Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තියරි නෙවෙයි රටට ඕනෙ ප්‍රැක්ටිකල් මිනිස්සු - චන්න විජේසේකර / සභාපති - Leema Creations

මොකක්ද Leema අර්ථය...
නම දුන්නෙ අහුබුදු මහත්තයා. “හොඳ සිංහල නමක් වෙන්න ඕනේ. බැලුවම ඉංග්‍රීසි පන්නෙට පේන්නත් ඕනේ...” මගේ මේ අවශ්‍යතාව කිව්වම, එතුමා ගණ පිහිටුවලා හදලා දීපු නම තමයි Leema. අර්ථය, ‘මනා වූ ලී’.
ඔබ ව්‍යාපාර කරන්නෙ ජ්‍යොතිෂයට අනුව හැඩයි...
අපොයි නැහැ‍. නම හැදුණේ අහුබුදු මහත්තයගෙ කැමැත්තට බව ඇත්ත. ඒ වුණාට මං ෆැක්ටරිය හදද්දිවත් වෙලාවක් බැලුවෙ නැහැ. ඒබ්‍රහම් ටී. කොවුර් කියන යථාර්ථවාදී බව පමණයි මං විශ්වාස කරන්නේ. අපි කරන කියන දේ පමණයි අපි වටා කැරකෙන්නේ. එහෙම නැතුව පස්වලටයි ගස්වලටයි ග්‍රහයන්ටයි මිනිස්සු අරභයා කරන්න පුළුවන් දෙයක් නැහැ. මිනිස්සු මිථ්‍යාව එක්ක ජීවත් වෙන්න ගියොත් කවදාවත් සාර්ථක වෙන්න බැහැ.
මොනවද මෑතකදී කළ ව්‍යාපෘති...
London Stock Exchange එකේ කොළඹ කාර්යාලය නිම කළා.‍ ඒක මිලියන 95 ක ව්‍යාපෘතියක්. ඒ වගේ ම, මිලියන 45ක නවම් මාවතේ IFC ප්‍රොජෙක්ට් එක, මිලියන 54ක එයාර්පෝට් එකේ ඩියුටි ෆ්‍රී සාප්පුව, මිලියන 53ක බම්බලපිටිය පීපල්ස් ලීසිං කාර්යාලය, මිලියන 38ක ඌව වෙල්ලස්ස යුනිවර්සිටිය.... එහෙම නිම කළ ව්‍යාපෘති කිහිපයක්. ඒ වගේ ම, රුපියල් මිලියන 270ක වටිනාකම ඇති තවත් ව්‍යාපෘති පහක් මේ දිනවල නිම වෙමින් පවතිනවා. අපේ පහුගිය අවුරුද්දේ Turnover එක ‍රුපියල් මිලියන 550 ක්.
ඔය තරම් ලොකු ආදායමක් තිබෙනවා නම්, ඇයි වැඩිය ප්‍රදර්ශනාගාර නැත්තේ...
අපිව හොයාගෙන එන්නෙ අවශ්‍ය කෙනා. ‍ෂෝරූම් දාලා ඩිසයින් පරණ වෙන තරමට ෆර්නිචර් ගොඩගහලා නෙවෙයි අපි බඩු විකුණන්නේ. අපි වැඩිපුරම කරන්නෙ On line පර්චසින්. අපේ වෙබ් අඩවියට ගියොත් ෆේස් බුක් පිටුවට ගියොත් කරපු වැඩ ඕනෙ තරම් දකින්න පුළුවන්. ඒ තැන්වලට යන්න පුළුවන්. ඊට අමතරව පාරිභෝගිකයාට ඔෆිස් පුටු සහ ෆර්නිචර් දැක බලාගන්න අවශ්‍ය නම් අපේ ෂෝරූම් දෙකට යන්නත් පුළුවන්.
මොන තරම් පිරිසකට ඔබ රස්සා හැදුවද...
වඩු කාර්මිකයො, ඩිසයිනර්ස්ලා, ලී ඉරන අය, ෆිනිෂින් සහ ඇලුමිනියම් වැඩ කරන අය ඔක්කොම දෙසිය ගණනක්. එයිනුත් තිස් දෙනෙක් විතර වඩු කර්මාන්තයේ යෙදිලා ඉන්න කාන්තාවෝ. දොම්පෙ අවට ගම්වල ගැහැනු උදවිය Leema ෆැක්ටරියෙ පොලිෂ් වැඩ කරනවා. වැලි කඩදාසි අල්ලනවා. ලී කෑලි ඉරනවා. කපනවා. එසෙම්බල් කරනවා. සාමාන්‍යයෙන් මැෂින්වල ලී වැඩ කරන්නෙ පිරිමි උදවියනේ. නමුත් මේ කාන්තාවෝ බොහොම සීරු මාරුවට පරිස්සමට නියමෙට ඒ වැඩේ කරනවා. ගෙදර සැමියාගෙන් හයියක් නැතිකමට ආපු සමහර කාන්තාවො අද වඩු කර්මාන්තයේ ප්‍රවීණයන් තරමට දක්ෂයි. හුඟක් අය දරුවො ඉන්න අම්මලා. එවැනි පවුල්වලට හයියක් වෙන්න ලැබුණු එක මටත් සතුටක්.
ඔබ ජීවිතය ප්ලෑන් කරන කෙනෙක්ද...
මං නිට්ටඹුවෙ කුලියට ගත්තු ඉඩමෙ ෆැක්ට‍රියෙන් හම්බ කරපු සල්ලිවලින් 2006 දී මටම කියලා දොම්පෙන් අක්කර එක හමාරක් ගත්තා. මිලියන දහයක ලෝන් එකක් අරන් බිල්ඩිම ගැහුවා. යන්ත්‍ර සූත්‍ර ගත්තා. හම්බ කරන දේ ආයෝජනය කළේ ව්‍යාපාරයටමයි. ටිකෙන් ටික අවට ඉඩම් අරන් අක්කර දෙකක් දක්වා ෆැක්ටරිය විශාල කළා. හැමදේම සැලසුම් කළ නිසා තමයි පුංචියට පටන් අරන්, ඉහළට ආවේ.
දැව කර්මාන්තයේ අද ‘ලීමා’ ඉන්නෙ කොහොම තැනකද...
Small, Medium, Large Category පහු කරලා දැන් අපි ඉන්නෙ Extra Large කැටගරියේ. ගිය අවුරුද්දේ Turnover එක මිලියන 550 යි. හැම කාලෙම සියයට තිහක වර්ධන වේගයක් පවත්වාගෙන යනවා.
අපිට දැන් තියෙන වැඩ ඕනෑවටත් වඩා වැඩියි. ලී බඩු ‍ක්ෂේත්‍රයේ මොන තරම් දැවැන්තයො හිටියත් කවදාවත් තරගයක් නැහැ. මොකද අපේ ක්‍රමය වෙනස්. අපේ වැඩ වෙනස්.
ලී කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් මොනවද ඔබ කර තිබෙන්නේ...
ලී වැඩ උගන්වන රාජ්‍ය හෝ පුද්ගලික ආයතන රැසක පුහුණුකරුවන් වෙත දැනුම ලබා දුන් කෙනෙක් මම. ලී වැඩ කර්මාන්තකරුවන්ගේ සංගමයේ (WBIA) සභාපති ලෙස අපේ කර්මාන්තය වෙනුවෙන් මැදිහත් වෙනවා. කර්මාන්ත අමාත්‍යාංශයේ විවිධ අංශ 17 ක් යටතේ තිබෙන ලී වැඩ උපදේශන කමිටුවේ සභාපතිවරයා ලෙසත් වෘත්තීය පුහුණු උපදේශකයකු ලෙසත්, NSBM එකේ ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලා සහ පුහුණුකරුවන් පුහුණු කිරීමයි මගෙන් වැඩිපුර සිදුවන්නේ. අදටත් මං කැමැතිම දේ උගන්වන එක. මගේම බිස්නස් එකක් තිබුණත් ලී වැඩ කර්මාන්තයේ නියැළෙන ඕනෑම ආයතනයකට මගේ දැනුම දෙන්න මං කැමැතියි.
ලී බඩු ව්‍යාපාරයකට අතගහන්න මොකක්ද ඔබට තිබූ පසුබිම...
මගේ තාත්තා විදුහල්පති වුණාට, ගමේ මිනිස්සු තාත්තව ආමන්ත්‍රණය කළේ ‘පෙට්ටි මඩුවෙ ලොකු ඉස්කෝලෙ මහත්තයා’ නමින්. ඒ කියන්නෙ, ‍තාත්ත‍ගෙ තාත්තට තිබුණා‍.. සුද්දන්ට තේ පෙට්ටි හදපු විශාල කර්මාන්තයක්. සීයගෙ තේ පෙට්ටි ව්‍යාපාරය ජයට කෙරුණට මගේ තාත්තගෙ හිත ගියේ ගුරුකමට. දරුවො නව දෙනෙක් හිටපු පවුලේ අට දෙනෙක්ම මිය ගිහින් ඉතිරි වුණේ මගෙ තාත්තා විතරයි. ඉතින් තාත්තත් ගුරුකමට ගියාම සීයගෙ ව්‍යාපාරය අත් හැරුණා. මගෙ සීයව මං දැකලවත් නැති වුණාට ඒ හුරුව ජානවල තියෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි, ලී කර්මාන්තයේ න්‍යායික හා ප්‍රායෝගික දෙස් - විදෙස් දැනුම ප්‍රමාණවත් ලෙස ලබපු කෙනෙක් මං.
එතකොට ඔබ ඉගෙන ගත්තෙ...
මුලින්ම මාකඳුර මහා විද්‍යාලයේ. ඒක තාත්තා උගන්වපු ඉස්කෝලෙ නිසා තාත්ත මාව අවුරුදු 3 ½න් ඉස්කෝලෙ දැම්මා. ඊළඟට ගියේ ගාල්ලේ රිච්මන්ඩ්. උසස් පෙළ ලිවුවෙ කොළඹ නාලන්දේ. රිච්මන්ඩ් එකේ ඉන්න කාලෙ හයේ සහ නවයෙ පන්තිවලදී, දක්ෂම ශිෂ්‍යයාට හිමි ‘පන්ති ත්‍යාග’ දිනාගත්තෙ මං‍. හැබැයි දහයෙ පන්තිය වෙනකොට උපරිම නිදහස භුක්ති වින්දා. සති‍යට චිත්‍රපට 3ක් බැලුවා. අධ්‍යාපනයට වැඩිය ‍ෙකරුවෙ බාහිර දේ. අන්තිමේ සයන්ස් කරන්න ප්‍රතිඵල මදි. මට දෙපාරක් ඕ ලෙවල් කරන්න වුණා.
මොනවද ඔය තරමට කළ බාහිර වැඩ....
කැඩෙටින් කළා. කෑම්ප් ගියා. මල්ලව පොර කණ්ඩායමේ නායකයා. සාහිත්‍ය සංගමයේ ලේකම් හැටියටත් බොහොම වැඩ තිබුණා. සිංහල විවාද කණ්ඩායමේ නායකයා. ඉංග්‍රීසි විවාද කණ්ඩායමේ සාමාජිකයෙක්. බෞද්ධ සංගමයේත් එහෙමයි. ඊට අමතරව පාසල් වේදිකාවෙ රඟපෑවා. වරක්, පාසලේ නාට්‍ය තරගයක් තෝරපු ටෝනි රණසිංහයන් හොඳම නළුවා විදිහට තේරුවෙ මාව. නාලන්දෙදිත් විවාද කණ්ඩායමට තේරුණා. සෝමලතා සුබසිංහ මහත්මිය එක්ක පාසල් නාට්‍ය කළා. ඔය සේරමත් කරලා, 1973 මොරටුව යුනිවර්සිටියේ සිවිල් ඉංජිනේරු සහ තාක්ෂණය පිළිබඳ අවුරුදු 03 ක ජාතික ඩිප්ලෝමාව කළා. ඔය කාලෙ වෙනකොට මං ‘තිලක හා තිලකා’ ‘නිවෙන ගින්න’ කියන චිත්‍රපට දෙකෙත් රඟපාලා.
සයන්ස් කරලා කොහොමද, මොරටු විශ්වවිද්‍යාලයට ගියේ...
බයෝ කරන්න ගත්තට මොකද, අවුරුද්දක් යද්දී මට ඒ සත්තු කැපිල්ල එපා වුණා. ඊළඟ අවුරුද්දේ මං මැත්ස්වලට ගියා. ආපහු මුල ඉඳල පටන් ගත්තා. හොඳම දේ, මේ සේරම කරගන්න වෙන ළමයෙක් ඉන්නවට වඩා වැඩි කාලයක් මට ඉස්කෝල ජීවිතේ ඉන්න පුළුවන් වුණා. උසස් පෙළ පන්තිවලම අවුරුදු හතර හමාරක් විතර. එහෙම වුණේ, අවුරුදු තුන හමාරෙන් ඉස්කෝලෙ ගිය නිසා.
ළමයෙක් හැටියට අරපිරිමැස්ම... දරා ගැනීම අත්විඳ තිබෙනවාද...
මං උසස් පෙළ කරද්දි තාත්තා ලෙඩ වෙලා. බෝඩිං ෆීස් ගෙවාගෙන ළමයි පස් දෙනෙකුට ලොකු ඉස්කෝලවල උගන්වන එක අම්මට ලේසි වුණේ නැහැ. අම්මා ගමේ ඉඩකඩම් විකුණලා අපිවත් අරන් කොළඹ ආවා. මං නාලන්දෙදි තාත්තා නැති වුණා. අම්මට කරදර කරන්න මට හිත දුන්නේ නැහැ. මම ටියුෂන් දෙන්න ගත්තා. විවාද කණ්ඩායමේ හිටි නිසා නිතර ගෑනු ළමයින්ගෙ ඉස්කෝලවලට ගියා. ඒ ළමයි අතරෙ මට ආකර්ෂණයක් තිබුණා. ඒ ගොල්ලො මගෙන් ඉගෙන ගත්තා. ගුරුවරයෙකු ගේ පඩිය රුපියල් 200 කාලයේ මං එක ගැහැනු ළමයකුට ගෙදරට ගිහින් ටියුෂන් දීලා රු. 75 ක් හෙව්වා.
එතකොට ඔබේ අරමුණු...
එක්කො මං නළුවෙක් වෙනවා. නැත්නම් දේශපාලකයෙක් වෙනවා. නළුවෙක් වෙනවා නම් ටෝනි වගේ වෙන්න ඕනෙ. නැත්නම් ගාමිණී වගේ, විජය වගේ. දේශපාලකයෙක් වෙනවා නම්, ඇන්. ඇන්. පෙර්රා... පීටර් කෙනමන් වගේ. මේ තමයි මගේ ඔළුවෙ පෙරැළි කළ චරිත. අන්තිමේ ඔය හීන දෙකම අතෑරලා, යුනිවර්සිටි ඩිප්ලෝමාව ඉවර වුණු ගමන් වෙන රස්සාවකට ගියා.
මොකක්ද ඔබේ පළමු රස්සාව...
කන්තලේ සීනි සංයුක්ත මණ්ඩලයේ, වාරිමාර්ග සහකාර නිලධාරි. රජය උක් වගාව මහා පරිමාණයෙන් ව්‍යාප්ත කරමින් සිටි කාලයක් ඒක. උක් වගාවට අවශ්‍ය ජලය ගේන අලුත් ඇළ මාර්ගවලට අවශ්‍ය ලෙවල් දෙන එකයි, මට පැවරුණු රාජකාරිය. ඒ නිසා අපි වැඩි හරියක් හිටියේ මහ කැ‍ලේ. අවුරුදු තුනක් මං ඒ රස්සාවෙ හිටියා. දුෂ්කර ජීවිතයක් වුණාට ඒ අත්දැකීමට මං අදත් කැමැතියි.
ඒ රස්සාව අත්හැරියෙ ව්‍යාපාර කරන්නද...
නැහැ. 1978 අග, ආධුනිකත්ව පරීක්ෂකවරයෙක් හැටියට ජාතික ආධුනිකත්ව මණ්ඩලයෙ රස්සාවක් ලැබුණු නිසා. සිවිල් ඉංජිනේරු විෂයට අදාළ මේසන්, කාපෙන්ටර්, ප්ලම්බර්, ඉලෙක්ට්‍රීෂියන් වගේ වෘත්තීන් සඳහා වෘත්තිකයන් බිහි කිරීම, ඔවුන්ගේ විෂය නිර්දේශ සැකසීම තමයි මගෙ රාජකාරිය වුණේ. කාර්යාලය තිබුණෙ වැල්ලවත්තේ‍. 1980 දී ජර්මන් ආධාර ඇතිව කටුබැද්දේ ජාතික ආධුනිකත්ව අභ්‍යාස ආයතනය හදනකොට එතැනට අංශ ප්‍රධානියෙක් අවශ්‍ය වුණා. මට ඒ අවස්ථාව ලැබුණා. ඊළඟට, 1981 – 83 දක්වා ජර්මනියේ අවුරුදු දෙකක පුහුණුවකට ජර්මන් රජය ශිෂ්‍යත්වයකුත් දුන්නා. බර්ලින් නුවර තාක්ෂණික විද්‍යාලවල සහ කර්මාන්ත ආයතනවල තිබූ ඒ පුහුණුව ඉතාම විශිෂ්ට එකක්. මං ඒ සියලු දැනුම ලබාගත්තා. ආපහු ඇවිත් ලී වැඩ අංශය භාර කථිකාචාර්යවරයා විදියට වැඩ බාර ගත්තා.
ඇයි ඔබ ලී වැඩම තෝරා ගත්තෙ...
විදුලි, සිවිල් ඉංජිනේරු සහ ලී වැඩ කියන අංශ තුනටම ප්‍රධානීන් තුන් දෙනෙක් මේ පුහුණුවට ජර්මන් ගියා. මං ලී වැඩ තෝරා ගත්තෙ දුර දිග හිතලා.
‘ මේ ෆීල්ඩ් එක ඉගෙන ගත්තු අය අඩුයි. අඩුම තරගෙ තියෙන්නෙත් මේ ෆීල්ඩ් එකේ. යම් දවසක මගේම කර්මාන්ත‍යක් පටන් ගන්නවා නම්, මේක තමයි දැනුම ලබා ගන්න තියෙන හොඳම අවස්ථාව. මං ඉතා හොඳින් ඒ අවස්ථාවට මුහුණ දුන්නා. ආපහු ඇවිත් ලී වැඩ කර්මාන්තයට අදාළ පොත් දෙකකුත් ලිව්වා. ලංකා ඉංජිනේරු ආයතනයේ ප්‍රධානී වික්‍රමසූරිය මහත්මයාගේ ඉල්ලීමට පෞද්ගලික අංශයට සහ ව්‍යාපාරවලට උපදේශන සේවා දෙන්න පටන් ගත්තා. මොන තරම් ලී වැඩ කළත් හරි තාක්ෂණ භාවිතයක් ලංකාවේ නොතිබුණ නිසා මගේ උපදේශනවලට හොඳ ඉල්ලුමක් හැදුණා. දේශකයෙක්, ගුරුවරයෙක් විදිහට ක්ෂේත්‍රයේ හොඳ නමක් ගොඩ නැඟුණා. ඊළඟට අභ්‍යාස ආයතනයේ වැඩ බලන විදුහල්පති වුණා. අවුරුදු 20 ක් මං රාජ්‍ය සේවයේ වැඩ කළා.
සියල්ල ලැබුණේ ජර්මන් තාක්ෂණය උගත් නිසා ද...
මං එහෙමම කියන්නේ නැහැ. රිච්මන්ඩ් විදුහලේ අපට ඉ‍ගැන්නුවේ ද්විභාෂික ගුරුවරු. ලී වැඩ ඉගැන්වූ සිරිසේන මාස්ටර් පවා එහෙමයි. වර්ක් ෂොප් එකේ ලී කපමින් ඔප දමමින් ජොයින්ට් ගහන හැටි පවා ප්‍රායෝගිකවයි අපට කියා දුන්නේ. ලී වැඩ විතරක් නෙවෙයි, මැටි වැඩ - ලෝහ වැඩ... කොයිකත් එහෙමයි‍. එතුමා දමපු ඒ පදනම තමයි කර්මාන්ත සහ නව නිපැයුම් ගැන අප තුළ ආසාවක් ඇති කළේ. දෙපාරක් ම ලබපු ජර්මන් පුහුණුවෙන් ඒවා තව තවත් ඔප වුණා.
දෙවැනි වතාවටත් ඔබට ජර්මනියට යන්න ලැබුණද...
දෙවැනි වතාවට මං ගියේ ජර්මනියෙන් පිරිනමපු ඔවුන්ගෙ පශ්චාත් උපාධියට සමාන, ‘ඩිප්ලෝමා ඉන් එඩියුකේෂන් ඇන්ඩ් ඇඩ්මිනිස්ට්‍රේෂන්’ පාඨමාලාව හදාරන්න. ඒක, ලන්ඩාවු විශ්ව විද්‍යාලයේ හාරමාසයක පාඨමාලාවක්. ඒ ඉන්න ගමන් මං ජර්මන් ඕ ලෙවල් විභාගෙත් කළා. මැනිලාවෙදි සහ තායිලන්තයේදීත් එවැනිම වෘත්තීය පුහුණු කාර්මික සහ ව්‍යාපාර පාඨමාලා හදාරන්න මට අවස්ථාව ලැබුණා. මැනිලාවෙදි විවිධ වර්ගයේ කර්මාන්ත ශාලා එකසිය ගණනකට මං ගියා.
රාජ්‍ය සේවයෙන් ඉවත් වෙලා මොකද කළේ...
කණ්ඩලම හෝටලය එහෙම හදලා නමක් දිනා සිටි, ලින්ක් ඉංජිනියරින් සමාගමේ වුඩ් වර්ක් ෆැක්ට්‍රි මැනේජර් හැටියට ගියා. ඊට පස්සෙ තවත් කොම්පැනි දෙක තුනක වැඩ කළා.
එතකොට Leema බිහිවෙන්නේ...
ඔය සේරම දේ වෙලා, රස්සාව අතෑරලා ගෙදර එද්දී මගේ බැංකු පොතේ තිබුණේ රුපියල් ලක්ෂ හයයි. ‘දැන් තමයි හොඳම වෙලාව...’ මං තීරණයකට ආවා. නිට්ටඹුවේ වැහිලා ගිය පොඩි හස්ත කර්මාන්ත ගොඩනැගිල්ලක් කුලියට ගත්තා. මදි පාඩුව හිතවත් දෙතුන් දෙනෙකුගෙන් ඉල්ලා ගත්තා. පොඩි මැෂින් දෙකයි, එක වඩුවයි, එක සේවකයයි‍. 2000 අවුරුද්දෙ අපි වැඩ පටන්ගත්තා. රුපියල් 35000 කට ෆැන්ට්‍රි කබඩ් එකක් හැදුවා. ටික ටික වැඩ ආවා. මමත් වැඩ කළා. දහස් ගණන්වලින් ලක්ෂ ගණන්වලට ගියා. ඒවා මිලියන් ගණන් වුණා. අද අපේ හැම ව්‍යාපෘතියක්ම මිලියන ගණන් වටිනා ඒවා.
සේවකයන් ගැන කොහොම හිතන හාම්පුතෙක්ද...
මගෙ සේවකයො දියුණුවෙලා ඉන්නවා දකින්න කැමැතියි. හොරකමක් කළාය කියලා දුප්පත් සේවකයෙක් පොලිසියට යවලා ගස්සන හාම්පුතෙක් නෙවෙයි මම. මගෙ තාත්තගෙ අම්මගෙ හොඳ ගතිගුණ පිහිටපු එක ගැන මං අදත් ආඩම්බරයි. මගේ මාමත් මගේ ජීවිතයට සාධනීයව බලපෑ ‘රෝල් මොඩල්’ කෙනෙක්.
Leema පවුලේ ව්‍යාපාරයක් ද...
ඔව්. මට ඉන්නෙ දූයි පුතයි. දුව ශකුල්යා. කැනඩාවෙ පදිංචිය. පුතා ශමික තමයි බිස්නස් එකේ ඉන්නේ, වැඩිපුර බර අදින්නෙ. මං වැඩි කාලය ගතකරන්නෙ ෆැක්ටරි එකේ; ප්‍රඩක්ට් ඩිවලොප් කරන්න. දැන් මට වයස 67 යි‍. මුනුපුරු මිනිපිරියො පස් දෙනෙකුගේ සීයා කෙනෙක් මං.
ඔබේ බිරියත් ව්‍යාපාරවලට සම්බන්ධයිද...
විශ්‍රාම යනකල්ම ඈ ගුරුවෘත්තියේ යෙදුණා. මං නාලන්දේ විවාද කණ්ඩායමේ ඉදිද්දී හඳුනාගත්, මියුසියස් විදුහලේ විවාද කණ්ඩායමේ නායිකාව ඇය. ‍මං ඇයට ප්‍රේම කළා. විවාහ කරගත්තා. මගෙ දරුවන්ට අම්මා වෙලා මට බිරිය වෙලා ලබපු සතුට තරම්ම ඈ ජීවිතය වින්දේ, ගුරු වෘත්තියෙන්. ඒ නිසා ඇය බිස්නස්වලට ආවේ නෑ.
ඔබේ ජීවිතයෙන් කෙනෙකුට ගන්න තිබෙන හොඳම දේ කුමක්ද?
වස්තුව දේපළ මොන තරම් ලැබුණත් මොනතරම් ඉහළට ගියත් උඩඟු වෙන්න එපා. මිනිස්සු ආදරය කරන මිනිහෙක් වෙන්න. උත්සාහයෙන් මහන්සියෙන් ලබපු දියුණුවට ආශිර්වාදයක් වෙන්නේ, මිනිසුන්ගේ ආදරය පමණයි. ඒ වගේම, මං තියරි මිනිහෙක් නෙවෙයි. හොඳ ප්‍රැක්ටිකල් මිනිහෙක්. මේ සමාජෙට අවශ්‍ය ප්‍රැක්ටිකල් මිනිස්සු විතරයි.
ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප - විමල් කරුණාතිලක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();