Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටේ සම්පත් විකුණා, රටේ ආර්ථිකය වළපල්ලට නොදමන්න – විජිත හේරත්.

Vijitha_JVP_25

රටේ සම්පත් විකිණීම වහාම නතර කරන්න කියා ආණ්ඩුවට අවධාරණය කරන බවත්  ඒ වගේම මත්තල ගුවන්තොටුපොළ විකිණීම වහා නතර කළ යුතු බවත් එය අපේ රටේ ජාතික ආර්ථිකයටත්, ජාතික ආරක්‍ෂාවටත් තර්ජනයක් බවත් රටේ සම්පත් විකුණලා රටේ ආර්ථිකය වළපල්ලට නොදමා  ශී‍්‍ර ලාංකිකයින්ට තිබෙන උරුමයන් ආරක්‍ෂා කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බවත්  ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා,

වරාය සහ ගුවන්තොටුපොළ රටේ ජාතික ආර්ථිකයටත් ජාතික ආරක්‍ෂාවටත් ඉතා වැදගත් ආයතනයි. එවැනි ආයතන වෙනත් රටවල සමාගම්වලට විකිණීමෙන් රටේ ජාතික ආර්ථිකයත් ජාතික ආරක්‍ෂාවත් අනතුරට පත්වෙනවා. මීට පෙර අවස්ථාවක ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේ ගුවනින් ඇවිත් පරිප්පු දැම්මා. රටේ ජාතික ආරක්‍ෂාවට ස්වෛරීත්වයට තර්ජනයක් එල්ල කළා. එසේ තිබියදී ආණ්ඩුව මත්තල ගුවන්තොටුපොළ ඉන්දියානු සමාගමකට විකිණීමෙන් රටේ ජාතික ආරක්‍ෂාව අනතුරකට පත්කරනවා.

මත්තල ගුවන්තොටුපොළත් හම්බන්තොට වගේම අසාර්ථක ව්‍යාපෘතියක්. හම්බන්තොට වරාය ඉදිකළ යුතුව තිබුණේ සේවා වරායක් ලෙසයි. නමුත් රාජපක්‍ෂ ආණ්ඩුව පෞද්ගලික බල වුවමනාව වෙනුවෙන් රට විශාල ණය කන්දක හිර කරලා අසාර්ථක ව්‍යාපෘතියක් කළා. අසාර්ථක ව්‍යාපෘති වුනත් සාර්ථක කරගැනීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතුයි. වර්තමාන ආණ්ඩුව බලයට ආවේ එම අසාර්ථක ව්‍යාපෘතිවල අඩුපාඩු පෙන්වමින්. එනිසාම ආණ්ඩුව එම ව්‍යාපෘති ලාභ ලබන ව්‍යාපෘති බවට පත්කළ යුතුව තිබුණා. මේ ආණ්ඩුව අසාර්ථක බංකොළොත් ආණ්ඩුවක් බව එම ආයතන විකුණා දැමීමෙන් ඔප්පු කරලා තිබෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවට රටේ නිෂ්පාදනය දියුණු කරන ආර්ථික ප‍්‍රතිපත්තියක් හදන්න පුළුවන් වෙලා නැහැ. ආණ්ඩුවේ බැරිකම නිසා දිනෙන් දින ණය ගැනීමත් රටේ සම්පත් විකිණීමත් සිදුකරමින් ඉන්නවා.

ආණ්ඩුවට දිගුකාලීන ආර්ථීක දැක්මක් නැහැ. ඊනියා ජාතික ආණ්ඩුව පැවති ආණ්ඩුව වගේම සිදුකරන්නේ රටේ සම්පත් විකිණීමත් ණය ගැනීමත් පමණයි. මත්තල ගුවන්තොටුපොළ ඉන්දියානු සමාගමකට විකුණන්නේ ආණ්ඩුවේ එම ආර්ථික ප‍්‍රතිපත්තියේම කොටසක් ලෙසයි. මත්තල ගුවන්තොටුපොළ විකිණීම සිරිපාල ඇමතිවරයාගේ පෞද්ගලික වුවමනාවක් හෝ ඔහුගේ හීන හැබෑ කරගැනීමක් නොවේ. ඒක ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තියට අනුව සිදු කරන්නක්. ආණ්ඩුව 2025 සඳහා ආර්ථික වැඩපිළිවෙළක් එළිදැක්වුවා. එයට අනුව ආසියානු සංවර්ධන අරමුදල සමඟ 2016 ගිවිසුමක් අත්සන් කළා. ගිවිසුමට අනුව ආණ්ඩුව ආසියානු සංවර්ධන අරමුදලට කොන්දේසි ගණනාවකට එකඟ වෙලා තිබෙනවා. ඉන් ප‍්‍රධාන එකක් වන්නේ ප‍්‍රාග්ධන වෙළඳපොළ ප‍්‍රසාරණය කිරීමයි. එම එකඟතාවයට අනුව තමයි අර්ථසාධක අරමුදල කොටස් වෙළඳපොළේ ආයෝජනයට යොදවන්නේ. ඊට අමතරව රාජ්‍ය ආයතන කොටස් වෙළඳපොළ සඳහා නිදහස් කිරීමට ලැයිස්තු සකස් කරමින් තිබෙනවා. වරාය, ගුවන්තොටුපොළ විකිණීමත් එම ආර්ථික කි‍්‍රයාමාර්ගවලම කොටසක්.

ආසියානු සංවර්ධන අරමුදලෙන් ඩොලර් මිලියන 300ක ණයක් ලබාගැනීම වෙනුවෙන් තමයි ආණ්ඩුව ගිිවිසුම අත්සන් කළේ. ගිවිසුම අනුව වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් ආණ්ඩුවට ණය මුදලින් කොටසක් එනම් කෝටි 2,000කට ආසන්න මුදලක් 2019 වසරේදී ලැබීමට නියමිතයි. ගිවිසුම මගින් යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. යෝජනා මාලාවේ අංක 14න් අපේ රටේ රාජ්‍ය ආයතන කොටස් වෙළඳපොළට මුදා හැරීම සඳහා ලැයිස්තුගත කිරීමට යෝජනා කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස තමයි මත්තල ගුවන්තොටුපොළ විකුණන්නේ. මත්තල ගුවන්තොටුපොළ පමණක් නොව කටුනායක ගුවන්තොටුපොළත් පෞද්ගලික ගුවන් සමාගමක් ලෙස ස්ථාපිත කිරීමට මේ වනවිටත් කටයුතු සිදුකෙරෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලිපි ගනුදෙනු සිදුවෙලා තිබෙනවා. එයාර්පෝට් ඇන්ඞ් ඒවියේෂන නමින්් දැනට තිබෙන ආයතනය එයාර්පෝට් ඇන්ඞ් ඒවියේෂන් ප‍්‍රයිවට් ලිමිටඞ් නම් පෞද්ගලික ආයතනය බවට පත්කොට පෞද්ගලීකරණය කිරීම ආණ්ඩුව සැලසුම් කරමින් ඉන්නවා. ආණ්ඩුව ආසියානු සංවර්ධන අරමුදලින් කෝටි 4800ක ණය වෙනුවෙන් පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නගමින් ඉන්නවා.

ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව සිවිල් ගුවන්සේවා පනත වෙනස් කිරීමට කටයුතු කරමින් තිබෙනවා. සිවිල් ගුවන්සේවා පනත සකස් කරද්දී ගුවන්තොටුපොළ පෞද්ගලීකරණය කිරීම වැලැක්වීම සඳහා සකස් කර තිබෙනවා. රටේ ජාිතික ආරක්‍ෂාව ගැන හිතලා එම පනත් සකස් කර තිබෙනවා. නමුත් මේ ආණ්ඩුව රටේ ගුවන්තොටුපොළවල් විදේශ සමාගම්වලට පැවරීම සඳහා සිවිල් ගුවන්සේවා පනත වෙනස් කරන්න යනවා. එම පනත වෙනස්කළ පසුව පෞද්ගලික සමාගම්වලට නීතියෙන් රිංගා යාමට අවස්ථාව නිර්මාණය වෙනවා. එමගින් ඉන්දියාව වැනි රටක් තමන්ට වාසි ලබාගැනීම වෙනුවෙන් මේවා යොදාගන්න පුළුවන්.

නිමල් සිරිපාල ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශ කළා ඉන්දියානු සමාගමක් මත්තල ගුවන්තොටුපොළ මිලදී ගන්න සූදානම් කියලා. ඇමතිවරයා එවැනි ප‍්‍රකාශයක් කිරීම ගැන ලැජ්ජා විය යුතුයි. තමන් යටතේ තිබෙන ආයනයක් විකිණීමට සිදුවන්නේ තමන්ගේ නොහැකියාව නිසයි. 70%ක් ඉන්දියානු සමාගමටත් 30%ක් ආණ්ඩුවටත් ලෙස මත්තල ගුවන්තොටුපොළේ කොටස් විකුණා දැමීමට තීරණය කර තිබෙනවා. ඉන්දියානු රජය දිගින් දිගටම අපේ රටේ ආර්ථිකයටත් දේශපාලනයටත් මැදිහත් වෙනවා. ආණ්ඩුව චීනෙට නොරොච්චෝලේ දෙනකොට ඉන්දියාවට සාම්පූර් දුන්නා. චීන ෂැංගි‍්‍රලා හෝටලයට යුධ හමුදා කඳවුරේ ඉඩම දෙනකොට ඉන්දියාවට ඉඩමක් දෙනවා. එහෙම කරන්න සිදුවෙලා තිබෙන්නේ අපේ රටේ පාලකයින්ගේ දීනකම නිසයි. හම්බන්තොට වරාය චීනෙට දුන්නාම ඉන්දියාව ඒ පිළිබඳව කණස්සල්ලෙන් හිටියා. ඒ නිසා තමයි මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට දෙන්න ආණ්ඩුව කටයුතු කළේ.

මත්තල ගුවන්තොටුපොළ පාඩුයි කියලා දැන දැනත් ඉන්දියාව ගන්නේ කලාපීය දේශපාලන බලය තහවුරු කර ගැනීමටයි. ඉන්දියානු සමාගම පවසන්නේ මත්තල ගුවන් තොටුපොළ ගුවන් නියමුවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවයි. ඊට අමතරව ඉන්දියාව ගුවන්තොටුපළ ආසන්නයේ ඉඩමක තොරතුරු තාක්‍ෂණ කලාපයක් ඉදි කිරීමට යන බවටත් වාර්තා වෙනවා. ඉන්දියාව මේවා කරන්නේ දුරදිග බලලා. චීන ආර්ථික කලාපය හම්බන්තොට ඉදිවූ පසුව මත්තල ගුවන්තොටුපොළින් ප‍්‍රයෝජන ගන්න ඉන්දියාවට හැකි වෙන බව ඔවුන් දන්නවා. නමුත් දුරදිග නොබලන, ආර්ථික දැක්මක් නැති ආණ්ඩුව හම්බන්තොට වරාය චීනෙට දීලා මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට දෙනවා. අපේ රටේ ගුවන් සේවක සේවිකාවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මත්තල පවත්වා ගෙන යායුතු බව ගුවන් සේවයේ නිලධාරීන් යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කර තිබුණා. විශාල වියදමක් නොකර එවැනි ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට හැකියාව තිබියදී මත්තල විකුණනවා. අපේ රටෙන් ගෘහ සේවිකාවන් විදෙස්ගත කරනවාට වඩා වෘත්තීයමය වශයෙන් පළපුරුදු ගුවන් සේවිකාවන් විදෙස් රටවලට යැවීමෙන් විශාල ආර්ථික ලාභයක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. අපේ රටේ එයාර් ලංකා ගුවන් සමාගමේ සේවක සේවිකාවන් සපයන සේවාව පිළිබඳ ඉහළ ඇගයීමක් වෙනත් රටවල්වලට තිබෙනවා. හම්බන්තොට වරායෙන් චීනය ලාභ ලබනවා නම් මත්තල ගුවන්තොටුපොළින් ඉන්දියාව ලාභ ලබනවා නම් ඇයි අපේ ආණ්ඩුවට බැරි? මේක බරපතල ප‍්‍රශ්නයක්.

අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, රටේ සම්පත් විකිණීම වහාම නතර කරන්න කියලා. ඒ වගේම මත්තල ගුවන්තොටුපොළ විකිණීම වහා නතර කළ යුතුයි. එය අපේ රටේ ජාතික ආර්ථිකයටත් ජාතික ආරක්‍ෂාවටත් තර්ජනයක්. රටේ සම්පත් විකුණලා රටේ ආර්ථිකය වළපල්ලට නොදනමන ලෙසත් ශී‍්‍ර ලාංකිකයින්ට තිබෙන උරුමයන් ආරක්‍ෂා කරන ලෙසත් අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. එසේ නොකරන්නේ නම් රටේ සම්පත් සහ ජාතික උරුමයන් ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් ජනතාව සමඟ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්න අපි සූදානම් යැයි පැවසීය.

The post රටේ සම්පත් විකුණා, රටේ ආර්ථිකය වළපල්ලට නොදමන්න – විජිත හේරත්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();