Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අඳුරු කාලපරිච්ඡේදය ජූලි 11 වැනිදා සිට හමාර වෙයි

Image result for be patient

පීඩාවන්ට හා පසුබැසීම්වලට ලක්වූ පසුගිය අඳුරු කාලපරිච්ඡේදය නිමා කරමින් එළඹෙන්නා වූ කාලය රටටත්, විවිධ ක්‍ෂේත්‍රවලටත්, ජන්මියන්ටත් සුබදායී පරිවර්තන රැසක් ගෙන දෙන කාලයකි. එමෙන්ම යුක්තිය රජ කරන කාලයකි. මෙය රටට දිගු කාලීන යහපතක් උදා කරන අතර, එය එක්එක් ජන්මියාට කෙසේ බලපාන්නේදැයි වීමසීම සඳහා ටොලමියානු ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතා %අද^ට සම්බන්ධ කර ගතිමු.
කලකට පසුව සුබ ආරංචියක් කියන්නට ලැබීම සතුටක්. පසුගිය මාර්තු 11 වැනිදා ගුරු ග්‍රහයා තුලා රාශියේ අංශක 29.07 දී වක්‍ර වුණා. ඒ වක්‍රවීම නිසා ගිහි පැවිදි උගතුන්, බුද්ධිමතුන් සාධාරණ යුක්තිගරුක පුද්ගලයන් සහ සමාජ ආයතන විවිධාකාර පීඩාවන්ට සහ පසුබැසීම් ආදියට ගොදුරු වූ අයුරු ඔබට මතක ඇති. ඒ

ගුරු ග්‍රහයා ලබන ජූලි 11 වැනිදා විවෘත වන්නේ තුලා රාශියේ අංශක 19.14 හෙවත් සා නැකැතේ 04 වැනි පාදයේ. කලින් සඳහන් කළ අඳුරු කාලපරිච්ඡේදයේ තීව්‍රතාව ජූලි 11 වැනිදා සිට හීනවෙමින් යන අතර එහි ඍජු ධනාත්මක ප්‍රතිඵල ප්‍රකට වෙන්නේ ගුරු ග්‍රහයා තුලා රාශියේ 20.01ට පැමිණීමෙන් පසුවයි. එහි ආසන්න දිනය වෙන්නේ අගෝස්තු 02 වැනිදා. එදින ගුරු ග්‍රහයා තමන්ට අයත් විසා නැකැතේ පළමු පාදයේ සිට විජයග්‍රාහී ගමනක් ආරම්භ කරන්නේ අතීතයේ සිදු වූ අඳුරු සිදුවීම් යහපත් අතට පරිවර්තනය කරමින් බව පැහැදිලියි. ආගමික ක්‍ෂේත්‍රයේ බලවත් පිබිදීමක් මෙන්ම අධිකරණ ක්‍ෂේත්‍රයේ බලාධිකාරය සියල්ලට ඉහළින් සිටින අයුරු දකින්න ලැබෙයි. උගතුන් සහ බුද්ධිමතුන්ගේද, සාධාරණ යුක්තිගරුක පුද්ගලයන්ගේද කේවල සහ සාමූහික නැගිසිටීම ඉදිරි කාලයේ ප්‍රකට වෙයි. එසේම පසුගිය කාලයේ මුසාවෙන් සහ රැවටිල්ලෙන් යටපත් කර තිබූ බොහෝ සිදුවීම්වල තිත්ත ඇත්ත සමාජයට අනාවරණය වෙයි. මේ කාලපරිච්ඡේදය ඔක්තෝබර් 27 දක්වා පවතිනවා. මේ සමගම හෙට (05දා) සිකුරු ග්‍රහයා කේතුට අයත් මා නැකැතේ පළමුවැනි පාදයට පිවිසෙනවා.
මේ ග්‍රහ චලනය ලෝකයටත්, රටටත් එක්එක් ජන්මීන්ටත් බලපාන ආකාරය මෙතැන් සිට විමසා බලමු. ලංකා කේන්ද්‍රයේ 09 වැන්නේ ඉතා බලවත් වන ගුරු ග්‍රහයා මෙතැන් සිට රට තුළ යහපත් පරිවර්තන මාලාවක් ආරම්භ කරනවා. ලබන 16 වැනිදා කටක රැසට එන රවි ග්‍රහයා ඉන් දින තුනකට පසු වායු ශක්ති කලාපයක ගමන් කරමින් ගුරු ග්‍රහයාගෙන් කේන්ද්‍රස්ථානගත වෙනවා. එහි සම්බන්ධය 4 - 10 වන අතර, රටේ කේන්දරයෙන් 6 සහ 9 ගිනි + වායු + ආකාශ + වශයෙන් ඉතා බලවත්ව උත්තේජනය වෙනවා. උගතුන්, නැණවතුන් සහ රාජ්‍ය අංශයේ එවැනි බලවතුන් පෙර නොවූවිරූ ජවයකින් ඉස්මතු වෙනවා. ඔවුන් විසින් තදබල තීරණ ගනු ලබනවා. රට අඳුරට සහ මුලාවට තල්ලු කරමින් කටයුතු කළ පුද්ගලයන්ගේ පරාජයත් ඒ සමග ම සනිටුහන් වෙනවා. මේ කේන්ද්‍රස්ථාන අතරට යුරේනස් සම්බන්ධ වන අතර, එය එක්තරා අතකින් ගත් කළ රාජ්‍ය අංශයේ ඉහළින්ම සිදුවන බුද්ධිමය කැරැල්ලක්. ඒ අතරතුර රටේ ලග්නය ගුරු ග්‍රහයාගේ සුබ දෘෂ්ටියට ලක්වන හෙයින් සිදු වන දේ රටේ යහපතට දිගුකාලීන හේතුවක් වෙනවා. මේ කාලපරිච්ඡේදය අගෝස්තු 17 දක්වා තීව්‍ර ලෙස බලපෑම් කරනවා. ඉන් පසුව රටේ ලග්නයෙන් 06 වැන්නේ ජූලි 26 වැනිදා සිට දින 24කට වක්‍ර වන බුධ ග්‍රහයා ලංකා කේන්ද්‍රයේ 5 සහ 8 නියෝජනය කරන හෙයින් රජයේ ලොකු තනතුරු දරන අයට අනතුරු බහුල විය හැකි අතරම කාලගුණයද මුරණ්ඩු වන බව පේනවා. මෙතෙක් පීඩාවට පත්ව සිටි සිකුරු ග්‍රහයා ජූලි 05 වැනිදා සිට රටේ ලග්නයෙන් 7 වැන්නට පිවිස එහි ගත කරන දින 28ක කාලය විපක්‍ෂ දේශපාලන බලවේගයන්ගේ වාසනාවට කරුණු යෙදෙනවා. එහි උච්චතම අවස්ථාව ජූලි 17 වැනිදා වන විට ප්‍රකට වෙනවා.
ඉහත කී ග්‍රහ චලනයන් සාපේක්‍ෂ වශයෙන් එක් එක් ලග්නයන්ට බලපාන ආකාරය කෙටියෙන් විමසා බලමු.

මේෂ ලග්නය

ඔබේ ලග්නයේ කේන්ද්‍රස්ථාන හතරම විපරිත ලෙස උත්තේජනය වේ. හතර වැන්නේ රාහු සහ දහවැන්නේ වක්‍ර කුජ අතර එක් අක්‍ෂයක්ද, ලග්නයේ යුරේනස් සහ 07 වැන්නේ ගුරු අතර එක් අක්‍ෂයක්ද වශයෙන් ඔබේ කේන්දරයේ විපරිත තත්ත්වයක් හටගෙන තිබේ. මෙහි ප්‍රතිඵලය වන්නේ ඔබේ සිත සහ ගෘහස්ථානයත්, රැකියාව සහ ව්‍යාපාරික ස්ථානයත් නිතර නිතර වික්‍ෂිප්තභාවයන්ට ගොදුරු වීමයි. එහෙයින් පදිංචි ස්ථානය හා රැකියාව සම්බන්ධයෙන් කිසියම් පීඩනයක් මතුවන නමුත් කිසිසේත්ම ඉක්මන් තීරණ නොගත යුතුය. එක සහ හත අතර හටගන්නා වූ සම්බන්ධය ඉතා විශිෂ්ට එකක් වේ. එහෙයින් මේ කෙටි කාලපරිච්ඡේයේදී ඔබ ආත්ම විශ්වාසය මුල්කර ගත්තොත් බොහෝ උසස් අයගේ ආධාර උපකාර නොවඩුව ලබාගත හැකිවේ.

වෘෂභ ලග්නය

ඔබේ කේන්දරයේ ගුරු, ශනි, යුරේනස් යන ග්‍රහයන් තිදෙනාගේම පිහිටීම සතුටුදායක නැත. එහෙයින් රෝගාබාධ, හදිසි අනතුරු සහ යුග ජීවිතය සම්බන්ධයෙන් කල්පනාකාරී වීම වැදගත් වෙයි. ඉහත කී පීඩාකාරී තත්ත්වය සමනය කිරීමට තුන්වැන්නේ ගමන් කරන්නා වූ රාහු සහ හතර වැන්නේ ගමන් කරන්නා වූ සිකුරුගෙන් මනා සහයෝගයක් ලැබේ. මේ කෙටි කාලපරිච්ඡේදයේදී ඔබගේ දෛනික කටයුතු සිදු කිරීමේදී එකී පවතින මොහොත පිළිබඳ පමණක් මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය වේ.

මිථුන ලග්නය

08 වැන්නේ වක්‍රව ගමන් කරන්නා වූ කුජ ග්‍රහයා හා 07 වැන්නේ වක්‍රව ගමන් කරන්නා වූ සෙනසුරුද ඔබගේ දෛනික කටයුතු සඳහා කිසියම් පීඩනයක් එල්ල කළ නමුත් ගුරු ග්‍රහයා විවෘත වීමෙන් පසුව සැලකිය යුතු ප්‍රගතියක්, සැනසිලිදායක තත්ත්වයක් ඔබ තුළ හට ගනියි. ලබන 15 වැනිදායින් පසුව ඔබගේ තුන්වැන්නාධිපතියා 12 වැන්නට පිවිසීමත් සමගම ගමන්බිමන් බහුල වන අතරම එවැනි කටයුතුවලදී සැලකිලිමත් වීම අවශ්‍ය වේ. හවුල් ව්‍යාපාර, සමාජ සම්බන්ධතා සහ රැකියා ස්ථානයේ අනපේක්‍ෂිත තත්ත්වයන් සමග ගනුදෙනු කිරීමේදී තීරණ ගැනීම අනෙක් පාර්ශ්වයට පවරා දීම ඔබට වාසිදායකය.

කටක ලග්නය

ඔබේ කේන්දරයේ මෙතෙක් පැවැති විශාල බාධකය ඉවත්ව යයි. ගෘහස්ථානයේ හා සේවාස්ථානයේ යන දෙකේම සැනසිලිදායක තත්ත්වයක් හටගනී. එහෙත් ඔබ සතු වත්කම් වැය කිරීමේදී දෙවැනි පාර්ශ්වයක් කෙරෙහි විශ්වාසය තැබීම නුවණට හුරු නොවේ.

සිංහ ලග්නය

ඔබේ කේන්දරයේ තත්කාල ග්‍රහසටහන අනුව පසුගිය කාලපරිච්ඡේයේදී ඔබ මුහුණ දුන් බොහෝ පීඩාකාරී වේදනාත්මක සිදු වීම් ඔබට වාසිදායක ලෙස පරිවර්තනය වේ. එහෙත් ජූලි 15 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා වූ කාලය පසුවන තුරු ඔබ අතිශයින්ම ප්‍රවේසම් විය යුතුය. එයින් පසුව ඔබ විජයග්‍රාහී තත්ත්වයට පත්වන බව පෙනේ.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් උපන් ඔබ සමස්ත ඉදිරි කාලපරිච්ඡේදයම ඉවසිල්ලෙන් හා නැණ නුවණින් පරිහරණය කළ යුතුව තිබේ. ඉක්මන් වීම නිසා නැවත පියවිය නොහැකි අලාභ හානි හටගත හැකිය. කෙසේ නමුත් මේ කෙටි කාලපරිච්ඡේදය ඔබ සතු වාසනාව හීන කරවයි.

තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ ඉතා බලවත් නැගී සිටීමක් පෙන්නුම් කරයි. පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා පැවැති උදාසීන පරාජිත මානසිකත්වය වෙනුවට ජයග්‍රාහී සහ බලවත් ගමනක ආරම්භය ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි. මේ කෙටි කාලපරිච්ඡේදයේදී ඔබගේ වාසිය පිණිසම සියලු කොන්දෙසි සාධක සම්පූර්ණව තිබේ. එහෙයින් මේ අනර්ඝ කාලය අපතේ නොහරින්න.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ඉදිරි කාලපරිච්ඡේදය රැකියාව හා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් පසුබෑමක් පෙන්නුම් කරයි. බොහෝ විට රැකියාව හෝ රැකියා ස්ථානය වෙනස් වීම කෙරෙහි හේතු සාධක යෙදේ. මේ කෙටි කාලපරිච්ඡේදයේදී සමස්තයක් වශයෙන් පවතින ග්‍රහචාරය ඔබට එතරම් හිතකර නොවන හෙයින් ශ්‍රමණකාරක පිළියම් කෙරේ යොමු වීම ඉතා වැදගත් වේ.

ධනු ලග්නය

පසුගිය මාර්තු මාසයේ සිට ඔබ තුළ හටගත්තා වූ අවිනිශ්චිත හා පසුබැසීමේ තත්ත්වය මෙතැන් සිට හමාර වේ. අතරමග ඇනහිට තිබූ ආදායම් මාර්ග යළි ප්‍රකෘතිමත් වේ. අනපේක්‍ෂිත දුරගමන් හා විදේශ ගමන් යෙදෙන කාලයකි. ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා ඉතා බලවත්ව ගමන් ගැනීම අරඹන අගෝස්තු මාසයේ 02 වැනිදා සිට ඔබේ අද්වීතීය බව හා ක්‍රියාශූරත්වය ප්‍රකට වේ. මේ ජීවිතයේ අලුත් කාලපරිච්ඡේදයක අරම්භයකි. ඒ සඳහා අප්‍රමාදව තීරණ ගැනීම වැදගත් වේ.

මකර ලග්නය

ඔබේ කේන්දරයේ 1, 4, 7, 10 යන මර්මස්ථාන සියල්ලම වේගයෙන් උත්තේජනය වන පරිසරයක ඔබේ ජීවිතයද, ඔබට මුහුණපෑමට සිදුවන අවස්ථාවන්ද මොහොතින් මොහොත වෙනස් ස්වරූපයකට පත්වේ. එහෙයින් ක්‍ෂණික හා කෙටිකාලීන වෙනස් වීම බලාපොරොත්තු වන්න. ඒ කිසිවකින් ඔබට අනර්ථයක් සිදු නොවන නමුත් ලග්න ශීර්ෂයේ වක්‍රව තිබෙන කුජ ඔබට අනවශ්‍ය පීඩනයකි. ඒ සඳහා ශ්‍රමණකාරක පිළියම් සඳහා යොමු වීම ඉතා වැදගත් වේ.

කුම්භ ලග්නය

කෙටිකාලීන පසුබෑමකට ලක්ව තිබුණද, මෙතැන් සිට ඔබගේ සියලු කටයුතු ප්‍රකෘති ස්වරූපයෙන් ඔබට වාසිදායක ලෙස ක්‍රියාත්මක වේ. ඉවසිලිවන්තව ඉදිරියට යන්න. ඉදිරියට එන දිගු කාලපරිච්ඡේදයද ඔබගේ වාසිය පිණිසම හේතු වේ.


මීන ලග්නය

මෙතෙක් කල් ඔබගේ අවාසිය හා ප්‍රමාදය පිණිස පෙළගැසී තිබූ ග්‍රහචාරය වෙනස් වෙමින් යයි. සමස්තයක් වශයෙන් ඉදිරියට එන කාලපරිච්ඡේදය ඔබටද සැනසිලිදායක, ජයග්‍රාහක අවස්ථා බහුල කරවයි. එහෙත් නොවැම්බර් මස 07 වැනිදා පසුවන තුරු අලුත්ම අලුත් ව්‍යාපෘති සඳහා අවදානම බාර ගැනීම සුදුසු නොවේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();