Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝල් කීපර් සුජාන් ලිතුවේනියා සටනට මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ගෝල් රකින්නා ලෙස ක්‍රීඩා කිරීමේ අරමුණින් මාලදිවයිනේ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන වෘත්තීය මට්ටමේ පාපන්දු ක්‍රීඩක සුජාන් පෙරේරා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පාපන්දු සම්මේලනය තීරණය කරයි. පාපන්දු සම්මේලනයේ වියදමින් සුජාන් පෙරේරා මාලදිවයිනේ සිට ගෙන්වා ගැනෙන අතර ඔහු ලබන 8 වැනිදා කොළඹදී පැවැත්වෙන ලිතුවේනියාවට එරෙහි තරගයට සහභාගීවී නැවැත මාලදිවයින බලා පිටත්වීමට නියමිතය.

ලිතුවේනියාව සමග තරගයට සහභාගීවන ශ්‍රී ලංකා පාපන්දු පිල ලබන 3 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එම තරගයට දින 4කට පෙර සුජාන් ශ්‍රී ලංකා පිල සමග පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ලිතුවේනියාව සමග තරගයෙන් පසුව ශ්‍රී ලංකා පිල කොරියාවේ හා ජපානයේ පුහුණු සංචාරයකට එක්වන අතර එම සංචාර දෙක සඳහා ඔහු ක්‍රීඩා කරන මාලදිවයිනේ ඊගල්ස් ක්‍රීඩා සමායේ අවසරය සුජාන් පෙරේරාට හිමිව නොමැත. මාලදිවයිනේ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු වන බැවින් සුජාන් පෙරේරා එරට ඊගල්ස් ක්‍රීඩා සමාජය සමග ගිවිසුමකට එළැඹ තිබීම මෙයට හේතු වේ. එහෙත් එම සංචාරවලින් පසුව ශ්‍රී ලංකා පාපන්දු පිල සහභාගීවන බංග්ලාදේශයේ දකුණු ආසියා පාපන්දු තරගාවලිය සඳහා සුජාන් පෙරේරා නැවැත ශ්‍රී ලංකා පිල සමග එක්වනු ඇත.

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගීවූ මැලේසියාවේ පැවැති ආසියානු සහයෝගිතා කුසලාන පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය සුජාන් පෙරේරා විසින් මෙහෙයවනු ලැබීය. එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලාඕසය හමුවේ ගෝල් 2-1කින් හා මොන්ගෝලියාව හමුවේ ගෝල් 2-0කින් පරාජයවී, ගෝල් 1-1ක් ලෙස මැකාවෝ සමග තරගය ජය පරාජයෙන් තොරව නිමා කළේය.

සුජාන් දැනට මාලදිවයිනේ ක්‍රීඩා කරන එකම ශ්‍රී ලාංකේය වෘත්තීය මට්ටමේ පාපන්දු ක්‍රීඩකයාවන අතර මාලදිවයිනේ ප්‍රමුඛ තරගාවලියවන මාලේ ලීග් තරගාවලියට සහභාගීවෙමින් සිටී. ඊගල්ස් ක්‍රීඩා සමාජයේ නායකත්වය දරන මුල්ම හා එකම විදේශීය ක්‍රීඩකයා ලෙස ද සුජාන් පෙරේරා ඉතිහාසගතවී ඇත.

25 හැවිරිදි ඔහු කළුතර පාක් ක්‍රීඩා සමාජයට වසර 2015දී ක්‍රීඩා කළ අතර අනතුරුව මාලදිවයිනේ ක්‍රීඩා සමාජයට එක් විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();