දඹුල්ලට ඊයේ ඇද වැටුණු මහ වර්ෂාව හේතුවෙන් සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දිවා රාත්‍රී පළමු එක්දින තරගය අත්හැර දැමීමට සිදුවිය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් පන්දු රැකීමට තීරණය කිරීමෙන් පසුව පිතිහරඹය සඳහා පිටියට පිවිසි එංගලන්ත පිල තරගයේ පළමු ඕවර 15 අවසානයේ වර්ෂාව පතිතවීම නිසා තරගය නතර කරන විට කඩුලු දෙකක් දැවී ලකුණු 92ක් ලබා සිටියේය.
ඊයේ පස්වරු 3.40ට දඹුල්ලට ඉහළ අහස අඳුරු වෙද්දී ක්‍රීඩාංගණයේ සම්පූර්ණයෙන්ම වසා දැමීමට පිටියේ කාර්ය මණ්ඩලයට සිදුවිය. අනතුරුව පැය කිහිපයක් වර්ෂාව පතිත වූ අතර රාත්‍රී 8.15ට තණතීරුව පරික්ෂා කළ විනිසුරුවෝ තරගය අත්හැර දැමීමට තීරණය කළහ.
ඒ වනවිට ජෝ රූට් ලකුණු 25ක් සහ නායක ඉයන් මෝගන් ලකුණු 14ක් ලබා නොදැවී සිටියහ.
එංගලන්ත ඉනිමට කදිම ආරම්භයක් ලබාදුන් ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටොව් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූවත් නුවන් ප්‍රදීප්ගේ පන්දුවකට කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් ලබාදී බෙයාර්ස්ටොව් ලකුණු 25කට දැවී ගියේය.
අනතුරුව එංගලන්ත ඉනිමට තවත් ලකුණු 2ක් එක්වෙද්දී ජේසන් රෝයි දැවී ගියේ අකිල ධනංජයගේ පන්දුවකට ඉහළින් එල්ල කළ පහර අතිරේක ක්‍රීඩක සධීර සමරවික්‍රම රැක ගැනීමත් සමගය.
එංගලන්ත පිල - 92/2 (ඕවර 15) ජේසන් රෝයි 24, ජොනී බෙයාර්ස්ටොව් 25, ජෝ රූට් නොදැවී 25, ඉයන් මෝගන් නොදැවී 14 ( නුවන් ප්‍රදීප් 23/1, අකිල ධනංජය 30/1)
0 Comments