පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී මහරගම නගර සභාව සඳහා බයිසිකලය ලකුණෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු 23දෙනාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ ඡන්ද පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අවසර ලබා දී තිබේ. එම නගර සභාව සඳහා තරග කළ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ බයිසිකලය ලකුණේ තරගකොට මහරගම නගර සභාව සඳහා තේරී පත්වූ අපේක්ෂකයින්ගෙන් බහුතරය මහරගම නගර සභා බල ප්‍රදේශයට පරිබාහිර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. පළාත් පාලන මැතිවරණ පනත අනුව යම් පළාත් පාලන ආයතනයක් සඳහා තේරීපත් විය හැක්කේ එම පළාත් පාලන ආයතන සීමාව තුළ පදිංචිකරුවන්ට පමණක් බව සඳහන් කළ පෙත්සම්කරුවන් බයිසිකලය ලකුණෙන් තේරීපත් වූ පිරිසෙන් බහුතරය මහරගම ප්‍රදේශයෙන් බැහැර පදිංචිකරුවන් බැවින් ඔවුන්ට සභාවේ මන්ත්‍රී ධූරයක් දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව කියා සිටියේය.
එවැනි නුසුදුසු පුද්ගලයින් බයිසිකලය ලකුණෙන් ඉදිරිපත්වූ නාමයෝජනා පත්‍රයේ ඇතුළත්ව සිටින බැවින් එම කණ්ඩායමේ තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ පත්වීම් බලරහිත කරන ලෙස පෙත්සම්කරුවන් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.
පෙත්සම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග පෙත්සම ලබන 30 වනදා විභාගයට ගැනීමට නියම කළ අතර එදිනට පෙර විරෝධතා තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙස වග උත්තරකාර පාර්ශවයට නියම කර ඇත.
The post මහරගම 23දෙනාගේ මන්ත්‍රී ධූර අහෝසියි? කොළඹ මහාධිකරණයෙන් පෙත්සම විභාගයට අවසර. appeared first on Lanka News Column.
0 Comments