ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තනාය සහ ඉන්දියාව අතර සුපිරි හතර වටයෙන් ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පෙරේදා පැවැති තරගය ලකුණු සම වීමෙන් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
ඇෆ්ගනිස්තාන සහ ඉන්දියාව අතර පැවැති දෙවැනි ජාත්‍යන්තර එක්දින තරගය මෙයයි. දෙපිල අතර 2014 වසරේ පළමු එක්දින තරගය පවත්වා ඇති අතර ඉන් ඉන්දියාවට කඩුලු 8ක පහසු ජයක් අත්වී තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය කඩුලු 8ක් දැවී ලකුණු 252ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ඉන්දියාවට ඕවර 49.5කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 252ක් පමණි.
කෙසේ වෙතත් මේ තරගයට පෙරම ඉන්දියාව මේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබිණි.
ඉන්දීය පළමු කඩුල්ලට ලකුණු 110ක සාර්ථක සබඳතාවක් ලබාදීමට ලෝකේෂ් රාහුල් සහ අම්බති රයිදු සමත්වූවද සෙසු පිතිකරුවන් අසාර්ථක වීමෙන් ජයග්‍රහණය අහිමිවී ගියේය.
රාහුල් පන්දු 66කින් ලකුණු 60ක් රැස්කළේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගිනි. පන්දු 49කට මුහුණදුන් රයිදු හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 57ක් ඉනිමට එක් කළේය.
දිනේෂ් කාර්තික් පන්දු 66කින් ලකුණු 44ක් ඉනිමට එක්කළ අතර නායකයා ලෙස කටයුතු කළ මහේන්ද්‍ර සිං දෝනිට ලබාගත හැකිවුයේ ලකුණු 8ක් පමණි. දෝනි ඉන්දීය පිලට නායකත්වය ලබාදුන් 200 වැනි එක්දින තරගය මෙය වීමද විශේෂත්වයකි.
ඉනිමේ අවසන් ඕවරයේදී ඉන්දියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 7ක් අවශ්‍යව තිබු අතර රවින්ද්‍ර ජඩේජා හා කලීල් අහමඩ්ට එක්කර ගත හැකිවූයේ ලකුණු 6ක් පමණි.
පන්දු යැවීමේදී රෂීඩ් ඛාන්, මොහොමඩ් නබී සහ අෆ්ටාබ් අලාම් කඩුලු 2 බැගින් දවා ගත්හ.
පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් මොහොමඩ් ශේෂාඩ් හුදෙකලා සටනක නිරත වෙමින් ලකුණු 124ක් රැස් කිරීමට සමත් විය.
ඔහු, ජාවිඩ් අහමදි සමග පළමු කඩුල්ලට ලකුණු 65ක් එක්කළද ඉන් ජාවිඩ් රැස්කළ තිබුණේ ලකුණු 5ක් පමණි.
ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 82ක් තුළ බිඳ වැටී තිබියදී ශේෂාඩ් 5 වැනි කඩුල්ලට ගුල්බඩීන් නයිබ් සමගින් ලකුණු 50ක්ද, මොහොමඩ් නබි සමගින් 6 වැනි කඩුල්ලට ලකුණු 48ක්ද එක්කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 180 දක්වා ඉදිරියට ගෙන ගියේය. 6 වැනි කඩුල්ල ලෙස ශේෂාඩ් දැවී යනවිට පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 11කින් සහ හයේ පහර 7කින් ඉනිම සරසාගෙන තිබිණි. එය ශේෂාඩ්ගේ 5 වැනි ජාත්‍යන්තර එක්දින ශතකය වන අතර ටෙස්ට් තත්ත්වය හිමි රටකට එරෙහිව වාර්තා කළ දෙවැනි ශතකයයි. ඔහු ලකුණු 131ක් වන වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව සිම්බාබ්වේ පිලට එරෙහිව රැස්කර තිබේ.
ගුල්බඩීන් ලකුණු 15ක් රැස්කළ අතර ශේෂාඩ් දැවී යෑමත් සමග පිතිප්රහාරය වේගවත් කළ නබි පන්දු 56කින් ලකුණු 64ක් ඉනිමට එක් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක්ද සමගිනි.
පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3ක් සහ කුල්දීප් යාදව් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුහ.
ඇෆ්ගනිස්තානය - 252/8 (ඕවර 50) මොහොමඩ් ශේෂාඩ් 124, මොහොමඩ් නබී 64 (රවින්ද්‍ර ජඩේජා 46/3, කුල්දීප් යාදව් 38/2)
ඉන්දියාව - 252 (ඕවර 49.5) ලෝකේෂ් රාහුල් 60, අම්බටි රයිඩු 57, දිනේෂ් කාර්තික් 44 (රෂීඩ් ඛාන් 41/2, මොහොමඩ් නබී 40/2, අෆ්ටාබ් අලාම් 53/2)
0 Comments