Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බුද්ධිකට වුණ අපත වැඩේ



මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා පෙරේදා (19දා) පස්වරු 5.30ට ආසන්න වෙද්දී කොළඹ 07 මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසට ගියේ ජනාධිපතිවරයා හමුවී තමන්ට ලැබීමට නියමිත නියෝජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දීම සඳහාය.

සිය මෑණියන්, නැඟණිය සහ ඇගේ සැමියා සහ හිතවතුන් කිහිපදෙනකුද සමඟ එහි ගිය බුද්ධිකට මුලින්ම හමුවූයේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුය.

ඔහු බුද්ධික දෙසට කහ පැහැති ෆයිල් කවරයක් දිගු කරමින් මෙසේ කීවේය.

'ඔය කොළේ තියෙන ටික බලාගන්න. ඕක බලාගෙන තමයි දිවුරුම් දෙන්න තියෙන්නෙ. ඔන්න අපි ඔබතුමා ඉල්ලපු එකම දුන්නා.'

කොළය අතට ගත් බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා උඩගොස් බිම වැටුණේය. එහි සඳහන් වූයේ ඔහුට හිමිවනුයේ නගර සැලසුම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ධුරය බවය. නමුත් ඔහුට දැනුම්දී තිබුණේ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදෙන බවය.

කලබලයට පත්වූ බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා ජනාධිපති ලේකම්වරයාට මෙසේ කීවේය.
'මේක නෙවෙයි මට දෙනවා කිව්වේ. මම කිසිම ඇමැතිකමක් ඉල්ලලා නෑ. අවුරුදු 3ක් මන්ත්‍රි කෙනකුව සිටිය මට ඉතිරි අවුරුදු දෙකත් මෙහෙමම ඉන්න එක මහ වැඩක් නෙවෙයි. හැබැයි අද උදේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා මගේ ස්ටාෆ් එකටත් එන්න කියලා. මට ලැබෙන ඔෆිස් එකත් පෙන්නලා තියෙනවා. බ්‍රහස්පතින්දා උදේ වැඩ භාරගන්න උත්සවයකුත් ලෑස්ති කරලා. එහෙම එකේ මෙහෙම වුණේ කොහොමද?

"අගමැතිතුමා මුලින්ම ලියලා එවලා තිබුණේ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැතිකම දෙන්න කියලා. ඊට පස්සේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අපට දැනුම් දුන්නා බුද්ධික පතිරණ මන්ත්‍රිතුමාගේ ඉල්ලීම පරිදි නගර සැලසුම් හා ජලසම්පාදන නියෝජ්‍ය ඇමැතිකම දෙන්න කියලා. ඒක තමයි වුණේ." ලේකම්වරයා කීවේය.

"ලේකම්තුමා මේක අමූලික බොරුවක්. මම එහෙම ඉල්ලීමක් කෙළේ නෑ. එකක් මතක තියා ගන්න. මගේ උස අඩි 5යි අඟල් 3යි. ඒක සෙන්ටිමීටර්වලින් නම් 159යි. උසින් ටිකක් අඩු වුණාට මට හොඳ කොන්දක් තියෙනවා. මේක ඔබතුමා තියාගන්න. දෙනව නම් අගමැතිතුමා දන්වලා එවපු නියෝජ්‍ය ඇමැතිකම විතරක් දෙන්න. නැත්නම් මම මන්ත්‍රිකමේම ඉන්නවා යැයි බුද්ධික කීවේය.

'මේ හදිසියේ කොහොමද? මේක වෙනස් කරන්නේ. හයට විනිසුරුවරුන් කට්ටියක් ජනාධිපතිතුමා හමුවෙන්න එනවා' ලේකම්වරයා කියද්දී බුද්ධික ඊට මෙසේ පිළිතුරු දුන්නේය.
'එහෙනම් ඒක ඉවර වෙලා රෑ 11ට හරි 12ට හරි කමක් නෑ. අපි හරි එකේ දිවුරුම් දෙමු. එහෙම නැත්නම් මම දැන්මම යන්න යනවා' යැයි කියමින් බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා මෑණියන්ගේද අත අල්ලාගෙන සිටි තැනින් නැඟිට්ටේය.

'හා... හා... කලබල වෙන්න එපා. ඔබතුමාගේ ප්‍රශ්නෙ කොහොම හරි විසඳනවා. පොඩ්ඩක් ඉන්න' එසේ කියූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා වහාම ජනාධිපති ලේකම් කාර්යාලයට ඇමතුම් කිහිපයක් ගත්තේය.

ඉන් පසු විනාඩි 20ක් පමණ ගතවෙද්දී ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් සහිතව පැමිණි වාහනයකින් ලිපි ලේඛන සහිත ෆයිල් කවරයක් නිලධාරියකු විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ගෙනැවිත් දුන්නේය.

වාහනයට පොලිස් ආරක්‍ෂාව ලැබී තිබුණේ කාර්යාල අවසන් වූ වේලාව බැවින් මාර්ග තදබදයෙන් එන ප්‍රමාදය වළක්වා ගැනීම සඳහාය.

'ආ... මේන් තියෙනවා. දැන් මේක කියවන්න' කියමින් ජනාධිපති ලේකම්වරයා සිනහ මුසුව බුද්ධිකට ලිපියක් අඩංගු දිවුරුම සහිත ෆයිල් කවරය ඔහු අතට පත් කළේය.
එහි සඳහන්ව තිබුණේ දිවුරුම්දීමට නියමිතව ඇත්තේ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස බවය.

ඉන් මඳ වේලාවකට පසුව බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ දිවුරුම් දුන්නේය.

'සර් මෙතුමා විෂයක් ඉල්ලලා නෑ. අපි ලියුම් දෙකම දැකලා පස්සේ ආපු එක හරියි කියලා හිතුවා. ඒකයි වුණේ' ජනාධිපති ලේකම්වරයා සිනාසෙමින් කීවේය.

තමන් සිදුවන්නට ගිය අකරතැබ්බයෙන් මුදා ගැනීම ගැන ජනාධිපතිවරයාට තුති පුද කළ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය.

ජනාධිපතිතුමනි, බ්‍රැඩ්මන් වීරකෝන් ලේකම්තුමා වගේ ඔස්ටින් ප්‍රනාන්දු ලේකම්තුමාත් කවදා හරි ජීවිත කතාව ලියද්දී 'බුද්ධිකට වුණු අපත වැඩේ' කියලා මේ වෙච්ච දේ ගැන පරිච්ඡේදයක් ඒකේ ලිව්වොත් තමයි හොඳ' යැයි කියද්දී ජනාධිපතිවරයාටද සිනහා නොවී සිටින්නට බැරිවිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();