Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අටවැනි දිනයේදී කාලිංග අටවැනි තැනට

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර
ජානක ප්‍රසාද් විමලසිරි ,කාලිංග කුමාර

දුර පැන්න ජානක පදක්කමට ළං නොවේ

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැත්වෙන 18වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ අටවැනි දිනයේදී ග්ලොරා බන් කර්නෝ ක්‍රීඩාගණයේ ඊයේ පැවැති පිරිමි මීටර් 400 අවසන් තරගයෙන් කාලිංග කුමාරගේ 8 වැනි ස්ථානයට පත්විය. ඔහු තරගය නිම කිරීමට තත්පර 46.249ක කාලයක් වාර්තා කළේය.

එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට කටාර් හී හසන් අබ්දිල්ලා (44.59) දිනාගත් අතර රිදී පදක්කම ඉන්දියාවේ මොහොමඩ් අනාස්ටත් ලෝකඩ පදක්කම බහරේන්හී කාමිස් අලිටත් හිමිවිය.

පෙරේදා මීටර් 400 ඉසව්වේ දෙවැනි අවසන් පූර්ව තරගයට එක්වූ කාලිංග කුමාරගේ තරගය නිමා කළේ තෙවැනියා ලෙසිනි. එහෙත් සමස්ත තරගේ ක්‍රීඩකයන් අතර 8 වැනියා ලෙසින් ඔහුට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිවිය. ඔහු එම ඉසව්වේ මූලික වටයේ පළමු තරගයට එක්වෙමින් තෙවැනියා ලෙසින් තරගය නිමා කළේ තත්පර 45.99ක කාලයක් වාර්තා කරමිනි. එය ඔහුගේ හොඳම පෞද්ගලික කාලය ලෙසද සටහන් විය.

මේ ඉසව්වේ පස්වැනි මූලික වටයේ තරගයට එක්වූ අරුණ දර්ශන පළමු වැන්නා ලෙස තත්පර 46.97කින් තරගය නිමා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. එහි පළමු අවසන් පූර්ව තරගයට එක්වූ අරුණ තෙවැනියා ලෙසින් තත්පර 46.53කිනි තරගය නිමාකළද සමස්ත සටහනේ ඔහුට හිමිවූයේ 10 වැනි ස්ථානයයි.

දුර පැනීමේ අවසන් තරගයට එක්වූ ජානක ප්‍රසාද් විමලසිරි මීටර් 7.86ක දක්ෂාවක් දැක්වුවද ක්‍රීඩකයන් 12 දෙනකු අතරේ ඔහුට හිමිවූයේ 7වැනි ස්ථානයයි. එම ඉසව්වේ රන් හා රිදී පදක්කම් චීනය දිනාගත් අතර ලෝකඩ පදක්කම ඉන්දුනීසියාව සතුවිය.

මේ අතර මීටර් 10000 කාන්තා ඉසව්වේ අවසන් තරගයට එක්වූ හිරුණි විජේරත්න තරගය අතරතුර ඉවත් වූවාය. එම ඉසවවේ රන් පදක්කම විනාඩි 32:07.23 තරගය නිම කළ කසකස්තානයේ ඩාරියා මාස්ලෝවා දිනාගත් අතර රිදී පදක්කම බහරේනයේ ඉයුනික් චුම්බා (වි.32:11.12)ටත්, ලෝකඩ පදක්කම චීනයේ දේසුන් සංග් (වි.32:12.78) හිමිවූහ.

මලල ක්‍රීඩා ඉසව්වලින් නිමාලි ලියනාරච්චි, ගයන්තිකා අබේරත්න සහ ඉඳුනිල් හේරත් මී.800 ඉසව්වලින් අද තරග බිමට පිවිසීමට නියමිතය. එහි කාන්තා මූලික වටයේ තරග ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව.8.30 සහ 8.50ට පැවැත්වෙන අතර පිරිමි තරගය පස්වරු 6.35ට පැවැත්වෙයි.

අද තරගයට එක්වන නිමාලි පැවැසුවේ මෙය තමාගේ පළමු ආසියානු ක්‍රීඩා උළෙල බවත් තමාට පදක්කමක් දිනා ගැනීමට හොඳ අවස්ථාවක් ඇති බවය.

‘මේ මගේ පළමු ආසියානු ක්‍රීඩා උළෙල. 2014 මාව මේ ක්‍රීඩා උළෙලට එක්කර ගත්තේ නැහැ. මට අවස්ථාවක් තියෙනවා පදක්කමක් දිනන්න. 2107 වසරේ ආසියානු ක්‍රීඩා ශූරතාවලියේදී මට රන් පදක්කමක් දිනන්න හැකිවුණා. මේ ක්‍රීඩා උළෙලෙදිත් ඒ අය එක්කමයි තරග කරන්න තියෙන්නේ.’ යැයි පැවැසූ නිමාලි තමාගේ පුහුණුකරු මේ අවස්ථාවේ නොමැති වීම විශාල අඩුවක් වුවත් ආසියානු පදක්කමක් දිනා ගැනීම ඔහුගේ බලාපොරොත්තුව බැවින් මෙවර එය ඉටු කිරිම තම අරමුණ බවත් පැවැසීය.

මාස 7ක කාලයක් කෙන්යාවේ පුහුණුව ලබා මේ තරගාවලියට එක්වු ඉඳුනිල් හේරත් අප සමග පැවැසුවේ හොඳ තරගයක නිරත වෙමින් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාදීම තම බලාපොරොත්තුව බවයි.

‘මම කේනායවේ මාස 7ක පුහුණුවක් ලැබුවා. ඉතිං පුහුණු අතින් හොඳ තත්ත්වයක ඉන්නවා. රට වෙනුවෙන් පදක්කමක් දිනා ගැනීම තමයි බලාපොරොත්තුව. විනාඩි 1:47.6කින් තමයි මම ලංකාවෙන් කේනායවේ පුහුණුවට ගියේ. මම එනකොට මගේ පුහුණුකරු කිව්වේ මම 1:45ක පමණ කාලයක ඉන්නවා කියලා.’ ඉඳුනිල් පැවැසීය.

ඔහුට වඩාත් තර්ජනයක් වන ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනාට සහ කටාර් ක්‍රීඩකයාට හොඳ තරගයක් ලබාදෙමින් පදක්කමක් දිනා ගැනීම තම බලාපොරත්තුව බවද ඔහු පැවැසීය.

මීටර් 3000 බාධක ඉසව්වට එක්වන නිමාලි රත්නායක පැවැසුවේ මේ තරගයේ 9.37ක කාලයක් වාර්තා කිරීම තම ප්‍රධාන අරමුණ බවයි.

‘මම ජාතික ශූරතාවලිය 9.46 කලයක් වාර්තා කළා. මෙහිදී ඊට වැඩි දෙයක් කරන්නයි බලාපොරොත්තුව. මම පුහුණුවෙන්නේ බොරලන්ද ප්‍රදේශයේ මෙහෙ දේශගුණයේ වෙනසෙක් තියෙනවා. ඒත් ඒක අමතර කරලා තරග කරනවා. ඉන්දියාවේ ඔලිම්පික් ක්‍රීඩිකාව සහ බහෙරේන් ක්‍රීඩිකාවට තරගයක් දීලා රට වෙනුවෙන් යම් දෙයක් කරන්න උත්සහ කරනවා. මගේ ප්‍රධාන ඉලක්කය 9.37කින් තරගය නිම කරන එක’ යැයි නිලානි පැවැසීය.

බැඩ්මින්ටන් ඉසව්වේ පිරිමි යුගල තරගයට එක්වූ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක හිටපු ලෝක ශූරයන් වන චීනයේ ලි ජුන්හුයි සහ ලියු යුචෙන් හමුවේ වට 2-0කින් පරාජයට පත්විය. ලකුණු තත්ත්වය වූයේ 21/12ක් සහ 21/15කි.

සචින්-බුවනෙක පෙරේදා පැවැති 16 දෙනාගේ වටයේදී පාකිස්තානයේ රිස්වාන් අසාම් සහ සුල්හිරි අලී වට 2-0කින් (21/12 සහ 21//13) පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත්වූහ.

16 දෙනාගේ කාන්තා කේවල වටයට එක්වූ කවිඳි ඉෂාදිකා තායිලන්තයේ නිච්චන් ජින්ඩාපෝල් හමුවේ වට 2-0කින් (21/4 සහ 21/14) පරාජයට පත්වූ අතර පිරිමි කේවල ඉසව්වේදී දිනූක කරුණාරත්න -හොංකොංහී ඇන්ගස් ලෝන් හමුවේ වට 21/6කි සහ 21/14කින් (වට 2-0) පරාජයට පත්විය.

ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ඊයේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වූයේ සත්කාරක ඉන්දුනීසියාවට එරෙහිව ගෝල් 3-1කිනි. ශ්‍රී ලංකා කණ්ඩායම අද ඉන්දියාව සමගින් මූලික වටයේ අවසන් තරගයට එක්වෙයි.

බොක්සිං ඉසව්වේ ඉෂාන් රංජීව සෙනෙවිරත්න කි.ග්‍රෑ52 බර පන්තියෙන් තායිලන්තයේ යුට්ටාපොන්ග් ටොන්ඩී සමගින් පැවැති තරගයේ නීති විරෝධි ක්‍රීඩා විලාශය හේතුවෙන් තායිලන්ත ක්‍රීඩකයාට ජය හිමිවිය. පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කම්ලාභී අනුෂා කොඩිතුවක්කු ඊයේ රාත්‍රියේ තරග වැදීමට නියමිතව තිබිණි.

පෙරේදා පැවැති බොක්සිං තරගවලදී 49 කිලෝග්‍රෑම් බර පන්තියේ මූලික වටයෙන් තරග වැදුණු තිවංක සඳරුවන් රණසිංහ සත්කාරක ඉන්දුනීසියාවේ මාරියෝ කලී 5-0කින් පරාජයට පත්වූ අතර කි.ග්‍රෑ 64 ලයිට් වෙල්ටර් බර පන්තියෙන් තරග කළ දිනිඳු සපරමාදුට තරගයෙන් ඉවත් වීමට සිදුවූයේ නීතිවිරෝධි ක්‍රීඩා විලාශය හේතුවෙනි. කිලෝග්‍රෑම් 60 සැහැල්ලු බර පන්තියේ මූලික වටයේ තරගයේදී දුලාංජලී ධර්මතිලක වට 5-0කින් පරාජය කිරීමට ටජිකිස්තානයේම ෂෝරා සුල්කේනාරෝවා සමත් වූවාය.

බස්කට්බෝල් (3x3) කාන්තා පිල ඊයේ කොරියාව සමග පැවැති තරගයෙන් ලකුණු 21-8ක් ලෙස පරාජයට පත්වුවද සිරියාව සමග පැවැති තරගය ලකුණු 15-12කින් ජය ගැනීමට සමත් විය. කෙසේ වෙතත් තරග 3කින් 2ක් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කාන්තා පිලට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් පිල මූලික වටයේ අවසන් තරගයේදී ප්‍රබල චීන කණ්ඩායම හමුවේ වට 3-1කින් පරාජයට පත්විය.

වොලිබෝල් ඉසව්වේ 13-20 අතර ස්ථාන වෙන්කර ගැනීමේ සටනට එක්වු ශ්‍රී ලංකා පිල ඊයේ මාලදිවයින වට 3-1කින් පරාජය කිරීමට සමත් විය. ඔවුන් මේ 30 වැනිදා 13-16ත් අතර ස්ථාන තේරීමේ අවසන් පූර්ව තරගයට එක්වීමට නියමිතය.

කරාටේ කි.ග්‍රෑ 60 බර පන්තියේ අවසන් 16 දෙනාගේ වටයෙන් තරග කළ ප්‍රසංග සඳරුවන් ඇෆ්ගනිස්තානයේ ලකුණු 4-2කින් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. එහිදී මැලේසියාවේ ප්‍රේම් කුමාර් සෙල්වම් සමගින් තරග වැදුණු ප්‍රසංග ලකුණු 3-1කින් පරාජයට පත්විය.

කිලෝග්‍රෑම් 67 බර පන්තියෙන් තරග වැදුණු අකීරෝ ලොකුගේ ජපානයේ හිරෝටෝ ශිනෝහාරා ලකුණු 6-2කින් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටය පිවිසි අතර එහිදී කසකස්තානයේ ඩිඩාර් අමිර්ලි හමුවේ ලකුණු 10-0කින් පරාජයට පත්විය. අනතුරුව ලෝකඩ පදක්කම සඳහා වන සුදුසුකම් ලැබීමේ තරගයෙන් එමීර් රාජ්‍යයේ අහමඩ් අල්හදරාමි හමුවේ ලකුණු 5-1කින් පරාජයට පත්විය.

තාරිකා සමන්මලී ජෝර්දානයේ හුදා ජබෙර් සමගින් තරග වැදුණු අතර ඉන් හුදාට ලකුණු 8-0කින් පරාජයට පත්විය.

පෙරේදා ශ්‍රී ලංකා කණ්ඩායමේ කරාටේ ඉසව් ආරම්භ කරමින් පිරිමි කාතා අංශයෙන් නියෝන් තරිඳු කොරියාවේ හීජුන් පාර්ක්සමගින් තරග කළ අතර එහිදි තරිඳුට ලකුණු 5-0කින් පරාජයක් අත්විය.

කිලෝග්‍රෑම් 84 බර පන්තියෙන් කවිඳු ජයකොඩි සහ කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් දිනුෂා කුමාරි අද තරග වැදීමට නියමිතය.

මේ අතර ආසියාවේ වේගවත්ම කෙටිදුර ධාවකයා තේරීමේ මීටර් 100 ඉසව්වේ අවසන් තරගය ඊයේ රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

තරගාවලියේ 8 වැනි දිනය වනවිට පදක්කම් සටනේ පෙරමුණ ගැනීමට චීනය සමත්ව ඇති අතර දෙවැනි ස්ථානය ජපානයටත්, තෙවැනි ස්ථානය කොරියාවටත් හිමිව තිබේ. ඉරානය සහ සත්කාරක ඉන්දුනීසියාව පිළිවෙළින් සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවෙයි. රටවල් 45ක් එක්වන තරගාලියේදී රටවල් 34ක් මේ වනවිට කුමන හෝ පදක්කම් දිනා ඇති අතර ශ්‍රී ලංකාව සමගින් රටවල් 11ක් පදක්කම් දිනා නැත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();