සාන්ත ජෝශප් විදුහල් පිල අවසන් තරගයට
තරගයේ පළමු භාගයේදී ලකුණු 10-9කින් පෙරමුණ ගත් කිංග්ස්වුඩ් විදුහල් පිල දෙවැනි භාගයේදී දැඩි ප්රහාරයකට ලක් කළ පසුගිය වසරේ ශුරතාව දිනූ මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 23-10ක ජයක් වාර්තා කරමින් මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය.
දෙවැනි භාගයේ 6 වැනි මිනිත්තුවේදී තීරක සන්තූෂ්ගේ අනගි උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කරමින් සාන්ත ජෝශප් විදුහල් පිලට ලකුණු 16-10කින් පෙරමුණ ගෙනදුන් සංතූෂ් අල්ගම අනතුරුව 67 වැනි මිනිත්තුවේදී කේෂාන් කවින්ද තැබූ උත්සාහක දිනුමත් ගෝලයක් බවට පත් කරමින් සිය කණ්ඩායමට අවසන් මහා තරගයේ දොරටුව හැර දුන්නේය.
තරගය පුරා සාන්ත ජෝශප් විදුහල් පිල රැස් කළ උත්සාහක දිනුම් ද්විත්වය ගෝල බවට පත් කළ සංතූෂ් දඬුවම් පහර 3ක් ද සාර්ථක කරගැනීමට සමත්විය.
පළමු භාගයේදී සාන්ත ජෝශ්ප් විදුහල් පිලට දැඩි අභියෝගයක් එල්ල කළ කිංග්ස්වුඩ් විදුහල් පිල උත්සාහක දිනුම් 2ක් ලබාගත්තේය.
තරගයේ ආරම්භයේදීම දඬුවම් පහරක් සාර්ථක කරමින් සංතූෂ් අල්ගම සාන්ත ජෝශප් විදුහල් පිලට පෙරමුණ ගෙන දුන්නත් අනතුරුව 18 වැනි මිනිත්තුවේදී කිංග්ස්වුඩ් පිලේ තුමිල වැලිගම්පොල උත්සාහක දිනුමක් තබමින් සිය කණ්ඩායමට ලකුණු 5-3කින් පෙරමුණ ගෙන දුන් අතර ඊට මොහොතකට පසුව ආසිරි සෙනෙවිරත්න තැබූ උත්සාහක දිනුමෙන් ලකුණු 10-3කින් ඉදිරියට යාමට කිංග්ස්වුඩ් විදුහල් පිලට හැකිවිය. පළමු භාගය නිමාවීමට පෙර සංතූෂ් අල්ගම තවත් දඬුවම් පහර 2ක් සාර්ථක කරගත්තේය.
ජයග්රාහී සාන්ත ජෝශප් විදුහල් පිල මේ මස 30 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී අවසන් මහා තරගයට එක්වන්නේ ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ බම්බලපිටිය සාන්ත පීතර විදුහල් පිල සහ වෙස්ලි විදුහල් පිල අතර දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග්රාහකයන් සමගය.
0 Comments