Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවේ අභියෝගයට එංගලන්තය සූදානම්

Author(s): 
ෆවුස් මොහොමඩ්

පුහුණු සැසි කිහිපයකුත්, පුහුණු තරග දෙකකුත් ඇති බැවින් මෙහි දේශගුණයට හුරුවී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන 10 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී සාර්ථක දස්කම් පෙන්නුම් කිරීමට හැකිවනු ඇතැයි එංගලන්ත පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක ලියම් ඩවුසන් විශ්වාසය පළ කරයි.

වත්මන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්තය කණ්ඩායමට මේ තරගාවලියේ දී සිය ස්ථානය තහවුරු කරගැනීමට අවස්ථාව ඇතැයි ද ඔහු කීවේය.

පී.සරවනමුත්තු ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ දහවල් පැවැති පුහුණු සැසියෙන් පසුව සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නා මාධ්‍ය වෙත ‍මේ අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා සංචාරයේදී ආදිල් රෂීඩ් හැරුණු විට එංගලන්ත කණ්ඩායමට ඇතුළත් වී සිටින එකම දඟ පන්දු යවන්නා වීම අතිරේක පීඩනයක් නොවන බව ඔහු පැවැසීය.

‘ශ්‍රී ලංකාවේ තණතීරු දඟ පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍යයි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් වැඩි දෙනෙක් සිටිනවා. එසේ වුවත් පුහුණු තරගවලින් මෙහි දේශගුණයට හුරුවීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා එක්දින තරගාවලියට හොඳ පෙරසූදානමක් ඇතිකර ගත හැකියි.’ ඩවුසන් සඳහන් කළේය.

‘පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වුවත් සිය භූමියේදී සුපුරුදු තණතීරුවේ අපේ කණ්ඩායමට විශාල අභියෝගයක් එල්ල කරාවි. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කිරීමට අසීරු කණ්ඩායමක්. එංගලන්තයට වඩා මෙහි තණතීරු වෙනස්. නමුත් ඉක්මනින් ඊට අනුගතවී එක්දින තරග බිමේ අංක එකේ කණ්ඩායම ලෙස අප ලැබූ කීර්තිය රැක ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.’ ඩවුසන් කියා සිටියේය.

හැම්ෂයර් ප්‍රාන්තයෙන් එංගලන්ත පිලට එක්වූ 28 හැවිරිදි වමත් දඟ පන්දු යවන්නකු වන ලියම් ඩවුසන් වසර 2016 පාකිස්තානයට එරෙහිව කාඩිෆ් නුවර දී එක්දින තරග වරම් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා සංචාරයට එක්වී සිටින්නේ පළමුවරටය.

එංගලන්ත පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පළමු පුහුණු තරගය හෙට (5) සහ දෙවැනි පුහුණු තරගය අනිද්දා (6) සරවනමුත්තු පිටියේදී පැවැත්වෙයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();