Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරියානු සිසුවියට මරු කැඳවූ දූෂකයන් කොටු කර දුන් ඩී.එන්.ඒ. සාක්ෂි



මීට අවුරුදු 20කට පෙරය. දිනය වර්ෂ 1998 ඔක්තොම්බර මාසයේ 18 දා උදෑසනය. තේගු නගරය කම්පනයට පත් වී තිබිණි. දකුණු කොරියාවේ ප්‍රකට ගුවා අධිවේගී මාර්ගයේ සැකකටයුතු ලෙස තරුණ දියණියක් අනතුරකට ලක්වී සිටියාය. ඇයගේ සිරුර ටොන් 23 බර භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථයකට යටවී කුඩු පට්ටම් වී තිබිණි.

මේ යොවුන් දියණිය ජෙඔන්ග්ඉයුන් හී නම් වූවාය. ඇය උසස් අධ්‍යාපනය සඳහා තේගු හි කෙයිම්යුන්ග් සරසවියට ඇතුළු වූවා පමණි. පා ගමන් නොයන අධිවේගී මාර්ගයක මහ රෑ අනතුරට ලක්වූ මේ තරුණ දියණිය ගැන කතාව එක පැහැර පැතිර ගියේය.

දකුණු කොරියාවේ සියෝල් අගනුවරට කිලෝමීටර 302 ඊසාන දෙසට වන්නට පිහිටි තේගු නගරය සාමකාමී ආචාරශීලී කොරියානු ජන ජීවිතයේ දීප්තිමත් පිළිබිඹුවකි. ජෙන්ග්ඉයුන් ගේ සැකකටයුතු මරණය ඔවුන්ගේ ජීවිත තිගස්වා තිබිණි. මරණය සිදුවූයේ වර්ෂ 1998 ඔක්තොම්බර් 17 දාය. ඇය එදින සරසවියේ පැවැත්වූ වසන්ත සැණකෙළියට සහභාගී වූවාය. මධුවිතින් සතුටු වූවාය. අනතුරුව මැදියම ඇය සිය නිවස බලා යන්නට පිටත් වූවාය.

කොරියාවේ ඇත්තේ අපේ රටේ මෙන් අඳුර වැටුණු පසු කාන්තාවක් නිවසින් එළියට බැසීම මරණ සහතිකය ලියවාගැනීමක් බඳු අනාරක්ෂිත සමාජයක් නොවේ. ජෙඔන්ග්ඉයුන් දන්නා කොරියානු සමාජය, ඇයගේ මිතුරු මිතුරියන් හඳුනන කොරියානු සමාජය කාන්තාවන්ට අවශ්‍ය රැකවරණය හා ගෞරවය ස්ථාවර කළ තැනකි. එහෙත් ඇය නොදන්නා බිහිසුණුම දේ සිදු වී තිබිණි. 18 වෙනිදා ඇයගේ කුඩුපට්ටම් වූ සිරුරු අධිවේගී මාර්ගයෙන් හමුවිය.

තේගු පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. ඇයගේ ඇඳුම්වල අඩුපාඩුවක් පෙනිණි. අවසානයේ ඇය මියගොස් සිටි තැනට මීටර 30 පමණ එපිටින් ඇයගේ යට ඇඳුම් යුගලක් සොයා ගන්නට පොලිසිය සමත් විය. අධිකරණ වෛද්‍ය විශේෂඥවරු මෙම යට ඇඳුම් පරීක්ෂණයට ලක් කළහ. ඔවුන් සොයා ගන්නේ මේ යට ඇඳුම්වල තැවරී ඇති ශුක්‍ර තරලයක ලකුණුය. පොලිසිය මේ ශුක්‍ර තරලය ආශ්‍රයෙන් ඩී.එන්.ඒ සැලැස්මක් ගොඩ නැංවූයේය. කොරියාව තුළ ඕනෑම අපරාධයකට සම්බන්ධ වන සෑම අපරාධකරුවෙකුගේම ඩී.එන්.ඒ සැලැස්ම ලේඛනගත කළ දත්ත ගබඩාවක් වේ. එහෙත් ජෙඔන්ග්ඉයුන් ගේ යට ඇඳුම්වල තැවරී තිබූ ශුක්‍ර තරලය ආශ්‍රයෙන් ගොඩනැඟූ ඩී.එන්.ඒ සැලැස්ම මේ දත්ත ගබඩාවේ ඇති ඩී.එන්.ඒ සැලැස්ම හා නොගැළපිණි. ඒ අනුව තේගු පොලිසිය පරීක්ෂණ නැවැත්වුවේය. ඇය අධික බීමතින් අධිවේගී මාර්ගයට පැමිණ අසිහියෙන් මෙම ට්‍රක් රථය ඉදිරියට යෑම නිසා මේ අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය නිගමනය කළේය.

එහෙත් මේ තීන්දුව පිළිගන්නට ජෙඔන්ග්ඉයුන් ගේ මවුපියෝ සූදානම් නොවූහ. ඔවුන් විශ්වාස කළේ සිය දියණිය සමූහ දූෂණයකට ලක් කිරීමෙන් අනතුරුව දූෂකයන් ඇයව අධිවේගී මාර්ගයට තල්ලු කර මීටර සීයක් පමණ ඇදගෙන ගොස් මෙම භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථයට යට කර මරා දැමූ බවය. අනතුරුව ඔවුහු සිය දියණියගේ ඝාතනයට සාධාරණයක් ඉටු කරගැනීමේ අරමුණෙන් වෙබ් අඩවියක් විවෘත කළහ. ඒ හරහා පොලිස් පරීක්ෂණ විධිමත් කරගැනීම සඳහා බලපෑම් කෙරිණි.

පුරා වසර 15 ගතවිණි. ජෙඔන්ග්ඉයුන් ගේ මරණය ඒ වන විටත් අබිරහසක්ව පැවතිණි. එහෙත් වර්ෂ 2013 දී මෙම නඩුව යළිත් විවෘත කර විභාගයට ගැනීමට අධිකරණය තීන්දු කළේය. නඩු කටයුත්තට ප්‍රවේශය සැලසෙන්නේ වර්ෂ 2011 දී බාල වයස්කාර දැරියක උපාය මාර්ගයෙන් රවටා ගණිකා වෘත්තියේ යෙදවීමට උත්සාහ කිරීම පිළිබඳ චෝදනාවකට ශ්‍රී ලාංකික පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුය. මේ තැනැත්තාගේ ඩී.එන්.ඒ සැලැස්ම ජෙඔන්ග්ඉයුන් ගේ යට ඇඳුම්වල තැවරී තිබූ ශුක්‍ර තරලයෙන් මතු වන ඩී.එන්.ඒ සැලැස්මට සපුරා සමාන විය. මේ ශ්‍රී ලාංකිකයා ඒ වන විට කොරියානු කාන්තාවක් විවාහ කරගෙන තේගු නගරයේ විදේශිකයන් සඳහා භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසලක් පවත්වාගෙන යමින් සිටියේය.

අපරාධකාර ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට පත්විය. එහෙත් යුක්තිය අපේක්ෂිතයන් විෂයෙහි ඛේදවාචකය නිර්මාණය වන්නේ ඉන් අනතුරුවය. කොරියානු නීතිය ප්‍රකාරව ස්ත්‍රී දූෂණ නඩුවක් සඳහා අපරාධ චෝදනා ගොනු කළ යුත්තේ අපරාධය සිදුවී වසර 10 ක් තුළය. අපරාධකරුවා නිසැක ලෙස කොටු වන විට එම කාල සීමාව ඉක්ම ගොස් තිබිණි. එහෙත් අපරාධකරුවාට එරෙහිව සමූහ දූෂණය හා කොල්ලකෑමේ චෝදනාව මත නඩු පවරනු ලැබිණි. සාක්ෂිකරුවන් කියා සිටියේ සිද්ධියෙන් පසු ඔහුගේ සහායකයන් ජෙඔන්ග්ඉයුන් ගේ පොත් සහ ශිෂ්‍ය හැඳුනුම්පත සොරකම් කළ බව අසන්නට ලැබුණ බවය.

වර්ෂ 2013 දී මේ ශ්‍රී ලාංකිකයාට එරෙහිව තේගු අධිකරණය විසින් නඩු පවරනු ලැබීය. එහෙත් ස්ත්‍රී දූෂණය සම්බන්ධව නඩුව ඉදිරියට පවත්වාගැනීමට හැකි නෛතික පරිසරයක් නොවිණි. ඒ වන විට සිද්ධිය වී වසර 10 කාල සීමාව ඉක්මවා තිබිණි. එමෙන්ම කොල්ලකෑමේ චෝදනාව සඳහා ගොනුවී තිබූ සාක්ෂිවල පරස්පරයන් හා අඩුපාඩු පදනම් කරගනිමින්, චෝදනාව විශ්වාසනීයව තහවුරු නොකළ බව පවසා තේගු අධිකරණය 2017 ජූලි මස 18 වැනි අඟහරුවාදා මේ පුද්ගලයා නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

ඒ වන විට ඔහු 51 වැනි වියේ පසු විය. අධිකරණ තීන්දුව ලැබෙන විට ඔහු බාල වයස්කාර දැරියට ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවට වරදකරු වී වසර තුනක පරිවාස කාලයකට යටත්ව වසර එක හමාරක් සිරදඬුවම් විඳ තිබිණි. අනතුරුව වර්ෂ 2017 දී මේ පුද්ගලයාව කොරියාවෙන් යළිත් ලංකාවට පිටුවහල් කිරීමට කොරියානු රජය කටයුතු කළේය.

සමූහ දූෂණයට තවත් ශ්‍රී ලාංකික පුද්ගලයන් තිදෙනෙකු සම්බන්ධ බව පරීක්ෂණ වලදී හෙළි වී තිබිණි. අපරාධය සම්බන්ධව මේ පුද්ගලයන්ගේ ඩී.එන්.ඒ සාධක තහවුරු වූයේය. එහෙත් වර්ෂ 2001 දී හා 2005 දී මේ පුද්ගලයන් දෙදෙනාත් ලංකාවට පැමිණ තිබිණි. අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනාම කොරියාවට පැමිණ තිබුණේ ආධුනික කාර්මිකන් ශිල්පීන් ලෙසය.

ලංකා අධිකරණයෙන් යුක්තිය ඇයදීම

මේ නින්දිත අපරාධය පිළිබඳව නිශ්චි ත අපරාධකරුවන් හඳුනා ගන්නා ඩී.එන්.ඒ සාක්ෂි තහවුරු කරගෙනය. එහෙත් කොරියානු රජය තුළ ඔවුන් අරභයා නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැත්තේ අපරාධය සිදුවී වසර 20 ගත වී ඇති නිසාය.

එහෙත් දැනට ලංකාවේ සිටින ස්ත්‍රී දූෂකයන් සම්බන්ධයෙන් ලංකාවේ නීතිය ප්‍රකාරව කටයුතු කරන්නට හැකි දැයි මරා දැමු සිසුවියගේ සොහොයුරාගේ ඉල්ලීම ප්‍රකාරව කොරියානු රජය කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ලංකා රජය විමසුවේය. අනතුරුව මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලීම සඳහා කොරියානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් ඉකුත් මැයි මස 30 වැනදා මෙරටට පැමිණියහ. අනතුරුව ඔවුහු නීතිපතිවරයාත්, අධිකරණ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීනුත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් සමග විශේෂ සාකච්ඡා වටයක් පැවැත්වූහ. අනතුරුව කොරියාවට ගිය ඔවුහු සිද්ධිය පිළිබඳ පරික්ෂණ ආරම්භ කරන ලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක් කළහ. ඒ පසුගිය අගෝස්තු 28 වැනිදාය.

මේ ඉල්ලීමත් සමඟ ජාත්‍යාන්තර පොලිසියේ හා කොරියානු රජයේ මැදිහත්වීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කොරියාවට ගොස් අපරාධ ස්ථානය පරීක්ෂා කළහ. අපරාධය සම්බන්ධව ගොනුවන තොරතුරු සහිතව පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව අධිකරණයට දන්වා සිටියේය.

එහෙත් මේ ආකාරයේ අත්දැකීමක් මෙතෙක් ලංකාවේ අධිකරණයට නොවිණි. අපරාධය සිදුවී ඇත්තේ පිට රටකය. රටේ අධිකරණ බලසීමාවෙන් පිටතය. රටේ අධිකරණ පද්ධතිය තුළ මේ නඩුව පවත්වාගත හැකිද යන්න නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සඳහා නඩුව පසුගිය 17 දා තෙක් කල් තැබිණි.

17 දා නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ නිතීපතිවරයා කියා සිටියේ මෙවැනි ආකාරයේ වැරදි අපරාධමය වැරැද්දක් සේ සලකා දැනුම්දීම මත ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 2 උපවගන්තිය 2 යටතේ ඕනෑම ශ්‍රී ලාංකිකයෙක් විසින් මෙරටින් බාහිරව සිදු කරන වැරදි සඳහා අධිකරණ කටයුතු ක්‍රියාත්මක කළ හැකි බවය.

අනතුරුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවේ ජාත්‍යාන්තර ඒකකයට නියෝගයක් නිකුත් කළේ කොරියාවේ සේවයට ගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු මීට 20 වසරකට පෙර සිදු කළ සමූහ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධ විද්‍යාත්මක ඩීඑන්ඒ සාක්ෂි සනාථ වීම නිසා දැනට ලංකාවේ සිටින ඔවුන් සොයා විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙසය. නඩු විභාගය ඔක්තොම්බර් 5 දා සිකුරාදාට කල් ගයේය.

එහෙත් සිකුරාදා (5) නඩු විභාගය ආරම්භ කරමින් කොටුම මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ප්‍රකාශ කර සිටියේ පූර්ණ වශයෙන් මෙරටින් බැහැරව සිදුකළ අපරාධයක් සම්බන්ධයෙන් නියෝග ලබාදීමට බලයක් නැති බවය. රහස් පොලිසිය කළ ඉල්ලීම අවිධිමත් බවත්, ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමත් අවිධිමත් බවත් කීවාය. සිද්ධියට අදාල විමර්ශන පවත්වා ප්‍රගතිය වාර්තා කිරීමට දින ලබා දෙන ලෙසටත්, සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් ආගමන විගමන පාලකවරයාට දන්වා යවන ලෙසටත් රහස් පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

ජෙඔන්ග්ඉයුන් පුදුමාකාර තරම් අවාසනාවන්තය. ඇය දූෂණය විය. දූෂණයෙන් අනතුරුව මරා දැමුවාය. විද්‍යාත්මක සාක්ෂිවලින් මිනීමරුවෝ හඳුනාගෙන සිටිති. එහෙත් ඒ පව්කාරයන්ට දඬුවම් කරන්නට නීතියේ ප්‍රතිපාදන මදිය. ඒ පව්කාරයන්ට දඬුවම්දීම භාර සොබාදහමටය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();