Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියාවේ ක්‍රිකට් සැණකෙළිය හෙට ඇරැඹේ

 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පමණක් දෙවැනි, ආසියාවේ ක්‍රිකට් අභිමානය ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කරන ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වෙයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හා අබුඩාබි ෂෙයික් ෂියේඩ ක්‍රීඩාංගණයේදී දිවා - රාත්‍රී තරග ලෙස මේ මස 28වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර හෙට (15) ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භවේ.

ජගත් ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ ආසියා කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ හොංකොං මේ තරගාවලියට එක්වේ.

ආසියානු කුසලානය හය වතාවක් ඉන්දියාව දිනා ඇති අතර තුන් වතාවක් අවසන් තරගයේදී පරාජයට පත්වී අනු ශූරයන් විය. ශ්‍රී ලංකාව පස් වතාවක් ආසියානු කුසලානය දිනාගත් අතර හය වතාවකදී අවසන් තරගයේදී පරාජයට පත්ව දෙවැනියා විය. පාකිස්තානය ශූරතාව දෙවරක් ඉසිලූ අතර දෙවරක් අවසන් තරගයේදී පරාජයට පත්ව තිබේ. බංග්ලාදේශය තවමත් ආසියානු කුසලානය සිය රටට රැගෙන යෑමට සමත්ව නොමැති වුවද අවසන් මහා තරගයට දෙවරක් සුදුසුකම් ලබා පරාජයට පත්විය.

ආසියානු ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු බිඳ හෙලීමේ වාර්තාව හා වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්තාව ශ්‍රී ලංකාව සතුව තිබේ. මුත්තයියා මුරලිදරන් තරග 24කදී කඩුලු 30ක් හා සනත් ජයසූරිය තරග 25කදී ලකුණු 1220ක් රැස් කිරීම එම වාර්තා දෙක වේ. තරගයක හොඳම පන්දු යැවීම 2008දී අජන්ත මෙන්ඩිස් ලකුණු 13කට කඩුලු 6ක් ලෙස වාර්තා පොතේ සටහන් කොට ඇත.

මෙවර ශ්‍රී ලංකා පිල ඇන්ජලෝ මැතිව්ස් මෙහෙවන අතර ඇඟිල්ලේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් දිනේෂ් චන්දිමාල් සංචාරයට එක් නොවේ. කලකට පසු ලසිත් මාලිංග ආසියානු ක්‍රිකට් තරගාවලියට එක්වන අතර ඔහු මේ තරගාවලි ඉතිහාසයේ තරග 3කදී කඩුලු 5ට වැඩියෙන් බිඳහෙලූ ක්‍රීඩකයකු ලෙස දස්කම් දක්වා ඇත. ඔහු තරග 12කදී කඩුලු 24ක් බිඳ හෙලු පන්දු යවන්නෙකි. නවකයන් රැසක් එක්වන ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ශක්තිමත් කණ්ඩායමක් ලෙස හැඳින්වේ. ආරම්භක පිතිකරු උපුල් තරංග හා තිසර පෙරේරා එක්දින තරගවලදී විශේෂිත ක්‍රීඩකයන් බවට පත්ව ඇත.

ඇන්ජලෝ මැතිව්ස්, අමිල අපෝන්සු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, කුසල් පෙරේරා, තිසර පෙරේරා, කසුන් රජිත, දසුන් ෂානක, ධනංජය ද සිල්වා හා උපුල් තරංග කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();