හයිරැක්ස් ගිවිසුම සම්බන්ධයෙන් සොයා බලන්න ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස අමාත්‍ය අර්ජුන රණතුංග, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටී. එලෙස කොමිසමක් පත් කිරීමෙන් මේ ගිවිසුමට මුවා වී සල්ලි ගත්තේ කවුද ? සමාගම ගෙනාවේ කවුද ? කියා සොයාගත හැකි බවත් අමාත්‍යවරයා පවසා සිටී.
අද (3) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලිහිසි තෙල් වෙළඳපොළ ලිහිල් කිරීම හා නව ප්‍රවේශකයින් තෝරා ගැනීම යන මාතෘකව යටතේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සාකච්ඡාව ගන්නා අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා නැඟී සිට, ජනාධිපති දෙස බලා අමාත්‍ය අර්ජුන රණතුංගෙන් “හයිරැක්ස් ගිවිසුමට මොකද වෙන්නේ…” කියා විමසා සිටියේය.
“ඊට අදාලව අපේ අමාත්‍යාංශයේ තවත් පත්‍රිකාවක් ඉදිරියට සාකච්ඡා කරනවා. ඒ වෙලාවේදී මේ ගැන කථා කරමු.” යැයි අමාත්‍ය අර්ජුන රණතුංග පිළිතුරු දුන් අතරම එකී කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගත් විට අර්ජුන රණතුංග අමාත්‍යවරයා කරුණු දැක්වීම ආරම්භ කළේය.
“ජනාධිපතිතුමනි, මට විනාඩි දෙක තුනක් දෙන්න කථා කරන්න. හයිරැක්ස් ගිවිසුම මම ඇමැති වීමට පෙර සකස් කළ එකක්. බොහෝ අය එය ජී. ටු. ජී. කිව්වට, රජය රජය අතර කිව්වට ඇත්තටම ජී. ටු. ජී. ව්‍යාපෘතියක් නෙමෙයි. ඒ සමාගම මුලින්ම ලංකාවට ආවේ තෙල් ව්‍යාපාරයට. දැන් කර්මාන්තශාලා හදන තරමට පොහොසත් වෙලා. එහෙම පොහොසත් වෙන්න උදව් දුන්නේ කවුද කියලා හොයන්න ඕන. මට නම් ඒ සමාගමත් එක්ක කිසිම සම්බන්ධකමක් නැහැ. මම උත්සාහ කළේ හයිරැක්ස් ගිවිසුම රටට ගැළපෙන පරිදි සකස් කරන්න. අපිට වාසි විදියට සකස් කර ගන්න. නමුත් ජනාධිපතිතුමනි ඔබතුමා මැලේසියානු අගමැතිතුමාත් මේ ගිවිසුම ගැන කථා කළා කිව්වම මම නිහඬ වුණා. කැබිනට් තීරණයට හිස නමා ගිවිසුම ඉදිරියට ගෙනියන්න කටයුතු කළා. මම මාධ්‍යයට කිසිවක් කිව්වේ නැහැ. කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. නමුත් පසුගිය සති අන්තයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත කැත විදියට මට මඩ ගහලා තිබුණා. මගේ පවුලේ කෙනෙක් මැලේසියානු සමාගමෙන් සල්ලි ඉල්ලා කියලා තිබුණා” යැයි අමාත්‍ය අර්ජුන රණතුංග විස්තර කර සිටියදී ජනාධිපවරයා පවසා සිටියේ, “පත්තරවල යන ඒවා ගණන් ගන්න එපා.” යනුවෙනි. එයට තරමක් නොසන්සුන් වූ අර්ජුන රණතුංග ඇමැතිතුමා තරමක් වේගයෙන් කථා කරන්න විය.
“ජනාධිපතිතුමනි, මමත් පත්තර බලන්නේ නැහැ. නමුත් මගේ අම්මා බලනවා. මගේ බිරිඳ බලනවා. මගේ දරුවෝ බලනවා. මගේ හිතවත්තු බලනවා. ඒ අය මගෙන් මේ ගැන අහනවා. අද අර බුකීකරුවගේ පත්තරේ ඛනිජ තෙල් අමාත්‍ය ධුරයෙන් මාව අයින් කරලා බුද්ධශාසන අමාත්‍යාංශයට දානවා කියනවා. දැන් කැබිනට් මණ්ඩලයේ තීරණ ගන්නෙත් බුකීකරුවෝ.” යැයි අමාත්‍යවරයා කියා සිටියදී නැවත වරක් ජනාධිපතිවරයා ඇසුවේ කාගේ පත්තරේද කියාය. එවිට එක් ඇමතිවරයෙක් තිලංගගේ පත්තරේ යැයි කීවේය. එය ඇසුණු ජනාධිපතිවරයා කීවේ “තිලංග ඔයාගේ යාළුවානේ…” කියාය.
“ජනාධිපතිතුමනි, මම බුකිකාරයෝ, හොකරම් කරන අය ආශ්‍රය කරන්නේ නැහැ. සමහරුනම් එහෙම අය ආශ්‍රය කරනවා. එවැනි පුද්ගලයෝ තමයි මේ ගිවිසුම පිටුපස්සෙත් ඉන්නේ. මම මේ ගිවිසුම රටට ගැළපෙන ලෙස සකස් කරන්න මහන්සි වෙනකොට ඒඅය සමාගම් ගැන කැක්කුමෙන් කථා කරනවා. ජනාධිපතිතුමනි, හයිරැක්ස් ගිවිසුම සම්බන්ධයෙන් සොයා බලන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න. එතොකොට මේ ගිවිසුමට මුවාවෙලා සල්ලි ගත්තේ කවුද ? සමාගම ගෙනාවේ කවුද ? කියලා හොයා ගන්න පුළුවන්….” අර්ජුන රණතුංග අමාත්‍යවරයා සිය කථාව අවසන් කලේය.
එවිට ෆයිසර් මුස්තාෆා ඇමතිවරයා “ජනාධිපතිතුමනි මට අවස්ථාවක් දෙන්න.” යැයි කියූ විට ජනාධිපතිතුමා “දැන් ඒක ඉවරයි….” කියා ඊළඟ කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කිරීම ආරම්භ කළේය.
The post හයිරැකස් ගිවිසුමෙන් සල්ලි ගත් අය හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න – ඇමති අර්ජුන, ජනාධිපතිගෙන් ඉල්ලයි. appeared first on Lanka News Column.
0 Comments