ඇතැම් පුද්ගලයේ ඇත්ත අතිසැටියෙන් දැකීමට බිය වෙති. එලෙස බිය වන්නේ බොරුව හා හොරකම ජානගත ලක්ෂණයක් සහ පරම්පරාවෙන් එන රෝගයක් බවට පත්කර ගත්තවුන්ය. ඔවුහු මේ රෝගය බොහෝ දුරට තවකෙකුට බෝකිරීමටත් උත්සාහ දරති. නමුත් ඔවුන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ‘බොරුව’ සමාජය විසින් පිළිගන්නා තෙක් පමණි.
මේ කතාව කියන්නට සිදුවූයේ අන් කිසිවක් නිසා නොව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පසුගිය දිනෙක රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් නිසාය. මහින්ද රාජපක්ෂ පසුගිය දා ප්‍රකාශ කළේ රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන රජයේ නාළිකා මිනිසුන්ගේ චරිත ඝාතනය කරන්නට සැරසෙනවා නම් එය නුදුසුදු කටයුත්තක් බවයි.
මහින්ද රාජපක්ෂ ගේ මේ ප්‍රකාශය 100 % ක්ම නිවැරදිය. ජනතා බදු මුදලින් නඩත්තුවන මාධ්‍ය ආයතන පුද්ලගයින්ගේ චරිත ඝාතනය කරන්නට යොදාගන්නවා නම් එය දැඩි ලෙසම හෙළා දැකිය යුතු කාර්යයකි. නමුත් මේ ප්‍රකාශය මහින්ද රාජපක්ෂ විසින් සිය නිවසේ ඇති මුහුණ බලන කන්නාඩියක් ඉදිරිපිටට ගොස් ප්‍රකාශ කළා නම් ඉතා අගනේය. මන්ද ඒ ප්‍රකාශය වඩාත්ම උචිත වන්නේ වත්මන් පාලනයට වඩා 2015 ජනවාරි 08 වැනිදා ජනතාව විසින් එළවා දැමූ රාජපක්ෂ පාලනයට වීමයි.
එදා ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට, හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට එදා රාජ්‍ය මාධ්‍ය සැලකූ අකාරය අමතක වීමේ රෝගයකට ගොදුරු නොවූ ඕනෑම අයෙකුට තවමත් හොඳින් මතකය. එසේම යුද ජයග්‍රහණ සැමරුම් වලින් හිතාමතාම සරත් ෆොන්සේකා ඉවතට දැමූ හැටි අපට අමතක නැත. එසේම මහනුවර දළදා මාළිගාව වටා නයිට් රේස් පදිද්දී ඒවා සාධාරණීකරනය කළ ආකාරය තවමත් අපට මතකය. පාළු ගේ වළං බිඳින දේශපාලන සාකච්ඡා වෙනුවෙන් තම දේශපාලන එහෙයියන් යොදාගත් ආකාරය කිසිවෙකුට අමතක නැත.
තමන්ගේ පුතා, ගැසට් පත්‍ර පවා වෙනස් කරමින් නාවික හමුදාවට බැඳුණු විට එය විහාර මහා දේවිය මුහුදට බිළිවූවා සේ කැපකිරීමක් සිදු කළ අයුරු පෙන්වමින් රජගුණ වැයූ ආකාරය අපට අමතක නැත. පුද්ගලික මාධ්‍ය ආයතන වෙත ලැබුණු වෙළෙඳ දැන්වීම් නවත්වා ඒ නාළිකා තම මතය වෙනුවෙන් යොදවා ගන්නට කටයුතු කළ ආකාරය ගැන මතකයට එද්දී කියන්නට ඇත්තේ දන්නෝ දනිති කියාම පමණි. එසේම මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට රාජපක්ෂ පාලනයෙන් සැලකූ ආකාරය අපට අමතක ද නැත.
නමුත් මහින්ද රාජපක්ෂ විසින් සිදුකරනු ලබන මෙම ප්‍රකාශ වලින් පැහැදිලි වන්නේ ඔහුට එක්කෝ අමතක වීමේ රෝගය වැළඳී ඇති බවය. එසේත් නැත්නම් තමා ඒ අතීතය හිතාමතා අමතක කරනු ලැබුවා සේම, ජනතාවටත් ඒවා අමතක වනු ඇතැයි මහින්ද රාජපක්ෂ සිතාගෙන සිටින බවය. එය සත්‍යයක් නම් මහින්ද රාජපක්ෂ වරද්දා ගන්නා තවත් තැනක් ලෙස එය ඉතිහාසගත වනු ඇත.
ඒ අතීතය අමතක කරමින් මහින්ද රාජපක්ෂ ඇඟිල්ල දිගු කරන්නේ වත්මන් රජයටය. ඇත්තෙන්ම කීවොත් අද රාජ්‍ය මාධ්‍ය එදා මෙන් මජර අයුරින් යොදවන්නට වත්මන් රජය කටයුතු කරන්නේ නැත. නමුත් ඇත්ත ඇති සැටියෙන් වාර්තා කරන බව නම් කිව යුතුමය. ඒ ඇත්ත ඇති සැටියෙන් හෙළි කිරීම රාජපක්ෂ මහතා ඇතුළු ගෝලයන් රොත්තට ගැටලුවක් වී ඇත්නම් කියන්නට තිබෙන්නේ සමාවුව මැනව කියා පමණි.
මන්ද මිග් යානා ගනුදෙනුව, සිරිලිය ගිණුම, මහින්දානන්දලාගේ ආදායම්, විමල්ලාගේ ආදායම්, සිල් රෙදි සිදුවීම, සීයයට දහයේ කොමිස්, චීනයෙන් මුදල් ලබා ගැනීම, මල්වානේ ඉඩම, ඩේසි ආච්චිගේ මැණික් මල්ල, CSN නාළිකාව, එතනෝල් ජාවාරම්, හෙල්පින් හම්බන්තොට, හෙජින් වංචාව, ලසන්ත, තාජුඩීන් ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම, වැලිකඩ ඝාතන, ලලිත් කූගන් අතුරුදන් කිරීම්, රතුපපස්වල වෙඩි තැබීම, රොෂේන් චානකට වෙඩි තැබීම, හලාවත ධීවර උද්ඝෝෂණයට වෙඩි තැබීම, සේවක අර්ථසාධක අරමුදල අවභාවිතය කිරීම, කොටස් වෙළඳපොළ වංචා, ලංගමට අයවිය යුතු මුදල් නොගෙවීම වැනි දුරාචාර ගැන ජනතාව දැනගත යුතු බැවිනි. ඒවා ජනතාවට නිරාවරණය කිරීම මඩ ගැසීමක් යැයි රාජපක්ෂලා සිතනවා නම් ඒ ගැන කියන්නට ඇත්තේ අඳෝමැයි කියා පමණි.
පවුලේ පෝෂණය වෙනුවෙන් පමණක් කටයුතු කරමින් රාජ්‍ය මාධ්‍ය නාළිකා රාජපක්ෂවාහිනී බවට පත් කරමින් සමාජ වගකීම් පවා අමතක කරමින් සියල්ල මිලිටරිකරණයට යට කරමින් පවුලේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් කටයුතු කළ රාජපක්ෂලා අද කරන ප්‍රකාශ ගැන කොටින්ම අප කලබල විය යුතු නැත. ඒ අවලංගු කාසිවලින් තවදුරටත් ගනුදෙනු කළ නොහැකි නිසාය.
– දිලංක ගුණතිලක
The post අදත් පිටපත බ්ලා බ්ලා බ්ලා.. appeared first on Lanka News Column.
0 Comments