Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සූරිට යළි නායකත්වය

ෆවුස් මොහොමඩ්

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ අවසන් අදියර ලෙස මේ මස 13 සහ 14 දෙදින කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන කොළඹ රග්බි සෙවන්ස් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවතත් සුපිරි ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාරට පැවැරීමට රග්බි තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මීට පෙර මේ තරගමාලාවේ පළමු අදියර ලෙස හොංකොං හී පැවැති තරගාවලියේදීත් නායකත්වය දැරූ සූරියබණ්ඩාර නැවතත් නායකත්වයට පත්කර ඇත්තේ නිත්‍ය නායක සුදර්ශන මුතුතන්ත්‍රී ආබාධයකට ලක්වීම හේතුවෙනි. පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලියේ දී ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරූ මුතුතන්ත්‍රී මැණික් කටුවේ ආබාධයක් හේතුවෙන් හොංකොං තරගාවලියට එක්නොවිය. එහෙත් ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියර ලෙස දකුණු කොරියාවේ පැවැති තරගාවලියේදි ඔහු යළි නායකත්වය දරමින් කණ්ඩායමට එක්වීය. එහිදී ඔහුගේ අතෙහි ආබාධය යළි මතුවීම නිසා කොළඹ තරගාවලියෙන් ඉවත්වී සිටී.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවී ඇති අතර ආබාධයකට ලක්ව සිටි ප්‍රබල සෙන්ටර් ක්‍රීඩක ධනුෂ්ක රන්ජන් යළි කණ්ඩායමට එක්වී සිටී. මීට අමතරව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව නැවතත් කණ්ඩායමට එක්වීමට අංක අට ක්‍රීඩක ඕමල්ක ගුණරත්න සමත්වී ඇත. ඔහු කණ්ඩායමට එක්වී ඇත්තේ මුතුතන්ත්‍රී වෙනුවටය.

හොංකොං තරගාවලිය අතරතුර ආබාධවලට ලක්වූ කවිඳු පෙරේරා සහ ගයාන් වීරරත්න ද කොළඹ තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වී සිටිති. මෙවර කණ්ඩායමේ උපනායකත්වය හිමිවී ඇත්තේ මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩකයකු වන දනූෂ දයාන්ටය.

කොළඹ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය. - ශ්‍රීනාත් සූරියබණ්ඩාර (නායක), දනූෂ දයාන් (උපනායක), ධනුෂ්ක රන්ජන්, සුදම් සූරියආරච්චි, කෙවින් ඩික්සන්, ගයාන් වීරරත්න, රීසා රෆායිඩීන්, කවිඳු පෙරේරා, අදීෂ වීරතුංග, නවීන් හේනකංකානම්ගේ, දිනුක් අමරසිංහ, ඕමල්ක ගුණරත්න අතිරේක - බුද්ධිම පියරත්න, රෙහාන් සිල්වා, කවිඳු ද කොස්තා

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();