Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වෙලා තියෙන්නේ, අද අතක් කියලා එකක් නෑ – ඇමති නවීන්.

Minister_Navin_Maskeliya

අද  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වෙලා ඇති බවත් අද අතක් කියලා එකක් නැති බවත් බණ්ඩාරනායක මැතිතුමා ගොඩනගපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කල්ලිවාදී දේශපාලන පක්ෂයක් බවට පත් වී ඇති බවත්, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරය අද පොහොට්ටුවේ නැති බවත්  වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා  මෙලෙස ප්‍රකාශ කර සිටියේ මස්කෙළියේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“ අපි ජනාධිපතිවරණ ඉස්සර වෙලා අපේ පක්ෂයේ තියෙන අඩුපාඩුකම් ටික අපි හදා ගමු. එතකොට අපි වෙලාවට ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නම්. අපිට දිනන්න පුළුවන් අශ්වයෝ ඉන්නවා. අපේ නායකතුමා ඉන්නවා. කරු ජයසූරිය මැතිතුමා ඉන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාත් ඉන්නවා. ඒ වගේම කන්ද උඩරටිනුත් නායකයන් බිහි වෙන්න පුළුවන් කියන එක මම තමුන්නාන්සේලාට ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම අපේ පක්ෂය තමයි මේ රටේ විප්ලවකාරී වෙනසක් ඇති කළේ. මේ රටේ විවෘත ආර්ථිකයක් ඇති කරලා අද මෙවැනි තත්ත්වයක් මේ රටේ තියෙන්නේ අපේ පක්ෂය නිසයි. අද  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වෙලා තියෙන්නේ. අද අතක් කියලා එකක් නෑ. බණ්ඩාරනායක මැතිතුමා ගොඩනගපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කල්ලිවාදී දේශපාලන පක්ෂයක් බවට පත් වෙලා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරය අද පොහොට්ටුවේ නෑ. අපේ පක්ෂය එහෙම නෙවෙයි. අපේ පක්ෂය එක පුද්ගලයෙක් මත රදා පවතින්නේ නෑ. එක පුද්ගලයෙක්ගේ චරිතය මත පෝෂණය වෙන්නේ නෑ. අපේ පක්ෂයේ කෙනෙක් නැති වුණොත් තව සුදුස්සෙක් ඉන්නවා නායකත්වයට. දෙවන පෙළක් ඉන්නවා. අපේ නායකතුමා අපට කිසිම බාධාවකින් තොරව වැඩ කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ නිදසහ තුළින් අපගේ හැකියාව ඉස්මතු කිරීමට අපට ඒ වාතාවරණය අපේ නායකතුමා අපට ලබා දී තිබෙනවා.”

මම ඉතාමත් සතුටු වෙනවා අද දින නැවතත් කේ.කේ. පියදාස මැතිතුමා සමඟ එකතු වී තමුන්නාන්සේලා ආමන්ත්‍රණය කිරීමට හැකියාව ලැබීම ගැන. අපි මීට කළින් එකතු වී තමුන්නාන්සේලා ආමන්ත්‍රණය කිරීමට හැදුවත් නොයෙකුත් බාධා මැද අපට ඒක කරන්න බැරි වුණා.  විශේෂයෙන්ම අපි එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට යම්කිසි තත්ත්වයක් ගුණයක් තියෙන මිනිස්සු හැටියට දීර්ඝ කාලයක් අමනාපකම් තියා ගෙන ඉන්න පිරිසක් නෙවෙයි. මම එදා මැතිවරණයේදී ප්‍රකාශ කළා මේ පාරත් පාර්ලිමේන්තුවට යන්නේ පියදාසයි මමයි කියලා. ඒක එලෙසම සිද්ධ වුණා. ඉතිං තුන් දෙනෙක් එකතු වුණත් නැතත් එතන වෙනසක් සිද්ධ වුණේ නෑ. පියදාසත් පාර්ලිමේන්තුවට ගියා. නවිනුත් පාර්ලිමේන්තුවට ගියා.

නමුත් අද දින අපි පක්ෂයේ ඉදිරි ගමන ගැන හිතන අවස්ථාවක කේ.කේ. පියදාස මන්ත්‍රීතුමාත් නවින් දිසානායකත් එකතු වෙලා මේ යන ගමනේ දී නුවරඑළිය දිස්ත්‍රික්කය අපි කොළ පාටින් බබළනවා කියන එක මා තමුන්නාන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරන්න කැමතියි. දයාබර අම්මේ තාත්තේ මේ කාල පරිච්ඡේදය තුළ අපේ ආණ්ඩුව මොකද කළේ. පාක්ෂිකයන්ට මොකද වුණේ. අපේ පක්ෂයට අනාගතයක් තියෙනවා ද? පියදාස මහත්තයාම කීවා ඔහුගේ සරල භාෂාවෙන් සමහර කට්ටිය කියනවා කියලා 2020 පසුව මේ ආණ්ඩුවක් නෑ කියලා. මේ කට්ටියම තමයි කියන්නේ මේ ආණ්ඩුව වැටෙනවා කියලා. එහෙම කිසිම වැටීමක් නෑ. අපි ප්‍රාදේශීය සභා මැතිවරණයේ යම්කිසි පසුබෑමකට ලක් වෙන්න ඡන්ද දායකයන් අතර අපගේ පක්ෂයට යම්කිසි පසුතැවිල්ලකට ලක් වෙන්න සිද්ධ වුණා.  ඔව් අපි ඒක පිළි ගන්නවා. නමුත් තමුන්නාන්සේලාට මතක් කරන්න කැමතියි 2015 ජනාධිපතිවරණයට අපිට ලැබුණු ඡන්ද ප්‍රමාණය. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අනෙකුත් දේශපාලන බලවේග එකතු වෙලා තර  කරලා 50% ගණනක ප්‍රතිශතයක් ලබා ගත්තා.  එතකොට මේ ප්‍රාදේශීය සභා මැතිවරණ වල එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 33% ත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට 13% ත් ලබා ගැනීමට හැකි වුණා. මේ ඡන්ද දෙකම එකතු කරහම අපිට තවමත් ඡන්ද වැඩියි. අපිට 46%ක් එනවා. අනෙකුත් සුළු ඡන්ද , ස්වාධින කණ්ඩායම් වල ඡන්ද එකතු කළහම තවමත් මේ රටේ ජනතාවගෙන් 56%ක් ඉන්නේ මේ ආණ්ඩුවත් එක්කයි කියන එක මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා. රාජපක්ෂ විරෝධී කඳවුර 56% යි. රාජපක්ෂ කණ්ඩායම ඒ කල්ලිය එලෙසම තියෙනවා. ඇත්ත වශයෙන්ම මෙතනදී අපොහොසත් වුණේ ඒ ඡන්ද ප්‍රමාණය අඩු කිරීමට අපිට බැරි වුණ එකයි. ඒත් ඡන්ද  48% 44%ට බැස්සා. එක්සත් ජාතික පක්ෂයේත් පසුබෑමක් තියෙනවා. ඒත් අපිට සම්ප්‍රදායිකව ලැබෙන 38% 40% අපිට ආරක්ෂා කර ගන්න බැරි වුණා. ඒකට විවිධ හේතු තියෙනවා. ඒක තමයි පාක්ෂිකයන් අතර තිබෙන කළකිරීමක් යම්කිසි මැසිවිල්ලක් යම්කිසි ප්‍රශ්නයක් ඔවුන්ගේ හිත් වේදනා මේ සියලු දෙයක්ම තිබෙනවා. මේ පරාජයෙන් පසුව පක්ෂය තුළ යම්කිසි ප්‍රතිසංවිධානයක් වෙලා තියෙනවා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් පක්ෂයේ දෙවන පෙළ එතුමාට හැකි වෙලා තිබෙනවා ඉතාමත්ම දක්ෂ පිරිසිදු තරුණ නායකයන් පිරිසක් මේ පක්ෂයේ තනතුරු වලට ගේන්න. පක්ෂය ඉදිරියට ගෙනියන්න. පොහොට්ටුවේ මෙවැනි කණ්ඩායමක් නෑ. ඒකේ ඉන්නේ රාජපක්ෂ මහත්තයාගේ පුත්තු ටික විතරයි. ඒ දෙවන පෙළ ඇරෙන්න වෙන දෙවන පෙළකට පොහොට්ටුව ඉඩ තියන්නෙත් නෑ. වෙන අයට ඉස්මතු වෙන්න අවස්ථාවක් දෙන්නෙත් නෑ. මේ වෙනස තමුන්නාන්සේලා තේරුම් ගන්න අවශ්‍යයි. නායකතුමාට දැන් වයස 70යි. ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා මේ රටේ නායකයා වුණේ අවුරුදු 70 දී. ලබන ජනාධිපතිවරණයේ කවුද ඉදිරිපත් වෙන්නේ. අපි ජනාධිපතිවරණ ඉස්සර වෙලා අපේ පක්ෂයේ තියෙන අඩුපාඩුකම් ටික අපි හදා ගමු.

අපි කිසි දේකට බය නෑ අම්මේ තාත්තේ. ගාමිණී දිසානායක මැතිතුමා තමුන්නාන්සේලා නිර්මාණය කළේ ඒ තරුණයා 1970 අවුරුදු 28 තරුණයෙක් විදිහට පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉතාමත් සුළු කාලයකින් මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා විපක්ෂ නායක ජනාධිපති පුටුව ඇස් ඉදිරියේ දැක දැක අප අතරින් වෙන් වුණේ. එතුමා අද හිටියා නම් මේ රට සිංගප්පූරුවක් කරලා. තමුන්නාන්සේලා අද රජවරු. තමුන්නාන්සේලා අද ඉන්නේ මාළිඟාවල. මෙහෙම ජීවත් වෙන්නේ නෑ. අපි ඇත්ත වශයෙන්ම අවාසනාවන්ත ජාතියක්. අපගේ නායකයෝ රැළක් එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතනය කළා. එහෙම ඝාතනය කළ නායකයෝ වැනි අය වෙන කිසිම පක්ෂයක නෑ. ඉතිං අපේ නායකයෝ එහෙම ඝාතනය කළ අයත් සමඟ එකතු වෙලා කියලා අපිට  ලේබල් ගහන්න ලෑස්තියි. නවින් දිසානායකලා සජිත් ප්‍රේමදාසලා ඉන්නකම් මේ රටේ එල්ටීටීඊ සංවිධානයට නැවත හිස ඔසවන්න දෙන්නේ නෑ කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. අපිට තියෙන්නේ මේ රටේ දුප්පත් ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන එක. අපේ ලක්ෂ හතළිහක එක්සත් ජාතික පාක්ෂිකයින් ගැන අපේ නෙත් යොමු කරන එක. අපට තියෙන්නේ අපේ සිංහල බෞද්ධ ඡන්ද පදනම ආරක්ෂා කර ගන්න එක. අපිට මේ තුන හරියට කරන්න පුළුවන් නම් ඉතිරි ප්‍රශ්න අපිට ඉතාමත් ලෙහෙසියෙන් විසඳන්න පුළුවන්. මම ඉදිරි සතිය තුළදී අපේ පරාජිත වූ මන්ත්‍රීවරු ටික හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.

සමහර අවස්ථා වල ඔවුන්ට අසාධාරණකම් සිද්ධ වුණා.  කොට්ඨාශය දිනන්න බැරි වුණාට පරණ ක්‍රමය යටතේ ඔවුන් මන්ත්‍රී ධුර දැරුවා.  ආසන සංවිධායකත් එක්ක ඇති වුණු ප්‍රශ්න නිසා ඔවුන් අවස්ථාව ලැබුණේ නෑ ඇතුළු වෙන්න. අපි අකිල මැතිතුමා යටතේ ශාඛා සමිති ටික ප්‍රතිසංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා. තමුන්නාන්සේලාගේ ගමට අවශ්‍ය සංවර්ධනය ඉටු කරන්න අපි දෙදෙනා බාර ගන්නවා.

දැනටමත් කෝටි 20ක මුදලක් වෙන් කරලා තියෙන්නේ මේ ප්‍රාදේශීය සභාවට  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. අපි සාකච්ඡා කළා කොහොමද මේ මුදල බෙදන්නේ කියලා. අපි දෙන්නා අතර කිසිම ප්‍රශ්නයකින් තොරව ඒ මුදල බෙදා ගෙන සංවර්ධන කටයුතු කරනවා කියන එක මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා. අපි ඉදිරියේදී තව දරුවන්ට රස්සා ලබා දෙනවා. පියදාස මැතිතුමාගේ පැත්තේ දරුවන්ටත් රස්සා ලබා දෙනවා. අපි වෙන් වෙලා වැඩ කරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ. අපිට ඕනේ අපේ පකෂයේ එකමුතුව.

මම හිතනවා ඕනෑම රජයක් අවුරුදු දෙක තුනකදී අප්‍රසාදයට ලක් වෙනවා. අපිත් යන්නේ එවැනි කාලයක. අපේ ආණ්ඩුවක්ම නෙවෙයි මේක. ඒක තමුන්නාන්සේලා පිළි ගන්නවා. අපේ දේශපාලන තීරණත් යම්කිසි අවස්ථා වල වැරදුණා. හොඳ ඇමතිකම් අපේ පක්ෂයට ලබා ගන්න තිබුණා. රංජිත් ඇමතිතුමාගේ ප්‍රවාහන ඇමතිකම අපට තියා ගන්න තිබුණා. සමෘද්ධි ඇමතිකම අපි එස්.බී.ඇමතිතුමාට දුන්නා. නැවතත් අපි ඒක ලබා ගත්තා. ඉතිං මම පැහැදිලිව කියනවා මේ ආසනයේ දාහකට අලුතින් සමෘද්ධිය ලබා දෙනවා කියලා . දැනටමත් ඒ සඳහා මූලික වැඩ ටික කරලා තියෙනවා. මේ ආසනයේ තරුණ තරුණියන්ට රස්සා ලබා දීමට බලාපොරොත්තු වෙනවා . විශේෂයෙන්ම උපාධිධාරීන්ට අපි ඒ රස්සා ටික ලබා දෙනවා. ඒ වගේම උසස් පෙළ සමත් දරුවන් පන් දහසකට රස්සා ලබා දීමට නායකතුමා වැඩ පිළිවෙලක් යොදා ගෙන යනවා. අපිට ගිය මැතිවරණයෙන් ලැබුණු පණිවිඩය ඉතාමත් පැහැදිලියි.  ඒ මැතිවරණයෙන් පසුව නායකතුමාගේ ප්‍රධානත්වයෙන් අපි නායක මඩුල්ලක් පිහිටුවා ගත්තා. අපි තීරණ අරන් ඉදිරියට යනවා. අපි නැවතත් මේ රට රාජපක්ෂලාට ලබා දෙන්න අවකාශය තියන්නේ නෑ කියන එක මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ඒක වචන වලට සීමා කරන්න බැහැ. අපි වැඩ කරන්න ඕනේ. මිනිස්සුන්ට හිතසුව පිණිස වාතාවරණයක් අපි ඇති කරන්න ඕනේ. මාධ්‍යයෙන් අපිට සෑහෙන අවාසියක් තිබෙනවා. අපි ඒකටත් දැන් වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. අපි හිතනවා විශේෂයෙන්ම මේ ගෙනියන නරක මාධ්‍ය ප්‍රහාරය අපිට හොඳ නෑ. ඒක වැරදියි. එය සාදාචාර සම්පන්න නොවන බව මම මතක් කරන්න කැමතියි. ළඟදීත් ප්‍රකාශයක් දකින්න ඇති අපි උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරන්න හදනවා කියලා. මේ වාගේ බොරු ප්‍රකාශ මම කවදාවත් අහලා නෑ මගේ දේශපාලන ඉතිහාසයේ. එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම එක හමුදා කඳවුරක්වත් අයින් කරන්න දෙන්නේ නෑ කියන එක මම පැහැදිළිවම ප්‍රකාශ කරනවා. අලි මංකඩ නැති වු‍ණේ අපේ කාලයේ ද? එක්සත් ජාතික පක්ෂය හැම වෙලාවෙම අලි මංකඩ වැටෙන්න දුන්නේ නෑ. ඒක නැති වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලයේදී. එක්සත් ජාතික පක්ෂයට ඒ පවට වග කියන්න බැහැ. අපි ඒකට කිසිසේත්ම ඉඩ දුන්නෙත් නෑ දෙන්නෙත් නෑ. අපි හැම වෙලාවෙම රණවිරුවන් වෙනුවෙන් ඉදිරියට ආවා. හැම විටම රණවිරුවන් ආරක්ෂා කළා. රණවිරුවනක් අප වෙනුවෙන් කළ කැපවීම අපි කවදාවත් අමතක කරන්නේ නෑ. අපි මෙතන ඉඳ ගෙන කවදාවත් එහෙම දේකට ඉඩ දෙනව ද? අපි එහෙනම් අනාගතය ගැන බැලිය යුතුයි. අපිට හොඳ දේශපාලන පක්ෂයක් තිබෙනවා. අපේ පක්ෂයේ නායකයෝ සුපිරිසිදුයි.

මහ බැංකුවේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. රාජපක්ෂලාගේ කාලේ මේ වගේ දෙයක් උනා නම් යට ගහන එකයි කරන්නේ.  මේකේ කරුණු කාරණා කවදාවත් එළියට එන්නේ නෑ. නමුත් අපේ ජනාධිපතිතුමා කොමිසමක් පත් කරලා එහි වැරදි කරුවන් අද හිර ගෙදර හිරබත් කනවා. මේකයි වෙනස. අද ඕනෑම මාධ්‍යවේදියෙකුට ඕනෑම දෙයක් ලියන්න කියන්න පුළුවන්. ආණ්ඩුවට ගහන්න බණින්න චෝදනා කරන්න පුළුවන්. ඔවුන් ජීවිතක්ෂයට පත් වෙන්නේ නෑ. සුදු වෑන් වලින් උස්සගෙන යන්නේ නෑ. ඒ යුගයේ නැති වුණු ලසන්තලා එක්නැළිගොඩලා තාමත් නෑ. ඒ ඉන්නවා ද? නැද්ද දන්නෙත් නෑ.දේහයවත් හොයා ගන්න නෑ. අපේ ආණ්ඩුව කාලේ එහෙම වුණේ නෑ. මේකයි නිදහස.

සමහර අය කියනවා මේ වල්බූරු නිදහස නිසා රට ගොඩ නගන්න බෑ කියලා. මේ රටට මිලටරිවාදය ඕනේ. ගොට්ලර්ලා ඕනේ කියලා. අපිට නම් එහෙම යුගයක් එපා. අපිට ඕනේ අපේ ගම්වල නිදහසේ හුස්ම අරන් ජීවත් වෙන්න. සුදු වෑන් එපා .ගෝඨාභය මහත්තයා විශාල වැඩ කොටසක් රට වෙනුවෙන් කරලා තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ. නමුත් එතුමාගේ වටේ ඉන්නේ හමුදා සෙට් එකක්. සැළියුට් ගහ ගහ. යර්ස් සර් කිය කියා. මේ අය තමයි ගෝඨාභය ඉස්සරහට දාලා  එතුමා පාලනය කරන්න හදන්නේ. මහින්ද මහත්තයාත් බයයි දැන් මේ තත්ත්වයට. එතුමත් කැමති නෑ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ නායකයා වෙනවට. එතුමට ඕනේ එතුමට අවනත වන එතුමාට පාලනය කරන්න පුළුවන් විශේෂයෙන්ම එතුමාගේ පුතා නාමල් රාජපක්ෂට පාර කපන පුද්ගලයෙක් ඒ පුටුවේ ඉන්දවන්න. ඒක මට සීයයට සීයක් විශ්වාසයි. අද වෙනතුරා එතුමාගේ සුපුරුදු සිනහවෙන් කියනවා මම දැකලා නෑ ගෝඨාභය ගේනවා කියලා. මස එතුමාගෙන් ඉල්ලනවා එහෙම කියන්න කියලා. ඒත් එහෙම කියන්නේ නෑ. එතුමාත් අන්තිම මොහොත වෙනකම්  බලා ගෙන ඉන්නවා කවුද දාන්නේ කියලා.

ඉතිං අපි කියන්නේ මේවාට රැවටෙන්න එපා. අපේ පක්ෂය අපි හදා ගන්නම්. අපිට ඒ අවකාශය දෙන්න. මට මේ ජාතික සංවිධායක ධුරය ලැබුණේ නිකං නෙවෙයි. මහන්සි වෙලා.  කැප වෙලා. මම මතක් කරන්න ඕනේ පියදාස මැතිතුමාත් එතුමාගේ රහස් ඡන්දය මට දුන්නා. මේ අවස්ථාවේ එතමාට මම ස්තූතිවන්ත වෙනවා. 1976 දීත් මෙවැනි රහස්ඡන්දයක් තිබ්බා. ඒකේදීත් ගාමිණි දිසානායක මැතිතුමා දෙවැනියා වුණා. එතුමාගේ පුතාට දෛවයෙන් මෙන් රහස් ඡන්දයෙන් පළමු තැන හිමිවෙන්න අවකාශය ලැබුණා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක්. දැනට රහස් ඡන්ද හතරක් තිබිලා තියෙනවා. එහෙම ඡන්දයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබිලා තියෙනවා ද නායකයින් තෝරන්න. නෑ. පොහොට්ටුවේ කවදාවත් රහස් ඡන්දයක් තියන්නේ නෑ. මොකද එහෙම කළොත් නාමල්ට ඡන්ද හම්බ වෙන්නේ නෑ. දැන් වෙල්ගම මැතිතුමාත් ඉන්නවා රේස් එකේ. ඉතිං අපේ පක්ෂයෙන් අවස්ථාව දීලා තියෙනවා නායකයන් තෝරන්න. මේ කාලය නැවතත් පක්ෂයේ ප්‍රතිසංවිධාන ඇති කරන කාලයක්. මා බලාපොරොත්තු වෙනවා කොට්ඨාශ මට්ටමෙන් ජාතික සංවිධායක කෙනෙක් පත් කරන්න. අපේ පක්ෂය වෙනුවෙන් තමුන්නාන්සේලා කැප වෙලා තියෙනවා. අපි කවදාවත් ඒක අමතක කරන්නේ නෑ. අපිට තව කාලය දෙන්න. තමුන්නාන්සේලා ගමට ගෙනියන පණිවිඩය හරියට ගෙනි යන්න. එක්සත් ජාතික පක්ෂය එකමුතුවෙන් ඉදිරියට යන වග.

අපි දේශපාලන කරන්නේ පිරිසිදු දෑත් වලින් . අපේ අත් වල ලේ නෑ. ඒ වගේම මම දේශපාලනයෙන් හම්බ කරලා නෑ. මම හම්බ කරලා තියෙන්නේ මිනිස්සු විතරයි.  මගේ තාත්තාගේ බැල්ම මට තියෙනවා කියලා විශ්වාසයි. ඉතිං මගේ ඉදිරි දේශපාලන ගමනට තමුන්නාන්සේලාගේ සහයෝගය මට ලබා දෙන්න. එදා ගාමිණීට කරන්න බැරි වුණු දේ නවින් කරලා දෙනවා කියන පොරොන්දුව මම තමුන්නාන්සේලාට ලබා දෙනවා. එතුමා තමුන්නාන්සේලා වෙනුවෙන් විශාල සිහින දැක්ක පුද්ගලයෙක්. මට එතුමා ඒක නිතරම කීවා.

එදා නුවරඑළියයි මස්කෙළියයි කියන්නේ එකම ආසනයක්. එදා එතුමා රජ වුණානම් තමුන්නාන්සේලාත් රජ වෙනවා. එදා මගේ අප්පච්චිට කරන්න බැරි වුණු දේ මම කරනවා. මගේ මිනිස්සු මම බලා ගන්නවා. ඒ වචන වල ලොකු අර්ථයක් තියෙනවා. මම ඒක කරලත් තියෙනවා . අනාගතයේදීත් කරනවා. මම ජාතික සංවිධායක හැටියට මේ මාස කිහිපය තුළ පක්ෂයේ සියලු දෙනා එකතු කර ගෙන කූඹියෙක් වගේ දුවන්න බලාපොරොත්තු වෙනවා. ඉතිං ඒ ගමන යන්න ඔබ සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා යැයි පැවසීය. 

The post අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වෙලා තියෙන්නේ, අද අතක් කියලා එකක් නෑ – ඇමති නවීන්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();