මාහාචාර්යවරයෙකු හා මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙස පෙනී සිටිමින් ජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ පුද්ගලයෙකු පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
1993 වර්ෂයේ සිට මෙම පුද්ගලයා ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය ලෙස සංවිධානයක් පිහිටුවා ගනිමින් මේ වංචාව සිදුකර ඇතැයිද මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සමාජයේ ප්‍රභූ පුද්ගලයින්ට උපහාර, ගෞරව සම්මාන පුදකිරීම හා අචාර්ය හා මහාචාර්ය ගෞරව උපාධි පිරිනැමීම මෙම ආයතනය මඟින් සිදුකර ඇතැයිද සඳහන් වේ.
එමෙන්ම මෙම සැකකරු තමන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සම්බන්ධ බවටද ප්‍රචාරය කරමින් රාජ්‍ය ලාංඡනයද අවභාවිත කර ඇතැයිද පැවසේ. ඔහුගේ ආයතනය මඟින් මුලින්ම පුත්තලම දිස්ත්‍රික්කයේ දේශපාලකයන් පිරිසකට, මාධ්‍යවේදීන් පිරිසකට හා රාජ්‍ය නිලධාරීන්ට උපහාර සම්මාන ලබා දී ඇතැයිද සඳහන් වේ.
මේ ජාවාරම සිදුකිරීමේදී එක උපහාර සම්මානයක් ලබාදීම සඳහා රුපියල් විසි දහසේ සිට රුපියල් ලක්ෂ දහය දක්වා මුදලක් ලබාගෙන ඇති බවද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇතැයිද එමෙන්ම උපහාර සම්මාන ලබාදෙන බව පවසමින් මුදල් එකතු කර එම අවස්ථාවන් අවලංගු කළ අවස්ථාවන්ද ඇති බව සඳහන් වේ.
මෙම ජාවාරම්කරු විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රදේශය සඳහා බඳවා ගත් සාමාජිකයින් දෙදෙනෙකුගෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත වසරකට ආසන්න කාලයක් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයිද වැඩිදුරටත් සඳහන් වේ.
The post හොර උපාධි විකුණා මුදල් වංචා කළ මහාචාර්යවරයා හසුවේ. appeared first on Lanka News Column.
0 Comments