තට්ටයා... මම ලස්සන තට්ටයා... කාගෙත් හොඳ මිත්‍රයා... කවුරුත් දන්නා..
ප්‍රසංග වේදිකාවේ රසිකයන් කුල්මත් කළ රොනී ලීච් හිටි හැටියේම අප හැර ගියේය. ප්‍රසංග වේදිකාවේ පළමුපෙළේ entertainer කෙනෙකු ලෙස නමක් දිනා සිටී රොනී රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ 'තට්ටයා' නමැති ආදරණීය ආමන්ත්රණයෙනි.
ගායකයකු මෙන්ම රංගන ශිල්පියකු ලෙස නමක් දිනා සිටී රොනී ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ප්‍රසංගයකට සහභාගි වු අවස්ථාවේ නවාතැන් ගෙන සිටි ස්ථානයේදි ඇතිවු හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බවට අනාවරණය විය.
මිය යන විට 65 වැනි වියේ පසුවු රොනී මෙවර ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ගොස් ඇත්තේ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක සමගිනි. ඇය පවසන ආකාරයට රාත්‍රි ආහාර ගෙන මේ දෙදෙනා තම තමන් නැවතී සිටි ස්ථානවලට ගොස් ඇති බවත් පසුදා උදෑසන බලන විට ඔහු කුස්සිය තුළ වැටී සිට ඇත. එම අවස්ථාවේදීම රොනීව රෝහල් ගත කළත් ඒ වන විටත් ඔහු මියගොසින්ය. රොනීගේ හදිසි වියෝව පිළිබඳව ඕස්ට්‍රේලියානු වෛද්‍යවරු පවසා ඇත්තේ හදිසියේ ඇතිවු හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බවයි.
1953 ඔක්තෝබර් පළමු දින බෙල්ලන්විලදි උපත ලැබූ රොනීට සොහොයුරන් පස් දෙනෙකි. ක්‍රිස්තු භක්තිකයකු (ඇන්ග්ලිකන්) වන රොනීගේ ආදරණීය බිරිය විවට් ලීච්ය. ප්‍රසංග වේදිකාවේදි අතිශය සරල විනෝදකාමි කලාකරුවකු ලෙස රසිකයන් සතුටට පත්කරන මේ ගායකයා පෞද්ගලික ජීවිතයේ ආදර්ශවත් පියෙකි. දයාබර සැමියෙකි. කේෂියා ලීච්ට සහ කෙෂාන් ලීච්ට ආදරණීය පියෙකි. ඔවුන් දෙදෙනාටම හොඳින් අධ්‍යාපනය ලබාදෙමින් ගරු හරුකම් ලබා දුන් නිසාම අද වනවිට ඔවුන් වැදගත් රැකියාවල නිරත වෙමින් සමාජයට යහපත්ක් වනසේ වෙසෙති.
සිංහල, ඉංග්‍රිසි, හින්දි, ද්‍රවිඩ භාෂාවලින් ගීත ගායනයට විශේෂ හැකියාවක් ඇති මේ ප්‍රවීණ ගායකයා ගායන ලොවට ප්‍රවිෂ්ට වන්නේ 1972 ආධුනික ගී තරගයකට සහභාගි වෙමිනි. ඉන් පසුව 'play boy' නමැති බටහිර සංගීත කණ්ඩායම සමග එක්ව කටයුතු කරන අතරවාරයේ කැලැරන්ස් විජේවර්ධනයන්ගේ වියෝවෙන් පසුව 1983දී 'super golden chimes' වාදක කණ්ඩායමට එක්වෙයි. එහිද කලක් වැඩකළත් සංගීත දිවියේ තමන් බලාපොරොත්තු වු තරමට ජනතාව අතරට යෑමට නොහැකිවු තැන ඕමාන් රටට යන්නේ රැකියාවක් සඳහාය. 1989 වසර රොනීගේ ජීවිතයට වාසනාව උදාවු වසරකි. එයට හේතුව ජිප්සීස් කණ්ඩායම ඕමාන්් රටේ ප්‍රසංගයකට පැමිණි අවස්ථාවේදි රොනීව මුණ ගැසෙන පියල් පෙරේරා ඔහු සංගීත නිර්මාණය කළ 'තට්ටයා' ගීතය ගායනා කරන්නටත් ජිප්සීස් සමග වැඩ කරන්නටත් ආරාධනා කිරීමයි. එම ආරාධනාව සතුටෙන් භාරගනිමින් නැවතත් මවුරටට එන රොනී 1990දි 'තට්ටයා' කැසට් පටයෙහි කවරය සරසන්නේ තමන්ගේ හිස මුඩුකරමින් ස්වරූපයද වෙනස් කරමිනි.
එදා පටන් තට්ටය භූ ගාමින් මියයන තුරුම තමන්ටම වු අනන්‍යතාවක් කලාව තුළ ගොඩනගාගත් මේ නිහතමානි කලාකරුවා සෑම අවස්ථාවකදීම ජිප්සීස් සුනිල් පෙරේරාත්, පියල් පෙරේරාත් සිහිකරන්නේ හදපිරි සතුටෙනි. තට්ට සෝමේ, බෝතලේ, ඇලිස් ආදි තවත් ජනප්‍රිය ගීත රැසකම හිමිකරුවාත් රොනීය. මොහුගේ ගීතවල විශේෂත්වය වනුයේ බොහොමයක් ගීතවල පදවැල් හේමසිරි හල්පිටගේ විසින් රචනාකර තිබිමයි.
ගායකයකුට අමතරව ප්‍රහසන රංගන ශිල්පියකුද වන මේ කලාකරුවා කලාවට පිවිසෙන්නේ 1979 දී රඟපාන ලද 'ඈතින් ඈතට' චිත්රපටයෙන්ය. රෑ ඩැනියෙල් දවල් මිගෙල්, හොටෙල් ඩී. කලබල ඔහු මෑත කාලයේ රඟපෑ අතිශයින් ජනප්‍රිය කලා නිර්මාණ වේ. කලාවට ප්‍රවිෂ්ට වු අවධියේ සිටම ඉතාම සමීපව ඇසුරුකළ මරියසෙල් ගුණතිලක ඔහු මියයන තුරුම ළඟින්ම ඇසුරුකළ මිතුරියකි. අපි මේ ලිපිය සකසන විටත් රොනීගේ දේහය මෙරටට ගෙනැවිත් නොමැති බවත් අවසන් කටයුතු සිදුකරන ආකාරය ගැන කිසිවක් කිව නොහැකි බව විවට්ගේ නැගණිය අප සමග පැවැසුවාය.
ගායක ගායිකා සංගමයේ සභාපති ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවෙල් මහතාගෙන් කළ විමසීමේදි පැවැසූයේ 'රොනීගේ හදිසි වියෝව කලාවට ඉමහත් පාඩුවක් බවයි. කලා ක්ෂේත්රයේ කා අතරත් සුහදශීලි ගායකයකු මෙන්ම ගායක , ගායිකා සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයකු වන රොනී මෙරට ප්‍රසංග වේදිකාවට වෙනස්ම මුහුණුවරක් ලබාදුන් හිතහොඳ,නිහතමානී කලාකරුවකු බවයි. ඔහුගේ හදිසි වියෝව ගැන ගායක ගායිකා සංගමයේ සාතිශය සංවේගය පුදකරන බවත් පැවසීය.
ආදරණීය රොනී, ඔබ අප අතර නැති වුණත් ඔබගේ රුව මෙන්ම හඬද සදාතනිකව රසිකයන්ගේ සිත් සතන් තුළ ලැගුම් ගනු ඇත. අපි ඔබට මොක්සුව පතමු.
රොනී ගැන මතකයෙන්...රටම ආදරය කරන රොනී
තට්ටය ගෑ හැටි...
පසුගිය සඳුදා උදේ ලේක්හවුස් ආයතනයට ගොඩවන විටම මා හට අසන්නට ලැබුණේ ඉතා දුක්මුසු පුවතකි. ඒ ‘රොනී ලීච්’ මිය ගිය පුවතය. ඒ පුවත ඇසුණු විගසම මට දැනුණේ ඉමහත් වේදනාවකි. ඒ; ඔහු රටම හඳුනන ජනප්‍රිය කලාකරුවකු නිසා ම පමණක් නොවේ. තට්ටය ගා සිටියද, හැඩි දැඩි පෙනුමක් තිබුණ ද ඔහු තුළ සිටින සුන්දර මිනිසා සමඟ පැය කීපයක් ගත කිරීමට පසුගිය අවුරුද්දේ පෙබරවාරි මාසයේ මා හට අවස්ථාව ලැබුණු නිසාය. ඔහු කෙතරම් සුහදශීලී, මිනිසුන්ට ආදරය කරන පුද්ගලයකු ද යන්න මා හට දැනුණු නිසාය. එදා බොහෝ වේලාවක් ඉතාම සුහදව රොනී ලීච් මා සමඟ පැවසූ දේ නැවත සිහිපත් කර මෙම සටහන ලියන්නේ ඔහුට දක්වන ගෞරවයක් ලෙස සලකාය.
එදා මා පිටකෝට්ටේ පිහිටි රොනී ලීච්ගේ නිවසට ගියේ ඡායාරූප ශිල්පී චින්තක කුමාරසිංහ සමඟය. අප එනතුරු මඟ බලා සිටි රොනී අපව පිළිගත්තේ ඉතාම සුහදශීලී අයුරිනි.
“එන්න මල්ලි එන්න.... ගේ හොයාගන්න අමාරු වුණාද?” යැයි ඉතාම සුහදශීලීව විමසා සිටියේය.
එය නවීන පන්නයේ නිවෙසකි. එසේම ඉතා පිළිවෙළට සකස් කළ නිවසකි.
“තේ එකක් බීලම කතාව පටන් ගනිමුද?” රොනී අපගෙන් විමසා සිටියේය.
“නැහැ පස්සේ බොමු... ඉස්සර වෙලාම පිංතූර ටික අරගෙන ඉමු.” මම යෝජනා කළෙමි.
විවිධ ඉරියව් යෝජනා කරමින් ඡායාරූප රාශියක් ම ගත්තේ ය. එම ඡායාරූප ගැනීම සඳහා රොනී ලීච් දැක්වූයේ දැඩි සහයෝගයකි. ඡායාරූප ගැනීමෙන් පසු අපි කතා බහ ආරම්භ කළෙමු.
රොනී ලීච් පුංචි කාලේ හැදුණු වැඩුණු ඔහුගේ මහ ගෙදර පිහිටා තිබුණේ දෙහිවල කවුඩාන පාරේය. එම නිවසට තරමක ලොකු ඉඩමක් තිබුණේය. එම ඉඩමේ බොහෝ කජුගස් විය. එම කජුගස් උඩට නැග අහල පහළ ගෙවල් වලට ඇහෙන්න ගීත ගැයීම රොනීගේ පුංචි කාලේ හොඳම විනෝදාංශය විය.
පුංචි කාලේ රොනී ලීච්ට පිස්සු දෙකක් තිබුණේය. එකක් සින්දු කියන එකය. අනෙක රඟපාන එකය. කිසියම් රූපගත කිරීමකට හෝ වෙනත් කටයුත්තකට නළු නිළියන් එක්රැස් වන ස්ථානයක් තිබුණොත් ගෙදරටත් නොකියාම රොනී එතනට ගොස්ය.
‘තට්ටයා’ ලෙස මුළු මහත් සමාජය ම ඉතාම ආදරයෙන් හැඳින්වුවද පුංචි අවදියේදී හෝ තරුණ අවදියේදී රොනීට තට්ටයක් තිබුණේ නැත. තට්ටය ගෑමට පෙර ඔහුට ඉතා ලස්සන කොණ්ඩයක් තිබුණේය. රොනී කලක් ඕමාන්වල රැකියාව කළේය. ජිප්සීස් සංගීත කණ්ඩායම සමඟ රොනීට තිබුණේ ඉතා සමීප සම්බන්ධයකි. විශේෂයෙන් ම පියල් පෙරේරා රොනීගේ සමීපතම මිතුරකු විය. දිනක් සුහද කතාබහක යෙදෙන අතරතුරේ පියල්, රොනීට කීවේ ඉතා සුන්දර ආරංචියකි. “රොනී මගෙ ළඟ හොඳ අලුත් සින්දුවක් තියෙනවා. ඒක ගැළපෙන්නේ ඔයාට. ඔයා ලංකාවට ආවාම ඒක දෙන්නම්” පියල් කීවේය. මාස කීපයකින් ලංකාවට පැමිණි පසුව පියල් රොනීට ගීතය දුන්නේය. එය ‘තට්ටය’ ගැන කියැවෙන ගීතයකි. ‘තට්ටය’ ගැන සිංහල ගීතයක් ඊට පෙර කිසිවකු හෝ ගයා තිබුණේ නැත. ඒ නිසා මේ ගීතය තමන්ට හොද අවස්ථාවක් වනු ඇතැයි රොනී සිතුවේ ය. එහෙත් ගීතය නිසා තට්ටටය ගෑමට සිදුවනු ඇතැයි රොනී සිතුවේ නැත. ගීතය පටිගත විය. එය ඉතා මියුරු නවතාවක් ඇති ගීතයකි. ඒ දිනවල ගීත ගායනා කළේ කැසට් පට වලටය. කැසට් පටයේ කවරය සඳහා ඡායාරූපයක් නැත. හැමදෙනාම යෝජනා කළේ රොනී තට්ටය ගා කැසට් පටයේ කවරයට පෙනී සිටීම වඩාත් සුදුසු බව ය. රොනීට තරු පෙනුණේය. අම්මා තාත්තාගෙන් බැණුම් අහන්න වෙයිද? බිරියගෙන් බැණුම් අහන්න වෙයිද? කියා රොනී දස අතේ කල්පනා කළේය. ඒ වන විට රොනී විවාහ වී ඉතාම කෙටි කාලයකි. කෙසේ හෝ රොනී තට්ටය ගාන්න කැමැති විය.
ඡායාරූප ගන්නා ස්ටුඩියෝ එකට ම බාබර් කෙනකු ගෙන්වා තට්ටය ගෑවේය. ඡායාරූප කීපයක් ම ගත්තේය. ඒ වැඩේ අවසන් ය. එහෙත් රොනීට හිතේ දෙගිඩියාවකි. ඒ ගෙදර යන්නේ කොහොමද කියාය. ඇඳිරි වැටුණු පසු නිවෙසට යන්නට තීරණය කළ රොනී රෑ වී නිවෙසට ගියේ ය. දොර ඇරියේ රොනීගේ බිරිය ය. ඇය එකවර ම බිය වී කෑ ගැසුවේය. “මොකක්ද මේ කරගත්ත වැඩේ” කියා බැණ වැදුණේය. එදා එළිවනතුරු බැණුම් ඇසීමට රොනීට සිදු විය.
ටික දිනකින් ජිප්සීස් කණ්ඩායම සමඟ රොනී ගීත ගායනය ආරම්භ කළේය. ඔහු තට්ටයා ගීතය ගයන විට රසික රසිකාවියන්ගෙන් ලැබුණේ නොසිතූවිරූ ප්රතිචාරයකි. ප්‍රේක්ෂකයින්ට එය අලුත් අත්දැකීමක් විය. තට්ටයක් ගෑ මිනිසකු තට්ටය ගැන ගීත ගැයීම හැමදෙනාට ම අලුත් අත්දැකීමක් විය. එදා පටන් රොනී ලීච් ‘තට්ටයා’ විය. මුළු මහත් සමාජයම ආදරය කරන්නකු බවට පත්විය. කුඩා දරුවන්ගේ පටන් මහල්ලා දක්වා ‘තට්ටයාට’ ආදරය කළේය. ඒ නිසාම දිගට ම තට්ටය ආරක්ෂා කර ගැනීමට රොනීට සිදු විය.
තට්ටය නිසා රොනීට චිත්‍රපට 23 කට අධික සංඛ්‍යාවකට රඟපෑමේ අවස්ථාව උදා විය. එම චරිත බොහොමයක් හාස්‍ය උපදවන චරිත විය. වසර ගණනාවක් සිනමාව, රූපවාහිනිය වැනි මාධ්‍ය හරහා ඔහු මුළු රටක් හිනැස්සුවේය. සෑම දෙනාම සමඟ විහිළු කළේය. එහෙත් කිසිවිටෙකත් ඔහු ජීවිතය විහිළුවක් කර නොගත්තේය. කලාව තුළ ඉතා දිගු ගමනක් ගියේය. තම ප්රතිපත්තීන්, තම ගරුත්වය මනාව ආරක්ෂා කර ගත්තේය. බිරියට ඉතා ආදරණීය සැමියෙක් විය. දරුවනට ඉතා ආදරණීය ගෞරවනීය පියෙක් විය. හමුවන සෑම දෙනාටම ඔහු සුහදශීලී මිතුරෙක් විය. ඔහු මුළු මහත් සමාජයට ම අවංකව ම ආදරය කළේය. පෙරළා සමාජය ම ඔහුට ආදරය කළේ එබැවිනි. ඔහු දැන් අප හැර දමා ගොස් ය. ඔහු දෑස් පියා ගත්තේ ද ඕස්ට්‍රේලියාවේදි සංගීත ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටියදීය.
නිසැකව ම රොනී ලීච් දෙව් මවු තුරුලට යන්නට ඇත. ඒ ඔහු තුළ තිබූ නිහතමානී, ප්‍රතිපත්ති ගරුක ජීවන රටාව නිසාය. එදා ඔහුගේ නිවස්දී චින්තකටත් මටත් තේ දෙකක් ගෙනැවිත් දුන්නේ ඔහුගේ අතිනි. නිවසින් පිටවන විට ඔහු කීවේ “මල්ලි අපි ආයෙ ළඟදීම හමුවෙමු” කියාය. එහෙත් එය යළි කිසි දිනෙක සැබෑවක් වන්නේ නැත. ඒ ඔහු සදහට ම අප හැරදා ගොස් ඇති බැවිනි.
0 Comments