත ප්රහාරයකින් කකුලක් අහිමිවූ විරෝධාර සටන්කාමියෙකි.
වරකාපොල පදිංචි ලාල් පුෂ්පකුමාර ශ්රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවය කළ අතර උතුරු නැගෙනහිර ක්රියාන්විතයේදී ත්රස්ත ප්රහාරයකින් පාදයක් අහිමි විය. ඔහු ආසියානු පැසිපික් ක්රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනාගත් අතර 2012 ලන්ඩන් පැරාලිම්පික් ක්රීඩා උළෙලේදී ශ්රී ලංකා කණ්ඩායම් නායකත්වය දැරුවේය.
අතක් අහිමි හෝ අතේ ඉහළ කොටස ආබාධිත ( T 45, 46 / 47) කාන්තා මීටර් 100 ඉසව්වට සහභාගීවූ කුමුදු ප්රියංකා තම පෞද්ගලික හොදම කාලය සටහන් කරමින් මූලික වටයේදී තත්පර 14. 28ක කාලයක් වාර්තා කළාය. ඇය අවසන් තරගයේදී තත්පර 14. 58කින් අටවැනි ස්ථානයට පත්වූවාය.
කකුලේ අස්ථි ආබාධිතවූ ක්රීඩිකාවන් (F57) සහභාගීවූ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී තිසරා ජයසිංහ මීටර් 13. 13කින් නවවැනි ස්ථානයට පත්වූ අතර දණ හිසෙන් පහළ පාදයක් අහිමි හෝ කකුලේ දිග වෙනස්වීම, කකුලක් අප්රාණිකවීම ( T 44 / 62 / 64) මීටර් 100 අවසන් තරගයේදී නුවන් ඉන්දික තත්පර 11.98කින් සිවුවැනි ස්ථානයට හා දුමීර මධුරංග තත්පර 12. 04කින් පස්වැනි ස්ථානයට පත්වූහ. දණ හිසෙන් පහළ පාදයක් අහිමි හෝ කකුලක් අප්රාණිකවීම ( T 45 / 46 / 47) වර්ගීකරණයේ මීටර් 100 අවසන් තරගයේදී ප්රදීප් සෝමසිරි තත්පර 11. 58කින් අටවැනි ස්ථානයට පත්විය.
ඊයේ පැවැති රෝද පුටු ටෙනිස් යුගල අවසන් පූර්ව තරගයේදී සුරේෂ් රංජන් ධර්මසේන හා ලසන්ත සුරේෂ් රණවීර වට 2-0ක් ලෙස ජපානය හමුවේ පරාජය විය. මේ හේතුවෙන් රෝද පුටු ටෙනිස් යුගල ලෝකඩ පදක්කම සඳහා වූ සටනට රංජන් හා සුරේෂ් පිවිස සිටිති.
දෑස් අන්ධ පිරිමි ඒකළ 7වැනි වටයේ චෙස් තරගයකදී සමන් දුෂ්යන්ත කුමාර 1-0කින් ඉන්දියාවට පරාජයවූ අතර, අර්ධ පෙනීම ඇති කාණ්ඩයේ තරගයකදී මොහොමඩ් කාසීම් 1-0ක් ලෙස ඉරාන ක්රීඩකයාට පරාජය විය. පිරිමි ඒකළ රැපිඩ් චෙස් තරගයේදී මොහොමඩ් කාසීම් 1-0කින් පිලිපීනයට පරාජයවූ අතර එම ඉසව්වේම තරග කළ සමන් දුෂ්යන්ත කුමාර 1-0කින් ඉන්දුනීසියාවට පරාජය විය.
0 Comments