විස්සයි 20 ඉතිහාසයේ අඩුම ලකුණු
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති එකම විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු තුනක ජයක් හිමි වෙයි. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ ඊයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව ඕවර් 16.4කදී ලකුණු 98කට දැවී ගිය අතර ශ්‍රී ලංකාව පන්දු 24ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී ලකුණු 99ක් වාර්තා කළේය.
තරග තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් තරග 6කට පසුව මේ තරගයට එක්වී පන්දු 33කදී හයේ පහරක් හා හතරේ 3ක් සමග නොදැවී ලකුණු 36ක් ලබා ජයග්‍රහණයට ප්‍රබල දායකත්වයක් සැපයූ අතර ඉසුරු උදාන නොදැවී ලකුණු 5ක් ලබා සිටියේය.
දඟ පන්දු යවන්නන්ට පහරදීමේදී දුර්වල බව යළි යළිත් ඔප්පු කළ දකුණු අප්‍රිකානු පිතිකරුවෝ 7ක්ම අකිල ධනංජය (කඩුලු 2), ධනංජය ද සිල්වා (කඩුලු 2) හා ලක්ෂාන් සඳකැන් (කඩුලු 3) තිදෙනාගේ ගොදුරු බවට පත්වූහ.
දකුණු අප්‍රිකාව විස්සයි 20 තරග ඉතිහාසයේ අඩුම ලකුණු ගණනකට මේ තරගයේදී දැවී ගිය අතර වසර 2013දී සෙන්චූරියන් පිටියේදී පාකිස්තානය හමුවේ ලකුණු 100 අවම ලකුණු ගණනවී තිබුණි. එමෙන්ම දකුණු අප්‍රිකානු පිලක් ශ්‍රී ලංකාව හමුවේ විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී ලබාගත් අඩුම ලකුණු ගණන ඊයේ වාර්තා විය. මෙයට පෙර ශ්‍රී ලංකාව හමුවේ දකුණු අප්‍රිකානු පිල අඩුම ලකුණු ගණනකට දැවීගොස් තිබුණේ ජොහැනස්බර්ග් නුවරදී ලකුණු 113කටය.
එක්දින තරගාවලියේදී 3-2ක ජයක් ලැබීම එකම සැනසිල්ල බවට පත්වූ දකුණු අප්‍රිකාව මෙවර ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ 2-0ක පරාජයක් ලැබූ අතර, ගාල්ලේ පැවැති පළමු තරගයේදී දඟ පන්දු යවන්නන් හමුවේ අසරණ වෙමින් ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් 73කට දැවී යෑමද විශේෂත්වයකි.
කෙසේ වුවද ඊයේ විස්සයි 20 තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙකම ලකණු 6ක් වෙද්දී දවා ගැනීමට වේග පන්දු යැවූ රබාඩා සමත්වීම ආරම්භයේදීම එල්ලවූ තර්ජනයකි. එහිදී කුසල් පෙරේරා ලකුණු 3කට හා කුසල් මෙන්ඩිස් ලකුණු 1කට දැවී ගිය අතර දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 40කදී ලකුණු 53ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් වූහ. ධනංජය පන්දු 26කදී හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් සමග අගනා ලකුණු 31ක් ලැබීය.
දඟ පන්දු යැවූ ෂම්ෂිගේ පන්දු 3කට පිට පිට හතරේ පහර එල්ල කළ දසුන් ශානක පන්දු 16කදී ලකුණු 16ක් ලබාගත් අතර මැතිව්ස් හා තිසර පෙරේරා ලකුණු බින්දුවකට දවා ගැනීමට ෂම්ෂි සමත්වූ අතර අකිල ධනංජයගේ කඩුල්ල කෙලින්ම බිඳ හෙලීමට ඩුමිනි සමත් විය.
දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුල්ලට හෂීම් අම්ලා ලකුණු බිංදුවකට දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් වූ අතර පන්දු 11කදී ලකුණු 20ක් ලබාසිටි කොක් දුවද්දී දවාගැනීමට දසුන් ශානක සමත්වීමෙන් දකුණු අප්‍රිකා ඉනිමට තර්ජනයක් විය. ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි හෙන්ඩ්රිකස්, අකිලගේ ලෙග් බ්රේක් පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. හෙන්ඩ්රිකස්ගේ 29වැනි උපන් දිනය ඊයේට යෙදී තිබුණු අතර ඔහු හයේ පහරක් හා හතරේ පහර 2ක් සමග පන්දු 16කදී ලකුණු 19ක් ලබා තිබුණි.
අනතුරුව නායක ඩුමිනි කඩුල්ල මුවා කරගැනීමේ වරදට හසුකර ගැනීමට ධනංජය ද සිල්වා සමත්වූ අතර එවිට ඕවර් 10කදී දකුණු අප්‍රිකාව කඩුලු 4කට ලකුණු 69ක්ව තිබුණි. නායක මැතිව්ස් පන්දු යැවීම ලක්ෂාන් සඳකැන්ට භාර කිරීමත් සමග 11වැනි ඕවරය නිමා වෙද්දී ලකුණු 73කට කඩුලු 7ක් ලෙස දකුණු අප්‍රිකානු ඉනිම සටහන් විය. දකුණු අප්‍රිකාවේ මැද පෙළ පිතිකරුවන් ලෙස පිවිසි ක්ලාසන්, පෙලුක්වායෝ හා රබාඩා අඩු ලකුණු ගණනකට දැවී ගියහ.
දකුණු අප්‍රිකානු පිල ශ්‍රී ලංකා සංචාරය නිමවා අද කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් සිය රට බලා පිටත්වීමට නියමිතය.
0 Comments