Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බෙල්ජියම පරදවා ප්‍රංශය අවසන් තරගයට

බෙල්ජියමේ බලාපොරොත්තු සාන්ත පීටර්ස්බර්ග් නුවර අහසට මුසු කළ ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් ගෝල 1-0ක ජයක් අත්කර ගනිමින් වසර 12කට පසුව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය.

ප්‍රබලතම ක්‍රීඩකයන් රැසක් දෙපිලටම එක්වී සිටීම නිසා තරගය පුරා ගෝල රැසක් වාර්තා වනු ඇතැයි පළවූ අනාවැකි බොරු කරමින් තරගයේ පළමු භාගය ගෝල රහිතව නිමාවට පත්වීම නිසා උදාසීන වූ දෙපිලේහිම ක්‍රීඩාලෝලීන් නින්දෙන් අවදි කළ සැමුවෙල් උම්ටිටි තරගයේ 51 වැනි මිනිත්තුවේදි හිසින් එල්ල කළ පහරින් බෙල්ජියමේ ඉරණම තීන්දු විය.

ප්‍රංශයේ ඇන්ටෝනි ග්‍රීස්මාන් සහ යොවුන් ක්‍රීඩක කයිලාන් බපේ ද, බෙල්ජියමේ සුපිරි ක්‍රීඩක ද්විත්වය වන නායක ඊඩ්න් හසාඩ් සහ රොමේලු ලුකාකු ද මේ තරගයේදී පෙරළියක් කරනු ඇතැයි අනාවැකි පළවී තිබුණත් අවසානයේදී වාසනාව උදාකරගත්තේ සැමුවෙල් උම්ටිටිය.

වසර 1998 දී පාපන්දු කිරුළ දිනූ ප්‍රංශය ඉන් අනතුරුව දෙවැනි වතාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ 2006 වසරේදීය. එහෙත් එවර දඬුවම් පහරින් ජයග්‍රාහකයා තේරීමට සිදුවූ අතර අවසානයේ ඉතාලිය හමුවේ පරාජයට පත්විය.

ලක්ෂ සංඛ්‍යාත ප්‍රංශ ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කළ උම්ටිටි එකම ගැලවුම්කරුවා බවට පත්වූයේ ඇන්ටෝනි ග්‍රීස්මාන් ලබා දුන් පන්දුවට හිසින් එල්ල කළ විස්මිත පහරත් සමගිනි.

මීට වසර 20කට පෙර පළමු වතාවට ප්‍රංශයට පාපන්දු ලෝක කුසලානයක් දිනාගැනීමට කණ්ඩායම මෙහෙයවූ ඩිඩියර් ඩෙස්චැම්ප් මෙවර ප්‍රංශයේ කළමනාකරු ලෙස කටයුතු කරමින් නැවතත් ඉතිහාසය පෙළ ගැස්වීමට පෙරමුණ ගැනීම කැපී පෙනේ.

ජයග්‍රහණය ලබන තුරු ආපසු හැරී නොබලන බවට උදම් ඇනූ රතු යක්ෂයන් ලෙස විරුදාවලිය ලත් බෙල්ජියමට ගෝල රැස් කිරීමට අවස්ථා කිහිපයක්ම උදාවූවත් ප්‍රංශයේ සුපිරි ගෝල රකින්නා තමා බව කදිමට පෙන්නුම් කළ හියුගෝ ලෝරිස් ඒ සියල්ල වැළැක්වීමට සමත්විය.

සාන්ත පීටර්ස්බර්ග් නුවර ක්‍රෙස්ටොව්ස්කි ක්‍රීඩාංගණයට රැස්වූ 64,286ක ක්‍රීඩාලෝලින් පිරිසක් මැද බෙල්ජියම පිලේ නායක ඊඩ්න් හසාඩ් 10 වැනි මිනිත්තුවේදී එල්ල කළ වේගවත් පහරත්, ඊට මිනිත්තු තුනකට පසුව ටොබි ඇල්ඩෙර්වීරල්ඩ් එල්ල කළ විස්මිත පහරත් වැළැක්වීමට ලෝරිස් අසමත්වූවානම් තරගයේ තීරණය වෙනස්වීමට ඉඩ තිබිණි.

බෙල්ජියමේ සුපිරි ක්‍රීඩක රොමේලු ලුකාකු පළමු භාගයේදී ගෝලයක් ලැබීමට වඩාත් ආසන්නතම අවස්ථාවක් උදාකරගත්තත් ඔහුගේ එම පහර ගෝල් කණුවේ වැදී ඉවතට විසිවූයේ බෙල්ජියමේ බලාපොරොත්තු සුන්කර දමමිනි.

ප්‍රංශය සමග ලබන 15 වැනිදා මොස්කව් නුවර ලුස්නිකි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහා තරගයට එක්වන අනිත් කණ්ඩායමෙ ඊයේ පැවැති එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතර දෙවැනි අවසන් පූර්ව තරගයෙන් තෝරාගැනීමට නියමිතව තිබිණි. ප්‍රංශයට අවසන් මහා තරගයේ දොරටු විවර කර දී පසුබැස ගිය බෙල්ජියම තරගාවලියේ ලෝකඩ පදක්කම සඳහා මේ ක්‍රීඩාංගණයේදීම ලබන 14 වැනිදා තරග වදින්නේ ඊයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ පරාජිතයන් සමගය.

සටහන - ෆවුස් මොහොමඩ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();