ව්‍යාපාරික කටයුතු සඳහා භාවිතයට ගන්නා රථවාහන හැර වෙනත් රථවාහන මෙරටට ආනයනය කිරීමේදී ණයවර ලිපි නිකුත් කිරීම සඳහා වාණිජ බැංකුවල තැන්පත් කළ යුතු මුදල 100% විය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝග කර තිබේ.
වාහන ගෙන්වීමේදී වත්මන් රජය විසින් ලබාදුන් සහන හේතුවෙන් පසුගිය කාලය තුළ දහස් ගණනින් වාහන මෙරටට ගෙන්වා තිබේ. එසේ වාහන ගෙන්වීම යම් පමණකින් සීමා කිරීම ඉහත නියෝගයේ අරමුණ වී ඇති බව පැවසේ.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වේගයෙන් පහළ වැටෙමින් ඇති බව පසුගිය කාලයක් පුරාවට ම පෙනෙන්නට තිබූ කරුණකි. 1977 වසරේ පටන් ම නොයෙකුත් පරිමාණයන්ගෙන් සිදුව ඇති එය ආර්ථිකයේ කඩා වැටීමක් නොව සාමාන්‍ය කරුණක් බව ද සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඊයේ දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනූම් මිල රුපියල් 165.08ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 168.63ක් ලෙසත් සටහන් වී තිබිණි.
මෙවන් වටපිටාවක් තුළ මෙරට විදෙස් සංචිත විදේශයන්ට ඇදීයාම අවම කිරීම සඳහා පියවර ගත යුතුව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු සංචිත වෙළඳපොළට මුදාහරිමින් රුපියල ස්ථාවර කළ හැකි වුව ද එය කිසිසේත් දූරදර්ශී ක්‍රියාමාර්ගයක් නොවේ. පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ මෙය දිගින් දිගට ම ක්රියාවේ නැඟුණු අතර ඉන් ලැබුණු විසඳුමක් නැත.
එනිසා මෙවන් අවස්ථාවක කළ යුතු වන්නේ, ශ්‍රී ලංකාව සතු ඩොලර් ප්‍රමාණය විදේශයන්ට ඇදීයාම අවම කිරීම සඳහා ආනයනය හැකිතාක් පාලනය කිරීම හෝ ශ්‍රී ලංකාව තුළට ඩොලර් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා අපනයනය වැඩි කිරීම, විදෙස් ආයෝජන ඉහළ නැංවීම, සංචාරක ආදායම් ඉහළ නංවා ගැනීම, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඉහළ නැංවීමට කටයුතු කිරීම වැනි ක්‍රියාමාර්ග සඳහා යොමු වීමය.
ඉහත දෙවනුව දක්වා ඇති ක්‍රියාමාර්ග දිගු කාලීන සැලසුම් අනුව ක්‍රියාත්මක කළ යුතු ඒවා මිස ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි ඒවා නොවේ. එහෙයින් වහාම කළ හැක්කේ ආනයන හැකිතාක් පාලනය කිරීමයි. වාහන ආනයනය සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත්තේ ඒ අනුව පැවසේ.
The post වාහන ගෙන්වීම සීමා කිරීමට මහ බැංකුවෙන් තීරණයක්. appeared first on Lanka News Column.
0 Comments