කාන්තා නීතීඥවරියන්, අධිකරණ පරිශ්‍රය තුළ ඇඳිය යුතු ඇඳුම පිළිබඳ සංශෝධන ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය සිකුරාදා නිකුත් කර ඇත.
ඒ අනුව දණහිස් මට්ටමට පහළ සුදු, කළු, අලු හෝ රත්නිල් පැහැති ගවුම සහ කළු කබාය මෙන්ම වළලුකර දක්වා දිගු කළු කලිසම සහ කලිසමට යට කරන ලද කොළරය හා උස් කර සහිත අත්දිග සුදු කමිසය සහ කළු ලෝගුව කාන්තා නීතීඥවරියන් සඳහා වලංගු වේ.
මෙම නිල ඇඳුම වෙනස් කිරීමේ යෝජනාව පසුගිය වසරේ මුල් වරට ගෙන ආවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා විසින් අගවිනිසුරු ප්රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත කරන ලද ඉල්ලීමක් අනුව ය. නමුත් එහි ගවොම යෝග්‍ය ඇඳුමක් ලෙස යෝජනා වී තිබී නැත.
කෙසේ නමුත් පසුගිය වසරේ මෙයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ නැත. පසුගිය සිකුරාදා නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව ‘‘විනිසුරුවරුන් සහ නීතීඥවරියන්ගේ නිල ඇඳුම පිළිබඳ 2018 ශ්‍රේෂ්ඨාධිකරණ රීති මාලාවේ 7 වන රීතිය ඉවත්කර පහත දැක්වෙන නව රීතිය ආදේශ කර තිබේ. එහි දැක්වෙන්නේ,
‘‘කාන්තා නීතිඥවරියන් පහත සඳහන් ඇඳුමකින් සැරසී සිටිය යුතු ය.
සුදු, කළු, අලු හෝ රත්නිල් පැහැති සාරිය සහ හැට්ටය හෝ දණහිස් මට්ටමට පහළ සුදු, කළු, අලු හෝ රත්නිල් පැහැති ගවුම, හෝ කළු කබාය සහ වළලුකර දක්වා දිගු කළු කලිසම සහ කලිසමට යට කරන ලද කොළරය හා උස් කර සහිත අත්දිග සුදු කමිසය සහ කළු ලෝගුව
ගර්භනී ඇඳුම, සුදු අත්දිග කමිසය සමඟ දණහිස් මට්ටමට පහළ උස් කර සහිත කළු ගවුම සහ කළු කබාය හෝ කළු ලෝගුව සමඟ ඉහත දක්වා ඇති නිවැරදි වර්ණයෙන් හෙබි සාරිය සහ හැට්ටය වේ.”
යනුවෙනි.
The post නීතීඥවරියන් අධිකරණයේදී කලිසම් සහ ගවුම් ඇඳීම අනුමත වෙයි. appeared first on Lanka News Column.
0 Comments