Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු ක්‍රීඩා උළෙලට තෝරා ගැනීමේදී අසාධාරණකම් කියන්න අවස්ථාවක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ආසියානු ක්‍රීඩා උළෙලට තෝරා ගැනීමේදී යම් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට අසාධාරණයක්වී ඇත්නම් ජාතික තේරීම් කමිටුවට අභියාචනා ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පවසයි. මේ සම්බන්ධව ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට තමන් සමග සෘජුවම සාකච්ඡා කළ හැකි බවත් ඉදිරියේදී ජාත්‍යන්තර තරගාවලි සංවිධානයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම හා අභියාචනා සාකච්ඡා කරීම වෙනුවෙන් වෙනම කාර්යාලයක් ස්ථාපිත කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසූවේ ජාතික තේරීම් කමිටුවේ සභාපති ලෙස යුද හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතා පත්වීමෙන් ක්‍රීඩා සංගම් හා තේරීම් කමිටු සාමාජිකයන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී හමුවූ අවස්ථාවේදීය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවන ක්‍රීඩකයන්ගේ පදක්කම් අපේක්ෂාව ඉහළ ප්‍රතිශතයක් විය යුතු බවත්, තමන්ගේ දක්ෂතා පෙන්වා ඉහළ ප්‍රගතියක් පෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවස්ථාව උදාකරගත යුතු බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 185ක කණ්ඩායමක් සහභාගි කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත. එම කණ්ඩායමට මලල ක්‍රීඩා, දුනු විදීම, බැඩ්මින්ටන්, පිහිනුම්, බාස්කට් බෝල්, ගොල්ෆ්, ජිම්නාස්ටික්, හොකී, බේස්බෝල්, බොක්සිං, ජූඩෝ, කබඩි, සත් සාමාජික රග්බි, ස්කොෂ්, මේස පන්දු, ටෙනිස්, වොලිබෝල්, බර ඉසිලීම, මල්ලවපොර, වූෂු වැනි ක්‍රීඩා ඉසව් 28ක් ඇතුළත් වේ. ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෝ 138ක් හා ක්‍රීඩිකාවෝ 47ක් ඉන්දුනීසියාව බලා පිටත් වන අතර කබඩි තරග සඳහා ක්‍රීඩිකාවෝ 12ක් පළමු වරට ශ්‍රී ලංකාවෙන් ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරති.

වසර 2014දී කොරියාවේ ඉචියොන් හී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවෙන් 126ක කණ්ඩායමක් සහභාගී වූ අතර මෙවර නියෝජනය වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ප්‍රමාණය ඉතිහාසයේ වැඩිම සහභාගීත්වය වේ. මෙවර සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් මලල ක්‍රීඩා, කබඩි, ජූඩෝ, කරාටේ වුෂූ හා රගර් පදක්කම් අපේක්ෂා කරන බව ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසයි.

“සටන් කලා ක්‍රීඩා වලින් අපට පදක්කම් දිනාගත හැකියි. ඒ වගේම සහය දිවීමේ මලල ක්‍රීඩා කණ්ඩායම ද පදක්කම් දිනාගත හැකි මට්ටමේ පසු වෙනවා. බොක්සිං හා බර ඉසිලීමෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනාගත් නිසා හොඳ තරගකාරීත්වයක් ආසියානු ක්‍රීඩා උළෙලේදී නිර්මාණය වේවි. පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලට වඩා මෙවර දෙගුණයකටත් වඩා වැඩි පිරිසක් යැවීමට හේතුව අපගේ ක්‍රීඩා සංගම් තුළ වැඩි උනන්දුවක් ඇති කිරීමට අවශ්‍ය නිසයි. මුදල් නැති ක්‍රීඩා සංගම්වලට අප අනුග්‍රහය සොයා දීමට අපේක්ෂා කරනවා” මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();